රුසියාවේ රොසැටම් රාජ්‍ය සංස්ථාවේ නියෝජිත පිරිස ජනපති හමුවෙයි | දිනමිණ

රුසියාවේ රොසැටම් රාජ්‍ය සංස්ථාවේ නියෝජිත පිරිස ජනපති හමුවෙයි

දිවයිනට පැමිණ සිටින රුසියාවේ රොසැටම් රාජ්‍ය සංස්ථාවේ නියෝජිත පිරිස ඊයේ (17) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

එම සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Nikolay Spasskiy මහතා ඇතුළු නියෝජිතයන් පස් දෙනකුගෙන් මේ කණ්ඩායම සමන්විත විය.

ශ්‍රී ලංකාවේ විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ ක්ෂේත්‍රයේ වැඩිදියුණුව වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම සහ බලශක්ති, කර්මාන්ත හා කෘෂිකර්ම ආදී ක්ෂේත්‍ර ගණනාවක් තුළ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් මේ පිරිස දිවයිනට පැමිණ තිබේ.

විදුලිබල, උසස් අධ්‍යාපන සහ තාක්ෂණ හා පර්යේෂණ යන අමාත්‍යාංශ ඒකාබද්ධ කරගනිමින් ඒ සඳහා දිගුකාලීන හා කෙටි කාලීන වැඩසටහන් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවය මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා රුසියාව ශ්‍රි ලංකාවට නිරන්තරයෙන් ලබාදෙන මිත්‍රශීලි සහාය ද ඇගයීමට ලක් කළේය.

විශේෂයෙන් පසුගියදා තේ අපනයනයේ දී මතු වු ගැටලුව ඉතා කඩිනමින් නිරාකරණය කරදෙමින් ශ්‍රී ලංකාවත්, ජනතාවත් වෙනුවෙන් දැක්වූ හෘදයාංගම සහයෝගය පිළිබඳ රුසියානු ජනාධිපති ව්ලැඞ්මිර් පුටින් මහතා වෙත සිය විශේෂ ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළේය.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටරි මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...