සැක දුරු වීමේ වාසිය | දිනමිණ

සැක දුරු වීමේ වාසිය

ආණ්ඩුවට ජනතා අප්‍රසාදයක් ගොඩනැගී ඇති ප්‍රධාන කාරණයක් වන්නේ පසුගිය රජයේ දූෂණ හා අපරාධ සම්බන්ධ පරීක්ෂණ හා අධිකරණ ක්‍රියාමාර්ග මන්දගාමීව සිදුවීමයි. 2015 ජනාධිපතිවරණයේදී කීවේ, ගුවන්තොටුපළ වසා හොරුන් අත්අඩංගුවට ගන්නා බවයි. එවැන්නක් සිදුවූයේ නැත.

යහපාලන ආණ්ඩුවක සහජීවන දේශපාලනයක් ක්‍රියා‍ත්මක කළද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය අනාගතයේ තමන්ගේම ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණ හා උත්සාහය අතහැර නැති බව කවුරුත් දන්නා කාරණයකි. එහිදී දේශපාලන චක්‍රය කැරකෙන කාල වකවානු දැන සි‍ටීම දෙපාර්ශ්වයටම වැදගත්ය.එනම් දේශපාලන බලය වෙනස්වන ජනාධිපතිවරණය හා මහ මැතිවරණය පැවැවත්වෙන කාලය දැනගෙන සිටිය යුතුය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරුන් පසුගිය දිනවල කියමින් සිටියේ මී ළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2021 දී බවයි.ජනාධිපතිවරයා‍ගේ නිල කාලය වසර හයක් බව ඔවුන්ගේ මතය වී තිබිණි. විජිත් විජයමුණි සොයිසා ඇමැතිවරයා ඊයේ පෙරේදා කීවේ එම කතාවයි. ඔවුන් සිතා සි‍ටියේ ජනාධිපතිවරයා වසර හයක් බලයේ සිටියද පාර්ලිමේන්තුව වසර පහකින් අවසන් වන නිසා මී ළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව බවයි.

ජනාධිපතිවරයාගේ නිල කාලය වසර හයක් ය යන මතයට පදනම වූයේ එතුමා දිවුරුම් දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සං‍ශෝධනය යටතේ වීම හා 19 වන සංශෝධනය සම්මත කරන ලද්දේ එම දිවුරුම් දීමෙන් පසුව වීමයි.කෙසේ වෙතත් එජාපය හා වෙනත් පක්ෂවල මතය වී තිබු‍ණේ ජනාධිපතිතුමාගේ නිලකාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අනුව තීරණය විය යුතු බවයි.ඒ අනුව නිල කාලය වසර පහකට සීමා විය යුතුව තිබිණි.

විවිධ කතා

පසුගියදා ජනාධිපති මෛත්‍රීපා‍ල සිරිසේන මහතා ක්‍රියාත්මක වුයේ මෙම කරුණ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තීන්දුවක් ලබාගැනීමටය. එය විවිධ පිරිස් විවිධාකාරයෙන් අර්ථ දැක්වුවද මෙම ප්‍රශ්නය කොයි මොහොතක හෝ විසඳාගත යුතුව තිබිණි. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සපයා ඇති විධි විධානය වන්නේ මෙබඳු ගැටලුකාරී ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා බැලීමයි. ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලද්දේ එම විධිවිධාන යටතේය.

ශ්‍රේෂ්ඨාධිකරණය තම මතය ජනාධිපතිවරයා වෙත දන්වා යැවූ අතර ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කොට ඇති බවයි. එම තීන්දුවෙන් පසුව මෙතෙක් තිබූ අවිනිශ්චිත භාවය දැන් අවසන් විය යුතුව ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට 2021 දක්වා බලයේ සිටිය හැකි බව සිතා සිටි මැති ඇමැතිවරුන්ට දැන් මෙම තීන්දුව අනුව සිදුවන දෙයට සූදානම් වීමට සිදුවනු ඇත. එනම් වසර පහකින් එන ජනාධිපතිවරණයට මුහුණදීමයි. ඒ සඳහා කළයුතු සියලු දේ ඉදිරි කෙටි කාලය තුළ සිදුකළ යුතුව ඇත.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිගේ නිල කාලය ගතවන්නට පෙර මාස දෙකකට පසුව හා මාසයකට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුව ඇත. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාගේ නිලකාලය 2020 ජනවාරි 8දා අවසන් වන්නේ නම් 2019 නොවැම්බර් 8 වනදාට පසුව හා දෙසැම්බර් 8දාට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුය.

මැතිවරණ වසරක්

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම හා භාරදීම අතර සති දෙකක් හා නාමයෝජනා භාරගැනීම හා ජනාධිපතිවරණය අතර සති හතරක් සිට හයක් දක්වා කාලයක් තිබිය යුතුය. එම අනුව සලකා බලන විට ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන වසරේ අගෝස්තු, සැප්තැම්බර් මාසවල සිදුවිය යුතුය.

මෙහි තේරුම නම් ලබන වසර මැතිවරණ වසරක් බවට පත්වන බවයි. වසර මැද වනවිට දේශපාලන බලවේග ඊළඟ ජනාධිපතිවරණයට සූදානම් විය යුතුය. එහි තේරුම නම් ආණ්ඩුකරණයේ බොහෝ කටයුතු ඒ වනවිට අවසන්ව තිබිය යුතු බවයි. එනම් යහපාලනයේ සියලු අතපසුවූ කටයුතු මෙම අවුරුද්දකුත් මාස කිහිපයක කාලයේදී අවසන් කොට තිබිය යුතුය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම ජනවරම ලබාගත් අරමුණු හැකිතාක් දුරට ඉටුකිරීමට ඒ වන විට හැකිවිය යුතුය.

මෙම ප්‍රශ්නයේදී යහපාලනයට සම්බන්ධ ප්‍රධාන දෙපාර්ශ්වයම සිටින්නේ එකම බෝට්ටුවේ බවද කිව යුතුව ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දායක වූයේ ඉතා සුළු පිරිසකි. එසේ වුවද එජාපයත්, වෙනත් පක්ෂ හා සංවිධානත් එම කාර්යයට කර ගසා ක්‍රියාත්මක විය. එබැවින් එම ජනවරමේ අරමුණු ක්‍රියාවට නැගීමේ වගකීම ජනාධිපතිතුමාගේ පාර්ශ්වයට මෙන්ම එජාපයට ද පැවරී ඇත. මහජනයා මෙහිදී මෙම දෙපාර්ශවයේම ක්‍රියාකාරීත්වය හා කැපවීම මැන බලනු ඇත.

මීට පෙරද මෙම ලිපි පෙළ මගින් පෙන්වා දී ඇති ආකාරයට යහපාලනයේ ඇතැම් අරමුණු ජනවාරි 8 බල පෙරැළිය මගින්ම ඉටු කරගනු ලැබීය. බියෙන් තොරව ජීවත්විය හැකි නිදහස් රටක් නිර්මාණය වීම එමගින් සිදුවිය. ඉන්පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මඟින් ජනාධිපති ධුරයේ බලතල සීමාකිරීම, ස්වාධීන කොමිසන් සභා පත්කිරීම ආදී තවත් වැදගත් ප්‍රතිසංස්කරණ ගණනාවක් ඉටුකරගනු ලැබීය.

ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම වැඩි දෙනෙකුගේ අවධානයට අවශ්‍ය තරම් ලක් නොවූවද එය යහපාලනයේ දැවැන්ත පියවරකි. එමගින් මෙරට දූෂණය පිටුදැකීමට විශාල පිටුවහලක් සලසනු ඇත. මෙම අයිතිය ප්‍රයෝජනයට ගැනීමට මහජනයා හා ජනමාධ්‍ය වැඩි වැඩියෙන් පෙළඹෙන විට එහි අගය කාටත් වැටහෙනු ඇත.

විගණන පනතද තවත් වැදගත් පියවරකි. එය තවමත් ක්‍රියාත්මක නැතත් සම්මත කොට ක්‍රියාවට නැගීම ඉක්මනින්ම කළ යුතුව ඇත. එයද වැදගත් ඉදිරි පියවරකි. මැතිවරණ ක්‍රමයේ වෙනසක් කිරීම මහජනයාගේ තවත් ප්‍රධාන ඉල්ලීමක්ව තිබිණි. දැන් පළාත් පාලන ආයතන සඳහා නව මැතිවරණ ක්‍රමයක් ක්‍රියාත්මකය. මනාප ක්‍රමය අහෝසිකොට ඇති මෙම ක්‍රමය මගින් කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයෙක් ලැබෙනවා මෙන්ම සමානුපාතික ක්‍රමයටද ඉඩකඩ ලබාදී තිබේ.

ඡන්ද පොරොන්දු

මෙම නව මැතිවරණ ක්‍රමය පළාත් සභා හා පාර්ලිමේන්තු මැතිවරණය සඳහාද ක්‍රියාත්මක කිරීම ඉදිරි වසර එකහමාර තුළ කළ යුතුව ඇත. එය ආණ්ඩුව හමුවේ ඇති ප්‍රධාන අභියෝගයකි. මේ සඳහා නව නීති සම්පාදනය කොට ක්‍රියාවට නැගිය යුතුය. දැන් එයට විශාල කාලයක් නැත. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පෙන්වා දී ඇත්තේ එයයි. එසේ නම් දැන් කළ යුතුව ඇත්තේ ලහි ලහියේ ක්‍රියාත්මක වී මෙම කටයුතු අවසන් කිරීමයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට රටට ගැළපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කොට ක්‍රියාවට නැගීම යහපාලනය මගින් වූ ප්‍රධාන පොරොන්දුවකි. ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරවීමට පෙරමුණු ගත් මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රමුඛ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ ප්‍රධාන සටන්පාඨය වූයේ විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය මගින් සිදුවූයේ ජනාධිපති ධුරයේ බලතල යම් ප්‍රමාණයකට සීමා කිරීම පමණකි. එය අහෝසි කිරීම පිළිබඳ ප්‍රශ්නය තවමත් ඉතිරිව පවතී.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ කටයුතු බොහෝදුරට ඉටුකොට ඇත. පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් ලෙස කටයුතු කරමින් අනුකමිටු යෝජනා ලබාගෙන ප්‍රධාන කමිටුවේ වාර්තාවක්ද සකස්කොට ඇත. එකඟතා ඇතිකරනු හා මතභේදයට ලක්වූ කරුණුද හඳුනාගෙන අවසන්ය. දැන් තිබෙන්නේ මත භේදයට ලක්වූ කරුණු ඉක්මණින් සාකච්ඡාකොට සම්මුතියකට පැමිණීමයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ශ්‍රීලනිපයේ ඇතැම් මැති ඇමැතිවරුන්ගේ කැමැත්තක් නැති බව පසුගිය කාලයේ පෙනෙන්නට තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස යෝජනාද සම්මත කොට තිබිණි. ඒ කෙසේ වෙතත් වත්මන් තත්ත්වය වෙනස් බව ඒ සියලු දෙනාට තේරුම් ගැනීමට සිදුවනු ඇත. ඔවුන් සිතූ පරිදි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර හයක් නොවන බව දැන් පැහැදිලිය. ඊළඟ මහා මැතිවරණය කැඳවීම කළ හැක්කේ වත්මන් ආණ්ඩුවට වසර හතර හමාරක් ගතවූ පසුවය. එනම් ජනාධිපතිවරණයෙන් පසුවය. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවත් සමඟ මේ සමස්ත චිත්‍රය වෙනස් වී ඇති බව කවුරුත් තේරුම් ගත යුතුය.

ඉදිරි වසරකුත් මාස ගණනක කාලය තුළ මෙ‍රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට ගැනීමට සිදුවන තීන්දුවක් වන්නේ තවත් විධායක ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම සඳහා ලබන වසර අග මැතිවරණයට මුහුණ දෙන්නේ ද නැතහොත් වෙනත් ක්‍රමයක් සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම කඩිනම් කරනවාද යන්න පිළිබඳවය. එහිදී ජනාධිපතිවරණයකදී වාසිය ඇත්තේ කාටද යන්න පිළිබඳවද දේශපාලන පක්ෂ තම තමන්ගේ තක්සේරුවකට පැමිණෙනු ඇත. තේරුම් ගතයුතු ප්‍රධාන කාරණය නම් විවාද කරමින් සිටින්නට කාලයක් නැති බවයි. තවත් කල් මරන්නට බැරි බවයි. තවත් කල් මරන්නට හැදුවහොත් එබඳු දේශපාලන පක්ෂවලට සිදුවන්නෙත් ජනතා අප්‍රසාදයට ලක් වන්නට බවයි.

අප්‍රසාදයේ අක්මුල්

ආණ්ඩුවට ජනතා අප්‍රසාදයක් ගොඩනැගී ඇති ප්‍රධාන කාරණයක් වන්නේ පසුගිය රජයේ දූෂණ හා අපරාධ සම්බන්ධ පරීක්ෂණ හා අධිකරණ ක්‍රියාමාර්ග මන්දගාමීව සිදුවීමයි. 2015 ජනාධිපතිවරණයේදී කීවේ ගුවන්තොටුපළ වසා හොරුන් අත්අඩංගුවට ගන්නා බවකි. එවැන්නක් සිදුවූයේ නැත. දැන් පෙනෙන්නේ චුදිතයන්ට නිදහසේ රට යන්නටත් එන්නටත් ඉඩ ලැබී ඇති බවකි. කෝටි ගණන් මුදල් වංචා ගැන පරීක්ෂණ කොට වාර්තා ලබාදී ඇතත් ඉදිරි පියවර ගැනී‍මක් සිදුවී නැත. පසුගිය රජය කාලයේ සිදුවූ දූෂණ ගැන ජනාධිපති කොමිසමෙහි කළ පරීක්ෂණ වාර්තා 34ක් නීතිපති ළඟය. එෆ් සී අයි ඩීය භාරදී ඇති ලිපිගොනු සංඛ්‍යාව 97කි. එයින් බොහොමයකට සිදුවූ දෙයක් නැත.

සැනසීමට ඇති එකම කාරණය නම් දේශපාලනඥයන් කිහිප දෙනෙකුට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ඉදිරි මාස කිහිපයේදී ආරම්භ වන බව වාර්තා වීමයි. කෙසේ වෙතත් සමස්ත ක්‍රියාවලිය යන්නේ ඉබි ගමනිණි. භාණ්ඩාගාර බැඳුම්කර ගැන පරීක්ෂණ කරන විට තිබූ විනිවිදභාවය හෝ කාර්යක්ෂතාවය රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ හා අපරාධ සම්බන්ධ පරීක්ෂණවලදී දකින්නට නැති බව මහජනයා නඟන මැසිවිල්ලකි. එසේ චෝදනා කිරීමට හොඳටම හේතු ඇති බවද පැහැදිලිය.

දැන් ඉතින් ආණ්ඩුවට තවත් කල් මරන්නට ඉඩක් නැත. පසුගිය කාලයේ දූෂණ, වංචා, මෙන්ම අපරාධ කළ උදවියට එරෙහිව ඉබිගමනින් යන පරීක්ෂණ නීතිමය හා අධිකරණ ක්‍රියාමාර්ග ඉක්මන් කොට ප්‍රතිඵල ලබාගැනීමට ඉතිරිව ඇත්තේ කෙටි කාලයකි. එබැවින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් මෙම ක්‍රියාවලිය වේගවත් කිරීම අත්‍යවශ්‍ය කාරණයකි.

ජනාධිපති ධුර කාලය පිළිබඳ අධිකරණ තීන්දුවෙන් එල්ලකොට ඇති අභියෝගය වන්නේ ඉතිරි කෙටි කාලය තුළ මෙම කටයුතු සියල්ල ඉටුකර ගැනීමය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරි ඕනෑම මැතිවරණයකට සාර්ථකව මුහුණදිය හැකිවන්නේ ඉහත කී අභියෝග ජයගැනීම මගිනි. එක්සත් ජාතික පක්ෂයටද මෙහිදී තම වගකීම් ඉටුකිරීමේදී ගැලවීමක් නැත. මහජනයා සියල්ල අවධානයෙන් බලා සිටිනු ඇත.

සී.ජේ. අමරතුංග


නව අදහස දක්වන්න

Or log in with...