ව්‍යාපාරිකයකුගෙන් කෝටි 12 ½ ක අල්ලස් ගැනීම | දිනමිණ

ව්‍යාපාරිකයකුගෙන් කෝටි 12 ½ ක අල්ලස් ගැනීම

කුමුදු හෙට්ටිආරච්චි

රේගු අධිකාරිවරුන් සිවු දෙනාට එරෙහි නඩුව මාර්තු 28දා කැඳවයි

මෝටර් රථ අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි දොළහමාරක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට අධි චෝදනා ලැබ සිටින රේගු අධිකාරිවරුන් සිවු දෙනාට එරෙහි නඩුව ලබන මාර්තු 28 වැනි දා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඊයේ (17) නියෝග කළේය.

නඩුව ඊයේ (17) කැඳවූ අවස්ථාවේ විත්තිකරුවන් වන සහකාර රේගු අධිකාරී උපාලි ගුණරත්න පෙරේරා, රේගු අධිකාරී වසන්ත විමලවීර, රේගු අධිකාරී උපාලි සෙනරත් වික්‍රමසිංහ සහ රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස අධිකරණය හමුවේ පෙනී සිටියහ.

දැනට මියගොස් සිටින නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක මහතා සමඟ එක්ව 2015 ජුනි මස 27 වැනිදාත් 2015 ඔක්තෝබර් මස 15 වැනිදාත් අතර කාලයේ දී කොළඹ පංචිකාවත්තේ දී ඉහත මුදල ඉල්ලා ලබා ගැනීමට කුමන්ත්‍රණය කළ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විත්තිකරුවනට එරෙහිව අධිචෝදනා නඟා ඇත.

එම කුමන්ත්‍රණය අනුව අවස්ථා කිහිපයක දී එම මුදල ලබා ගැනීම හා ඊට ආධාර අනුබල දුන් බවට ද අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.

රුපියල් කෝටි 12 ½ ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලීම සම්බන්ධයෙන් මෝටර් රථ අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයකු වන බන්ධුසේන මහතා විසින් අල්ලස් කොමිසම වෙත කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදුකර මේ විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැලකෙන මේ රුපියල් කෝටි 12 ½ අල්ලස් මුදල ඉල්ලා ලබා ගැනීම හා කුමන්ත්‍රණ කිරීම සිදු කළ බවට අධි චෝදනා 16ක් යටතේ අල්ලස් කොමිසම විසින් විත්තිකරුවනට එරෙහිව මේ නඩුව පවරා ඇත. 

නව අදහස දක්වන්න