ජනපති නැගිට ගියේ පෞද්ගලික හේතුවකට | දිනමිණ

ජනපති නැගිට ගියේ පෞද්ගලික හේතුවකට

බුද්ධිකා ඉඹුලාන
සිතාරා සේනානි

ඇතැම් මාධ්‍ය කියන කතා අසත්‍යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (16) පැවැති කැබිනට් රැස්වීම අතරතුර නැගිට ගියේ ජාතික ආණ්ඩුව පවත්වා ගෙන යාම පිළිබඳ ඇතිවූ ගැටලුවක් නිසා නොව එතුමාගේ පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා යැයි සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ජනාධිපතිවරයා කැබිනට් රැස්වීම අතරතුර පිටව ගියේ ආණ්ඩුව පවත්වා ගෙන යාම පිළිබඳ තීරණයක් ගැනීමට යැයි ඇතැම් මාධ්‍ය පළකොට තිබූ ප්‍රවෘත්ති වාර්තා අසත්‍ය බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

ජනාධිපතිවරයා පමණක් තමන් ද ඇතුළු කැබිනට් මණ්ඩලයේ බොහෝ සාමාජිකයන් එවැනි ස්වාභාවික අවශ්‍යතා සඳහා රැස්වීම අතරතුර නැගිට යන බවද පැවසූ ඇමැතිවරයා පෙන්වා දෙන්නේ පෙරේදා පැවැති කැබිනට් රැස්වීමේදී කිසිදු ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති නොවූ බවයි.

එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් ජනාධිපතිවරයා විවේචනය කිරීම සම්බන්ධයෙන්, බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හා තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙම කැබිනට් රැස්වීමේදී කරුණු ඉදිරිපත් කළ බවත් පවසන රාජිත සේනාරත්න මහතා, අදාළ එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරුන්ට අවවාද කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට පෞද්ගලිකව පැවසූ බවත් සඳහන් කරයි.

කැබිනට් යෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රථම ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හෝ කැබිනට් මණ්ඩල සාමාජිකයන්ට විශේෂ ප්‍රකාශ හෝ කරුණු ඉදිරිපත් කිරීම අවස්ථාව හිමි වන බවත්, ඒ අනුව ජනාධිපතිවරයා කරුණු කිහිපයක් අවධාරණය කළ බවත් පැවැසූ ඇමැතිවරයා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ රජය විවේචනය කිරීමට යහපාලන ආණ්ඩුව යටතේ නිදහස උපරිමයෙන් පවතින බවත් ය. එම නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට නොගෙන ආණ්ඩුවට ද හානි නොවන සේ කටයුතු කිරීම, මත පළ කිරීම රජය නියෝජනය කරන මැති ඇමැතිවරුන්ගේ වගකීමක් බවද ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී පෙන්වා දුන් බවද ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

ආණ්ඩුවේ සිට මත පළ කරන ඇතැම් මැති ඇමැතිවරුන්ට, තමන් ජාතික ආණ්ඩුවක සිටින්නේ යැයි තවමත් මතක නොමැතිවීම මෙවැනි සිදුවීම්වලට හේතුවී ඇතැයිද ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවැසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (16) පැවැති කැබිනට් රැස්වීමේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (17) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

අදහස් 2ක් ඇත

HE JUST WENT TO THE TOILET. BECAUSE YAHA PAALANAYA REDDA PALLEN BERENA NISA

Janathawa rawatenene baha

නව අදහස දක්වන්න