තැනක් නැතත් අපිත් රස්සාව කරනවා | දිනමිණ

තැනක් නැතත් අපිත් රස්සාව කරනවා

යක්කල කිරිඳිවැල පාර ත්‍රීවීල්

අපි පළමුවෙන්ම ඉල්ලන්නේ අපට ස්ථිර රථගාලක් මේ වසරේවත් ලබා දෙන්න කියලයි. මේ ත්‍රීරෝද රථ සංගමය ස්ථිර කරල දෙන්න කියල නගර සභාවට, ප්‍රාදේශීය සභාවට, නගරාධිපතිතුමාට හා අදාළ රජයේ වගකිවයුතු බලධාරීන්ට දන්වල ඉල්ලීම් කරල තියනව. අපි ලොකු ඉඩක් නොවෙයි ඉල්ලන්නෙ පොඩි ඉඩක්. අපිට කියල ස්ථිර තැනක්. කාටවත් කරදරයක් නැතිව අපේ පාඩුවෙ මේ රස්සාව කරගෙන යන්න.

අපි මෙවර ත්‍රීවීල් මිතුරන් සොයා යක්කල කිරිඳිවැල පාරේ ත්‍රීරෝද රථ රියැදුරු මහතුන්ගේ රථගාල අසල නැවතුණෙමු. මෙය ගම්පහ දිස්ත්‍රික්කයට අයත් උප නගරයකි. මෙම රථගාලට ආසන්නව හතරමං හන්ධියක් පිහිටා ඇත. එය එක අතකට මහනුවරටත්, අනෙක් අතට කොළඹටත්, කිරිඳිවැලටත්, ගම්පහටත් දිවෙන හතරමං හන්ධියකි. මෙම උප නගරය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සුවිශේෂී පූජනීය ස්ථානයන් වන පිලිකුත්තුව පන්සලත්, හැවනිවෙල රජමහා විහාර‍යත්, මාලිගාතැන්න ඓතිහාසික රජමහා විහාරයත් නගරයට ආසන්නව පිහිටා තිබීමය. වලගම්බා රජදවසේ පටන් පැවත එන මෙම පූජනීය ස්ථාන වැඳ පුදාගැනීම සඳහා සැදැහැවතුන් මෙන්ම විදේශිකයින් ද ඇදී එති. විශේෂයෙන් පුරපසළොස්වක් පොහෝ දිනවලදී අතුරු සිදුරු නැති තරමට මේ නගරය සැදැහැවතුන්ගෙන් පිරී යන ‍බව අපට ගම්මුන්ගෙන් දැනගත හැකි විය. ඉරිදා දිනවල පැවැත්වෙන සති පොළට ‍දිවයිනේ සතර දිග්භාගයෙන්ම වෙළඳුන් ඇදී එන නිසා පසළොස්වක පෝ දිනය මෙන්ම ඉරිදා දිනය ද යක්කල, කිරිදිවැලට සුවිශේෂී දිනයකි.

මෙවර එම ප්‍රදේශයේදී අපට ප්‍රථමයෙන්ම මුණගැසුණු මිතුරා වූයේ කිරිඳිවැල පාරේ පිහිටි ත්‍රීරෝද රථ සංගමයේ සභාපති එස්. ඒ. බී. දිසානායක මහතාය. මේ ඒ මහතාගේ අදහස් කිහිපයකි.

"මම දැනට මෙම ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ලෙස කටයුතු කරමින් සුපුරුදු පරිදි මගේ රැකියාවත් කරගෙන මෙතැන ඉන්නවා. අපි කරන්නෙ ‍රැකියාවකට වඩා සමාජ සත්කාරයක්. මේ පාරේ දිනපතාම රදාවානටත්, කිරිඳිවැලටත් යාමට සෑහෙන සෙනඟක් එනවා. බස් එකක් ප්‍රමාද වෙනකොට අපි තමයි ඒ අයට බොහෝදුරට පිහිට වෙන්නෙ. අනිත් අතින් මෙහි ඇති පූජනීය ස්ථාන දැකබලා ගැනීමට පැමිණෙන අයත් ඉන්නවා. අපි ඒ අයගෙත් හොඳ හිත දිනාගෙන ඒ අය අවශ්‍ය තැන්වලට ‍රැගෙන යනවා. මොන දේ කළත් අපට තවම ස්ථිර රථගාලක් නම් ලබාදීල නැහැ. අපි මේ පාර දෙපැත්තෙ තියන පොඩි ඉඩක තමා අපේ මේ ත්‍රීරෝද 52 ම ගාල්කර ගන්නෙ. නමුත් රාත්‍රී 10 න් පසුව කිරිඳිවැල පාරෙ බස් ගමනාගමනය නවත්වනවා. මධ්‍යම රාත්‍රිය පසුවෙනතුරුත් අපිමයි ජනතාවට පිහිට වෙන්නෙ. හැබැයි ඡන්දයක් ළඟාවෙනකොට පළාත් සභාවලට තරග කරන අපේකෂයන් අපි ළඟට එනවා. පොරොන්දු ගොඩක් අපට දෙනවා. විශේෂයෙන්ම ත්‍රීරෝද රථගාල අපට නොවරදවාම ලබා දෙනව කියල පොරොන්දු වෙලා ඒ අයගෙ ස්ටිකර් සහ පෝස්ටර් අපේ ත්‍රීවීල්වල අලවගෙන ගිහින් සහයෝගය දෙන්නත් කියනව. අපිත් ඒ වගේම ඒ අයට සහයෝගය දෙනවා. අවුරුදු ගාණක් මේ විදියට ගියා. නමුත් අපිට තවම ස්ථිර රථගාලක් ලැබිල නැහැ. අපි හිතනව මෙවර මැතිවරණයෙන් පස්සෙවත් දිනන අපේක්ෂකයො අපිට රථගාලක් ලබා දේවි කියල"

"නමුත් පසුගිය දිනවලදී එරංග සේනානායක සභාපතිතුමා අපට ලබා දෙනව කියල පොරොන්දු වුණ ත්‍රීරෝද රථගාල මාර්ග සංවර්ධන අධිකාරියෙන් කියනව එහෙම දෙන්න බැහැයි කියල. මේ විදියට තමයි දේශපාලනඥයො මාරුවෙන ගාණෙ ඒගොල්ලන් දුන්න පොරොන්දුත් වෙනස් වෙන්නෙ. හරියට හිසරදයට කොට්ට මාරු කරනව වාගෙ තමා පක්ෂ මාරුවෙන්නෙ. ආයෙමත් පරණ අයම එනවා. යනවා. අපේ රථගාලෙ ප්‍රශ්නය කිසිදාක විසඳෙන පාටක් නැහැ. මෙහෙම ගියොත් මේ වෘත්තියෙන් යැපෙන පවුල් 52 ක් ත්‍රීවීල් රියැදුරන් රැකියා විරහිතයින්ගේ ගොඩට එක්වෙනු නියතයි"

ධර්මසිරි මහතා

"මම යක්කල කිරිඳිවැල පාරේ තියෙන ත්‍රීරෝද රථගාලෙ තමා සේවය කරන්නේ. දැනට මම මෙතැන සේවය කරන්න ඇවිත් අවුරුදු 15 ක් විතර වෙනව. අපි හරිම සමඟියෙන් තමා එකා වගේ මෙතැන සේවය කරන්නෙ. අපි දැනට සමිතියක් පිහිටුවාගෙන තියෙනවා. ඒකෙන් අපි සමාජ සත්කාර ගොඩක් කරල තියෙනව. ලේ දන්දීමේ ව්‍යාපාර දෙක තුනක් කළා. රෝද පුටු පරිත්‍යාග කිරීම් කීපයක්ම දැනට කරල තියෙනව. මේ හැම දෙයක්ම කරන්නෙ කිරිඳිවැල පාරෙ තියෙන පැපොල්ගහදෙණිය ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයේ ධම්මික ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි උන්වහන්සේගේ මඟපෙන්වීම යටතේ තමා අපි මේ ත්‍රීරෝද රථ සංගමය පවත්වාගෙන යන්නේ. නමුත් පසුගිය ආණ්ඩුවෙන් මහින්ද මහත්තය අපට පෙට්‍රල් සහනයක් දෙනව කියල පොරොන්දුවක් දීල තිබුණා. නමුත් ඒ පොරොන්දුව කඩ කළා. අපට ඒක ලැබෙන්නෙ නැහැ. නමුත් අපේ රටේ බලයට පත්වෙන පක්ෂ දෙකයි තියෙන්නෙ. ඒත් ඒ දෙගොල්ලම කරන්නෙ බොරුවමයි. නිල් පාටයි, කොළ පාටයි දෙකම එකයි කියල තමයි අපට කියන්න වෙලා තියෙන්නෙ. මේ ආණ්ඩුවත් එහෙම තමා අධ්‍යාපනය කාල දැම්ම. කෘෂිකර්මය නැතිකරලම දැම්ම. රටින් එළවළු ගේනවලු. පොහොරත් අද හෙටම ගෙන්නල දෙන්නම්ලු. පොල් ගණන් වැඩි නම් පොලුත් සහන මිලට ආනයනය කරල දෙන්නම්ලු. නමුත් එදා වේල හොයාගෙන රජයට බරක් නැතිව ත්‍රීවීල් රැකියාව කරගෙන ජීවත්වන අපි ගැන කිසිදාකදීවත් බලන්නෙ නැතිලු කියල තමයි දැන් අපිට කියන්න වෙලා තියෙන්නෙ. රජයේ පාලකයො දැනගත්තොත් හොඳයි ශ්‍රී ලංකාව කියන්නේ කෘෂිකාර්මික රටක් කියල. මහ මුහුදට දත නියවගෙන ඉන්න රටක් නොවන බව"

උපුල් නිශාන්ත මහතා

"මම රැකියාව කරන්නෙ කිරිඳිවැල පාරෙ තියන හිතමිතුරු පාර්ක් එකේ. මේ 2018 අවුරුද්ද ලබනකොටම අද පළවැනිදා අපි හොඳ පුණ්‍යකර්මයක් කරල වැඩ ආරම්භ කරන්න ඕනෑ කියල අපි සියලුදෙනාම එකතුවෙලා හරිම සමඟියෙන් එක්සිත්ව මේ බෝධිරාජයාණන් වහන්සේ ගාවට පැපොල්ගහදෙණිය ශ්‍රී ජයවර්ධනාරාමයේ මුදිතවංශ ස්වාමීන් වහන්සේ සාධුනාද මධ්‍යයේ වැඩමවාගෙන ඇවිත් මේ බෝධි පූජාව පවත්වල උන්වහන්සේට අටපිරිකරක් පූජා කරල තමයි නව වසරේ වැඩ ආරම්භ කරන්න ගත්තෙ. අපි පළමුවෙන්ම ඉල්ලන්නේ අපට ස්ථිර රථගාලක් මේ වසරේවත් ලබා දෙන්න කියලයි. මේ ත්‍රීරෝද රථ සංගමය ස්ථිර කරල දෙන්න කියල නගර සභාවට, ප්‍රාදේශීය සභාවට, නගරාධිපතිතුමාට හා අදාළ රජයේ වගකිවයුතු බලධාරීන්ට දන්වල ඉල්ලීම් කරල තියනව. අපි ලොකු ඉඩක් නොවෙයි ඉල්ලන්නෙ පොඩි ඉඩක්. අපිට කියල ස්ථිර තැනක්. කාටවත් කරදරයක් නැතිව අපේ පාඩුවෙ මේ රස්සාව කරගෙන යන්න"

රොෂාන් වීරසිංහ මහතා

"මමත් කිරිඳිවැල පාරෙ අපේ මේ හිතමිතුරු ත්‍රීරෝද රථගාලෙ තමයි සේවය කරන්නෙ. ඉතින් අපේ මේ සංගමයේ භාණ්ඩාගාරික හැටියටත් සේවය කරනව. අපේ ප්‍රදේශයටත් දැන් සීඝ්‍ර නගර සංවර්ධනයක් ඇවිල්ල තියනව. ඇත්ත වශයෙන්ම කියනව නම් රටේ සංවර්ධනය මේ වගේ සිදුවෙන එක හරිම හොඳයි. ඉතින් දෙපැත්තම පළල්වෙමින් පාරවල් කැඩෙනකොට අපි ‍අපේ රැකියාව කරගෙන යන්නෙ කොහෙද? අපි කියන්නෙ අපිට ස්ථිර තැනක් වෙන්කරල දෙන්න කියලයි. අපි මේ කරන්නෙ ස්වයං රැකියාවක්. නමුත් අපි දුම් සහතික ගන්න ඕනෑ. වාහන ලියාපදිංචිය, රක්ෂණ සහතිකය ගන්න ඕනෑ. මේ සියල්ලමත් අරගෙන පාරෙ යනකොට දුප්පත් අපට රථවාහන පොලීසියේ නීතිත් වැඩියි. අපට දඩකොළ ලියනව. අපි මේ ඔක්කොටම යටත්වෙලා රුපියල් 1000/- වගේ මුදලක් හම්බ කරල කොහොමද මේ ඔක්කොම කරන්නෙ. අපිට රජයේ සේවය කරන අයට වගේ අර්ථසාධක නැහැ. බෝනස් නැහැ. ඇරියස් නැහැ. මේ හොයාගන්න තුට්ටු දෙකෙන් තමයි ඔක්කොම දේවල් කරන්න වෙලා තියෙන්නෙ. අපි LED ලයිට් එකක් හයිකරගෙන වාහනේ දිව්වොත් රථවාහන පොලීසියෙන් ලියනව ත්‍රීරෝද රථවලට මේ ලයිට් එක ඔරිජිනල් ඇවිල්ල නැහැ කියල. හැබැයි ලොකු ලොක්කන්ගෙ වාහනවලට මේ නීති මොනවත් නැහැ. හැම නීතියක්ම පනවන්නෙ දුප්පත් ජීවිකාව කරගෙන යන ත්‍රීරෝද රථයටම තමා"

ඉන්දික ප්‍රසාද් කුමාර

"මම මගෙ වෘත්තිය කරන්න කිරිඳිවැල පාරෙ පරණ ඉරිදා පොළ තිබුණ තැන. මම දැනට රැකියාව කරන්න පටන් අරන් අවුරුදු 14 ක් විතර වෙනව. අපි කියන්න කැමයිති මුළු රටේම ඉන්න සියලුම ත්‍රීරෝද රථ රියැදුරන්ට රජය මඟින් මොකක් හරි සහනයක් ලබල දෙන්න කියල. අපෙන් මේ වෙන සේවය මොන වගෙ සේවයක්ද කියල බලල අපේ මේ වෘත්තියට ස්ථිරත්වයක් ලබා දුන්නොත් එහි වටිනාකම කියල නිමකරන්න බැහැ. අපි මෙතෙන්ට ඇවිත් උදේ 7 සිට රාත්‍රී 11 වනතුරු වැඩ කරනව. ගිනි අව්වෙ, වර්ෂා කාලයට තෙමි තෙමී තමා රැකියාව කරන්නෙ. මොන තරම් මගී සංඛ්‍යාවකට අපි සේවයක් කරනවද, අපෙන් මේ වෙන සේවය ලංගමයෙන්වත් ලැබෙනව කියන්න අමාරුයි. ඒ කියන්නෙ මගියෙක් මහ වැස්සෙ වාහනයට ගොඩකරගත්තාම ඒ මගියා නොතෙමා ගෙයි මිදුලටම ගෙන ගොස් ඇරලනව. බස් රථයකින් ඒ සේවය සලසන්න අමාරුයි. බොහෝ වෙලාවට අපේ වාහනවල මුදල් පසුම්බි, සෙලියුලර් දුරකථන දමා යනවා. අපි පසුවදාම ඒ අය සොයලා ඒ අයගෙ අතටම ලබා දෙනව. ඒ අය අපට තෑගි බෝග පවා ගෙනත් දුන්න අවස්ථා බොහොමයි. මේ නිසාම තමා මගී ජනතාව අපි කෙරෙහි තබා ඇති විශ්වාසය දිනෙන් දින වැඩිදියුණු වෙන්නෙ"

ප්‍රාදේශීය මාධ්‍ය සහෝදරවරුනි...පාඨකයිනි...ඔබේ ප්‍රදේශයේ ත්‍රීවීල් මිතුරන්ගේ වගතුග අපට කියන්න ඔබටත් පුළුවනි. ලිපිය සැකසීමට පෙර 0112429245 දුරකථන අංකය ඔස්සේ අපට දැනුම් දී , [email protected] යන ඊමේල් ලිපිනයට හෝ දිනමිණ විශේෂාංග අංශය, ලේක්හවුස් මන්දිරය, ඩී.ආර් විජයවර්ධන මාවත, කොළඹ 10 යන ලිපිනයට ලිපිය සහ පින්තූර (රියැදුරන් පහ‍ළොවකට වැ‍ඩි ප්‍රමා‍ණයක් සහ ත්‍රීවීල් රථ ගාල්හි පින්තූර සහිතව) අප වෙත යොමු කරන්න.

නව අදහස දක්වන්න