අපේක්ෂක ලැයිස්තුවට දූෂිතයන් එක්වීම | දිනමිණ

අපේක්ෂක ලැයිස්තුවට දූෂිතයන් එක්වීම

පාලනයට දූෂිතයන් හවුල් කර නොගත යුතුය යන මතය විද්වත් කථිකාවක් බවට පත්වූයේ අද ඊයෙක නොවේ. පසුගිය ජනපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද මේ මාතෘකාව ඉස්මතු වූයේ එවැනි තැනැත්තන්ගෙන් රටට සිදු වූ හානිය පැහැදිලිව පෙනෙන්නට තිබුණ හෙයිනි. එහෙත් මෙවරද දූෂිතයන් පන්සියයක් පමණ අපේක්ෂකයන් වී ඇති බව වාර්තා වෙයි. මේ තත්ත්වය පිටුදැකීමේ සමාජ වගකීම පිළිබඳ විද්වත් පිරිස් දක්වන අදහස් වෙනුවෙන් මෙවර දේශපාලන කොලෝසියමේ ඉඩ වෙන්වේ.

දූෂිතයන් එන්නේ ප්‍රධාන පක්ෂවලින්
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහචාර්ය සිසිර පින්නවල

මෙවර මැතිවරණයටත් දූෂිතයෝ ඉදිරිපත් වෙලා?

දේශපාලන පක්ෂ මේක කරන්නේ නොදැනුවත්ව නොවෙයි. දැන් බලන්න ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියට මොකද වුණේ. ද්විත්ව පුරවැසිභාවය ඇති අයෙකුට මැතිවරණයට ඉදිරිපත් වෙන්න බැහැ කියන නීතිය ශ්‍රීලංකා නිදහස් පක්ෂය දැනගෙන හිටියේ නැද්ද? දැනගෙන තමයි එයාව ඡන්දයට ඉදිරිපත් කළේ. මේ අය හිතනවා පත් වුණාට පස්සේ නීතිය ඔය කියන විදිහටම ක්‍රියාත්මක වෙන එකක් නැහැ කියලා. අපේ රටේ ගොඩක් නීති තියෙන්නේ නමට විතරක් නිසා පක්ෂ නියෝජිතයෝ මේවා ගණන් නොගෙන සිටීම කාලයක පටන් දකින්නට ලැබුණා. බලයේ සිටින අය තමන්ට ඕන විදිහට නීති හදා ගත්තා.

ඇත්තටම මේ රටේ දේශපාලනඥයන්ට හා සාමාන්‍ය ජනතාවට නීතිය ක්‍රියාත්මක වෙන්නේ දෙවිදියකට. මේ පාරත් හොරු, මිනිමරුවෝ, ස්ත්‍රී දුෂකයෝ ඡන්දයට ඉදිරිපත් වෙලා ඉන්න බව දැන ගන්න ලැබෙනවා. මැතිවරණ කොමිසම ඍජුව ඉන්නා බවක් පේන්න තිබීම යහපත් තත්ත්වයක්. නීතිය කොහෙන් හෝ කෙළින් නොවුණොත් මේ වැරදි අනාගතයේදීත් සිදුවේවි.

දූෂිතයො මැතිවරණවලට ඉදිරිපත් කිරීම වැරදි බව දැන දැනත් පක්ෂ ඒ වැරැද්දම කරන්නේ ඇයි?

නාම යෝජනා දීමේදී පක්ෂවලට පුළුවන් මේ වගේ පිරිස්වලට අවස්ථාව නොදී ඉන්න. නොයෙක් චෝදනා එල්ල වී තිබෙන පුද්ගලයන් මැතිවරණයට ඉදිරිපත් වෙලා තිබෙන්නේ ප්‍රධාන පක්ෂවලින් බව අප අමතක කරන්න හොඳ නැහැ. පක්ෂ නායකයන් මහජනතාව නොමඟ යවන්න සාදාචාරය ගැන මහ ඉහළින් කතා කළාට ප්‍රායෝගිකව ඒක සිදු කරන්න කැපවෙන තත්ත්වයක් පේන්න නැහැ. දේශපාලනඥයන් බහුතරයක් නීති විරෝධී වැඩවලට සම්බන්ධ වන තත්ත්වයක් දකින්න ලැබෙන නිසා ඔවුන් ළංකර ගන්නේ ඒවාට සහය දෙන පිරිසක්. මැතිවරණයක් අවාම ඒ අයට කරන උදව්ව තමයි අපේක්ෂකකමක් දෙන එක.මේ තත්ත්වය අපි කාලයක පටන් දැක තිබෙනවා.

මේ දූෂිතයෝ පත්වුණොත් ඔවුන් කරන වැරැදි තව වැඩිවෙයි නේද?

අනිවාර්යයෙන්ම ඒක වෙනවා. තමන් කරන වැරදි තවත් ඉහළින් කරන්න බලපත්‍රයක් විදිහට තමයි මේ අය මන්ත්‍රී ධුර පාවිච්චි කරන්නේ. ලංකාවේ නඩුවක් අහලා ඉවර කරන්න කොච්චර කාලයක් යනවද? නඩුව ඉවර වෙනකොට මන්ත්‍රී ධුරයේ වරප්‍රසාද සෑහෙන කාලයක් බුක්ති විඳින්න පුළුවන් කියලා මේ අය දන්නවා. තීන්දුවක් දුන්නම ඊළඟට ඇපීල් කරනවා. වැරදිකරුවෙක් වෙන්න නම් නීතියෙන් ඒක ඔප්පු කරන්න ඕන, නැත්නම් ඔහු සැකකරුවෙක් පමණයි කියලා කියන වචනය අල්ලගෙන තමයි මේ අය වැඩ කරන්නේ. පැහැදිලිව පේනවා වරදක් කරලා තිබෙන බව. ඒත් නීතිය ඉදිරියේ ඔප්පු වෙනකල් කියලා හැම වරප්‍රසාදයක්ම ලබා ගන්නවා. මම කියන්නේ යම් චෝදනාවක් එල්ල වී ඇත්නම් ඒකෙන් නිදහස් වෙනකල් මේ අයට ඡන්දය ඉල්ලන්න අවස්ථාව නොදී ඉන්න ඕන කියලයි.

මෙවැනි පිරිස් ප්‍රතික්ෂේප කරන්න ජනතාවටත් වගකීමක් තිබෙනවා නේද?

වගකීමක් තිබුණත් ඒ වගකීම ජනතාව විසින් ඉටු කරන තත්ත්වයක් පේන්න නැහැ. මොකද ජනතාව අද ඡන්දය පාවිච්චි කරන්න පෙළඹිලා තිබෙන්නේ තමන්ට ලැබෙන පෞද්ගලික වාසි ගැන හිතලයි. අපිට ප්‍රශ්නයක් තියෙනවා නම් ගිහින් මන්ත්‍රීවරයාට කියලා ඒකට උදව්වක් ගන්න පුළුවන් නම් අපි ඒ මනුස්සයා මොන නීති විරෝධී වැඩක් කළත් ඡන්දය දෙනවා. හැබැයි මේ කෙටිකාලීන පුද්ගලික වාසියෙන් වැඩක් වෙන්නේ නෑ. මොකද මේ දූෂිතයෝ කරන වැරැදිවලින් උදව්ව ලබා ගත් තැනැත්තා වගේම සමස්ත සමාජයම පීඩාවට පත්වෙනවා.


බුද්ධිමතුන් නැති පාලනයක මෙහෙම දේවල් වෙනවා
- රුහුණු විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ආචාර්ය ෂම්මික ලියනගේ

පළාත් පාලන මැතිවරණය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

රාජ්‍යයක කුඩා බල ප්‍රදේශයක ක්‍රියාත්මක වන ආයතන ව්‍යුහයක් සඳහා සුදුසු නියෝජනයක් ලබා දීම සඳහා කරන කටයුත්ත තමයි පළාත් පාලනය කියන වචනයේ දළ අදහස. ලංකාවේ පළාත් පාලන ආයතන කියන ඒවායේ ආරම්භය පණ්ඩුකාභය රජ සමය දක්වා දිව යනවා. 1818 කැරැල්ලෙන් පසුව පණ්ඩුකාභය රජ දවසේ සිට පැමිණි මේ ග්‍රාමීය නියෝජන ක්‍රමයේ හිඩැසක් ඇති වෙනවා. නැවතත් 1856 නැවත මේ ගම් සභාව පිහිටුවනවා. 1980 සංවර්ධන සභා ආරම්භ කරලා, ඒ ආරම්භයේ සිටම මේ ප්‍රාදේශීය පළාත් පාලන ව්‍යුහය ඉතා දූෂිත තැනකට පත්ව තිබෙනවා. මේ ව්‍යුහයන් ඇතුළේ ක්‍රියාත්මක විය යුතු මූලික දේ තමයි සප්ත අපරිහාණි ධර්ම. නමුත් මේ වන විට ගුණ ධර්මයක් නැති පරිහානි ධර්මයන් තමයි වර්ධනය වී තිබෙන්නේ.

මේ මැතිවරණයටත් දූෂිත අපේක්ෂකයන් 500ක් පමණ ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙනවා. දූෂණය තරයේ ප්‍රතික්ෂේප කරන කථිකාවක් තිබියදීත් එසේ වීමට කුමක් ද?

ප්‍රාදේශීය වශයෙන් බැලුවහොත් මේ පළාත් පාලන ආයතනවලට විශාල වගකීම් සම්භාරයක් පැවරී තිබෙනවා. විශේෂයෙන්ම මිනිසාගේ උපතේ සිට මරණය දක්වාම සියලු ක්‍රියාකාර කම් මූලික ලෙස බද්ධ වෙන්නේ පළාත් පාලන ආයතන සමගයි. මේ පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් වන පුද්ගලයන් වගකීම් විරහිත ක්‍රියා කලාපය සහ ඔවුන්ට පළාත් පාලන ආයතන යාන්ත්‍රණය පිළිබඳ දැනුවත් ද කියන එක විශාල ගැටලුවක්. පළාත් පාලන ආයතන සඳහා පත්වන අයගේ පුහුණුව සඳහා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය පිහිටුවා තිබෙනවා. නමුත් පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ වුවත් එහි කාර්යභාරයන්, පටිපාටි පිළිබඳ පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා වන විධිමත් යාන්ත්‍රණික වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන බවක් පේන්න නෑ.

රටේ උගත් බුද්ධිමත් පිරිස දේශපාලනයෙන් ඈත්වීමත් දූෂිතයන්ට පාලනයට ඉඩ දීමක් වගේ නේද?

ලංකාවේ පළාත් පාලන ගම්සභා සහ ප්‍රාදේශීය සභා ගත්තම ඒවාට තේරී පත් වන අයගේ කිසිදු ප්‍රමිතියක් නෑ. බොහෝ ප්‍රදේශවල ඉදිරිපත් වී තිබෙන්නේ ගංජා කාරයෝ, කසිප්පු කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ වැනි ගමේ හයිකාරයෝ ටිකක් තමයි. ගමේ ඉන්නවා ගමේ හයිකාරකම් තියෙන පිරිස. පළාතට එනවා පළාතේ හයිකාරකම් තියෙන පිරිස. මහ දේශපාලනය ඇතුළේ ලොකු හොරු ටික ඇවිල්ලා තියෙනවා. ගමේ සිට දියවන්නාව දක්වාම වඩාත් දූෂිත, ප්‍රචණ්ඩ, සාහසික පිරිස් ටිකක් එන කොට උගත් හා බුද්ධිමත් ප්‍රවාහය දේශපාලනය හා ප්‍රායෝගික දේශපාලන භාවිතාවෙන් විශාල වශයෙන් ඈත් වී තිබෙනවා. ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් , මහාචාර්යවරුන් ඉන්නේ විශ්වවිද්‍යාලවලින් පිට. රටෙනුත් පිට. ඒ නිසා විදග්ධ නොවූ දේශපාලනයක් මේ රටේ භාවිතයට පැමිණ තිබෙනවා.

ඔබ වැනි උගතුන් නැවත මීට සම්බන්ධ විය යුතුයි නේද?

මේ රට ගොඩනැඟීමට නම් ජාතික රාජ්‍යය තුළ ඇති රේඛීය අමාත්‍යාංශ, පළාත් අමාත්‍යාංශ විශ්වවිද්‍යාලත් සමග බද්ධ වී කටයුතු කළ යුතුයිනේ. එහෙත් මම අහන්න කැමතියි මොන අමාත්‍යාංශයද විශ්වවිද්‍යාල ගුරුවරු වන අපට කතා කරලා තියෙන්නේ කියලා? මොන ගුරුවරයාටද කතා කරලා තියෙන්නේ ඔබේ දැනුම පාවිච්චි කරලා මේ වැඩකටයුතු ටික කරලා දෙන්න කියලා. ඒ ඒ විෂයයන්ට අදාළ අමාත්‍යාංශවල , දෙපාර්තමේන්තුවල අදාළ පර්යේෂණ සිදු විය යුතුයි. ඒවා අමාත්‍යාංශ සමග බෙදා ගත යුතුයි. එහෙම වැඩ පිළිවෙළක් නෑ. මේක දුන්න දුනුගමුවේ..ඊතළ කිතලගමුවේ..රාළ මීගමුවේ..මුවෙක් හැඬුවයි සබරගමුවේ..වගේ. කිසිම සම්බන්ධයක් අපි දකින්නේ නෑ.

මේ දේවල් නිවැරදි කිරීමට අවස්ථාවක් නැද්ද?

ප්‍රශස්ත පළාත් පාලනයක තිබිය යුතු ගුණාංග වත් මේ පිරිස දන්නේ නෑ. ප්‍රාදේශීය බල ප්‍රදේශයක් ඇතුළේ සහභාගිත්ව සංවර්ධනයක් තිබෙනවද? ජනතාව එක්ව සාකච්ඡා කර ජනතා කමිටු තුළින් ද අදහස් ගන්නේ? උදාහරණයක් කියනවා නම් මම ලංකාගම ගිය අවස්ථාවේ එහි ජනතාවගේ අවශ්‍යතාවය පාර. නමුත් ලබා දුන්නේ තෙකලා විදුලිය. අනෙක සම්මුතියෙන් කටයුතු කිරීම. මෙහි විසම්මුතිය තමයි සම්මුතිය වී තිබෙන්නේ. වගවීමක් තිබෙනවාද? මේවාට උදාහරණ ඕනෑ තරම් තිබෙනවා. කෝටි ගණන් වංචා දූෂණ කළ මිනිසුන් මෙවර මැතිවරණයටත් ඉදිරිපත් වී තිබෙනවා. චීනය වැනි රටවල කුණු ජාතික සම්පතක්. අපේ රටේ අයට දැනුම නෑ. කුසලතාවය නෑ. දන්න එකම දේ කොන්ත්‍රාත් සහ සල්ලි.

ප්‍රධාන පක්ෂ වලින් නැතුව ස්වාධීන කණ්ඩායමක් ලෙස උගත්, බුද්ධිමත් කණ්ඩායමකට ඉදිරිපත් විය හැකියි නේද?

මේ වන විට අපේ රට අල්ලස් දූෂණයෙන් හතර වැනි තැනට ඇවිල්ලා තියෙන්නේ. ගෝලීය වශයෙන් අපේ රටේ අභිමානය ගිලිහිලා තියෙන්නේ. දේශීය වශයෙන් සංවර්ධන මූලෝපායන් පිළිබඳ දැනීමක් නෑ. පළාත් පාලන විධීන් විද්‍යාත්මක නෑ. පළාත් පාලන කොට්ඨාස අතර විනිවිදභාවයක් නෑ. මහජන ප්‍රතිචාර ලබා ගැනීමේ වැඩසටහන් හැදිලා නෑ. කාර්යක්ෂමතාවයක් නෑ, සාධාරණභාවයක් නෑ. නීති ගරුක බව නෑ. මෙන්න මේ දේශපාලනය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරු ලෙස අපේ තිබෙන්නේ අන්ත කළකිරීමක්. අපි ආචාර්ය උපාධිය අරගෙන විශ්වවිද්‍යාලවල උගන්වනවා විතරයි. රටේ පරිපාලනයට, ජාතික සංවර්ධනයට අපේ දායකත්වය ගන්නේ නෑ. අපිත් මේ බලා ඉන්නේ ඊළඟ ගුවන් යානය කොහෙන්ද එන්නේ කියලා.


පක්ෂවලින් පරණ වරදම කරනවා
- කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන්

 මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් 500කට පමණ විවිධ චෝදනා ඇති බැවින් ඔවුන් මැතිවරණයෙන් දිනුවත් මන්ත්‍රීධුර ලබා දීමේ අවදානමක් ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති පවසා තිබෙනවා. මේ ගැන මොකද හිතන්නේ?

ඒක සත්‍ය කතාවක්. ස්ථාන මාරුවක් ලබාගෙන යා යුතු කෙනෙක්, එහෙම නැතිනම් රැකියාවකින් ඉල්ලා අස්වෙලා තරග කළ යුතු කෙනෙක්, අපරාධමය වරදකට චෝදනා එල්ල වෙලා දඬුවම් ලබා ඉන්න කෙනෙක් වැනි පුද්ගලයන් තමයි නුසුදුස්සෝ වෙන්නේ. මේ අය ඡන්දය ඉල්ලන්නෙ කරුණු සඟවලා නම් ඒ පුද්ගලයා ජනතා කැමැත්තෙන් පත්වුණත් මන්ත්‍රී ධුරය දරන්න බැරි වෙනවා. ඒ පුද්ගලයා සියලු දෙනාගෙන්ම බේරී මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නත් බොරු කිරීමේ වරදට දඬුවම් ලබන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එවැනි පුද්ගලයන්ට ඉදිරියේදී ඡන්දය ඉල්ලීමේ අයිතිය නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම දඩ ගැසීමේ හැකියාවත් තියෙනවා.

රටේ උගත්, බුද්ධිමත් පිරිසක් සිටිද්දී ඇයි පක්ෂවලින් මෙවැනි පිරිස්වලට අපේක්ෂකකම් ලබා දෙන්නෙ?

මේ වැරැද්දට විරුද්ධව අපි මේ තරම් පෙනී හිඳිද්දිත් දේශපාලන පක්ෂ මෙවැනි වැරැදි කරන්නෙ ඇයි කියන ගැටලුව අපටත් තියෙනවා. මැතිවරණ ක්‍රමයේ තිබෙන වෙනස පිළිබඳ අවබෝධය අඩුකම නිසා තවමත් පක්ෂවලින් මෙවැනි දූෂිතයන්ට තැන ලබා දෙනවා. ගාල්ලේ නම් එවැනි දූෂිත අපේක්ෂකයන් තනිවම ගෙයින් ගෙට ගිහින් ඡන්දේ ඉල්ලන්නේ නෑ. මිනිස්සු ඒ අයට ගහලා එලවනවා. බොහෝ තැන්වල දාලා තියෙන අපරාධකාරයෝ කැම්පේන් කරන්නෙ නෑ.

සමස්ත ඡන්දදායකයාගේ මේ මොහොතේ වගකීම මොකක්ද?

මැතිවරණයට උනන්දුවක් නෑ කියන කතාව නම් බොරුවක්. වෙනදා වගේ මනාප යුද්ධයක් නැති හින්දා මැතිවරණ ව්‍යාපාරය ජනතාවට පේන්නෙ නැතිකමක් නම් තියෙනවා. පසුගිය සති දෙක තුළ උතුරු නැඟෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 17ක මම ඇවිද්දා. වැඩිපුරම උනන්දුව තියෙන්නෙ උතුරු පළාතේ ජනතාවට. ගමේ ජනයාට උපතේ සිට මරණය දක්වා ඇති ගැටලු විසඳන්න පුළුවන් හොඳම පුද්ගලයා තෝරා ගැනීමයි ජනතාව කළ යුතු වන්නෙ. ඒ වගේම ඉදිරිපත් වී සිටින අපේක්ෂකයා සහ පක්ෂය කියන කාරණා දෙකම එක හා සමානව කිරලා මැනලායි ඡන්දය පාවිච්චි කළ යුතු වන්නෙ. මේ සැරේ අපි කළ යුත්තෙ හරි අපේක්ෂකයා පත්වන විදියට ඡන්දය ප්‍රකාශ කිරීමයි.

මෙවර මැතිවරණ නීති-රීති උල්ලංඝනය කිරීම්වල තත්ත්වය කෙබඳුද?

මෙදා සැරේ නීති උල්ලංඝනය කිරීම් ලොකුවට වාර්තා වෙන්නෙ නෑ. ඒත් පෝස්ටර් ගහනවා. පෝස්ටර් ගැහුවා කියලා සමහරු පෝස්ටර් අලවලා තියෙන්නෙ ඒ පුද්ගලයාගේ කොට්ඨාසයෙන් පිට. ඒක ඉතින් වැඩකට ඇති දෙයක් ‍නොවේ.

ස්වාධීන කණ්ඩායම් ලෙස මැතිවරණයට ඉදිරිපත් වෙන උගත්, බුද්ධිමත් පිරිස තෝරා ගැනීමේ හැකියාවක් ඡන්දදායකයාට තියෙනවා නේද?

කුඩා පක්ෂ, ස්වාධීන කණ්ඩායම්වලටත් අතිවිශාල බලයක් ලැබෙන එක මෙවර මැතිවරණ ක්‍රමයේ තියෙන හොඳ දෙයක්. මේ මැතිවරණ ක්‍රමය නිසා මෙදා සැරේ ඡන්දය හාත්පසින්ම වෙනස්. සමහර තැන්වල දේශපාලන පක්ෂ හත, අටක් හෝ ස්වාධීන කණ්ඩායම් කීපයක් අතර ලොකු තරගයක් පවතිනවා. ඒ හරහා ස්වාධීන කණ්ඩායම් වගේම කුඩා පක්ෂවලටත් ලොකු බලයක් ලැබීමට ඉඩ ප්‍රස්ථාව වැඩියි. ඒක තමයි මේ මැතිවරණ ක්‍රමයේ තිබෙන ඉතාම හොඳ තත්ත්වය. සාමාන්‍යයෙන් පක්ෂ, ස්වාධීන කියා වෙනසක් නැහැ. හොඳ පුද්ගලයන්ට ජයග්‍රහණය කිරීම පහසුයි. ඒ නිසා මේ මැතිවරණ ක්‍රමය හරහා කුඩා පක්ෂ වගේම ස්වාධීන පුද්ගලයන්ටත් පාලන තන්ත්‍රයට එක්වීමට ලොකු හැකියාවක් පවතිනවා.


දූෂිතයන් ප්‍රතික්ෂේප කරන්න
- රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එස්. ඩබ්ලිව්. අමරසිංහ

පසුගිය දිනවල ජනාධිපතිතුමා ප්‍රකාශයක් කළා දූෂණ චෝදනා තිබෙන සහ දූෂිත ක්‍රියාකාරකම්වල නිරත කිසිවෙකුට මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා නොදෙන ලෙස. ඒ දේ සිදු වී තිබෙනවද?

මේ මැතිවරණයට ග්‍රාමීය වශයෙන් තමයි අපේක්ෂකයන් ඉදිරිපත් වෙන්නෙ. නායකත්වය විවිධ තරාතිරම් තුළින් සමාජයේ මතුවෙනවා. සමාජයේ සිදුවන වෙනස්වීම් මත තිබූ සම්භාව්‍ය බව ගිලිහිලා ගිහින්. යම් යම් ක්‍රමවලින් පෝසත් වූ පිරිස් අද නායකත්වයට පැමිණෙමින් ඉන්නවා. ආර්ථික හා පිරිස් බලයෙන් ශක්තිමත් අය යොදවලා වැඩිපුර ඡන්ද ලබාගෙන බලය තහවුරු කරගන්න තමයි දේශපාලන පක්ෂ ක්‍රියා කරන්නේ. ඒ නිසා සමාජයේ විවිධ අපචාර හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයනුත් අපේක්ෂකත්වය ලබාගෙන තිබෙන බව හෙළිදරව් වීගෙන යනවා. ඇත්තටම ඒ තත්ත්වය සිදු නොවිය යුතු දෙයක්. අපට ඒ දේ කිසිසේත් අනුමත කරන්න බැහැ.

මේ තත්ත්වය මත අනාගතයේදී රටේ පළාත් පාලන ක්‍රමයට මොන වගේ තත්ත්වයක් උදා වේවිද?

මැතිවරණයට ඉදිරිපත් වෙන සියලුම අපේක්ෂකයන් දූෂිතයන් නොවේ. ඒත් එවැනි පුද්ගලයන් නැතිවමත් නොවෙයි. ජනතා නියෝජනයට සුදුසු, උගත්, දූෂිත ලේබල්වලින් තොර, යහපත් බුද්ධිමත් පුද්ගලයන් තෝරා බේරාගෙන පත්කිරීම එක මහජනතාවගේ වගකීමක්.

කාන්තා නියෝජනය සඳහා 25% කට අවස්ථාව ලබාදීම ඔබතුමා දකින්නේ කොහොමද?

ඒක හරි වැදගත්. මොකද කාන්තාවෝ කියන්නෙත් ග්‍රාමීය ක්ෂේත්‍රය තුළ ප්‍රාදේශීය මට්ටමින් අවංකව කැපවීමකින් වැඩ කරන්න පුළුවන් පිරිසක්. එවැනි අයගේ දායකත්වය ලබාගෙන ග්‍රාමීය වශයෙන් තිබෙන අවශ්‍යතා සපුරා ගැනීම අවශ්‍ය වෙනවා.

තරුණ පිරිස නියෝජනය නොවීම මොන විදියට බලපායිද?

තරුණ පිරිස කියන්නෙ කායිකව මෙන්ම මානසිකව වැඩ කිරීමේ හැකියාවක් තිබෙන අය. විශේෂයෙන් තරුණ අවශ්‍යතා වගේම වෙනස්වන සමාජීය අවශ්‍යතා ගැන අවබෝධයෙන් කටයුතු කරන පිරිසක් නිසා ඒ අය වෙනස්වන ලෝකයත්, සමාජයත් සමඟ කටයුතු කරන්න උත්සාහ ගන්නවා. අපට මතකයි 1971 දී තරුණ අරගල ඇති වුණේත් තරුණ කොටස් දේශපාලනය තුළත් රටේ ආර්ථික වර්ධන ක්‍රියාදාමය තුළත් නොසලකා හැරපු නිසා ඇති වුණ අපේක්ෂා භංගත්වය නිසයි. රටේ පාලනය එක පරම්පරාවකට පමණක් සීමා නොකර තරුණ පිරිස් සම්බන්ධ කර ගැනීම වැදගත් දෙයක්.

මෙවර මැතිවරණයේදී ප්‍රධාන පක්ෂවලට අමතරව ස්වාධීන අපේක්ෂකයන් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වී සිටිනවා. මේ තත්ත්වය ඔබතුමා දකින්නේ කොහොමද?

මෙවැනි ස්වාධීන කණ්ඩායම් හෝ පුද්ගලයන් වශයෙන් ඉදිරිපත් වන පිරිස් අතර ජනතා නියෝජනයට සුදුසු අය සිටීමට පුළුවන්. ඇතැම් ඡන්දදායකයන් ප්‍රධාන දේශපාලන පක්ෂ වෙතින් ඉවත්ව ඡන්දයෙන් වැළකී සිටීමට පියවර ගන්නා අවස්ථාවක මේ ස්වාධීන අපේක්ෂකයන්ට ඔවුන්ගේ අවධානය යොමුවීමටත් ඉඩ තිබෙනවා. කෙසේ හෝ ජනතා පරමාධිපත්‍යය රකිමින් කටයුතු කරන අවංක ක්‍රියාශීලී නායකයන් පත්කර ගැනීම තමයි ජනතාවගේ ජයග්‍රහණය වෙන්නෙ.

ස්වාධීන කණ්ඩායම් හෝ අපේක්ෂකයන් ජයග්‍රහණය කළත් ජනතා අපේක්ෂා ඉටුකර ගැනීමට නොහැකි බව ඇතමෙක් කියනවා. එහි සත්‍යයක් ‍තිබේද?

වෙනත් පක්ෂවලින් හෝ ස්වාධීන කණ්ඩායම් වලින් පත්වන නියෝජිතයන් රජයට විශාල අභියෝගයක් වෙන්න පුළුවන්. එ්ත් වැඩ කරන්න බැරි වෙන්නේ නෑ. ආණ්ඩුව වෙන් කරන ප්‍රතිපාදන මේ අයටත් ලැබෙනවා. ඒ වගේම තම හැකියා මත අභියෝග ජයගනිමින් වැඩ කරන්න මේ අයට පුළුවන් වෙන්න ඕනේ.

මෙවැනි අවස්ථාවක ඡන්දදායකයාට තිබෙන වගකීම මොකක්ද?

වඩා සුදුසු පුද්ගලයන් පත් කරගන්න මේක හොඳ අවස්ථාවක්. දූෂිතයන්ව පරදවන්න ජනතාවට අතීතයෙන් ලැබුණ අත්දැකීම් ඕනෑවටත් වැඩිය තියෙනවා.

අසේල කුරුළුවංශ
ක්‍රිසන්ති විතාරණ
අමිල මලවිසූරිය
නිශාන් මෙන්ඩිස්

නව අදහස දක්වන්න