නාගොඩ-ගම්මැද්දේගොඩ යා කළ පාලමෙන් නිවාස ඉඩම් ගඟට බිලි | දිනමිණ

නාගොඩ-ගම්මැද්දේගොඩ යා කළ පාලමෙන් නිවාස ඉඩම් ගඟට බිලි

 දහස් සංඛ්‍යාත ජනපිරිසකට ගමනාගමන පහසුකම් සලසමින් නාගොඩ ගම්මැද්දේගොඩ යාකරමින් ගිං ගඟ හරහා ඉඳිකළ පාලම නිසා අද වනවිට නිවාස හතරක් ගඟට බිලි වී ඇත. පාලමේ ප්‍රධාන කණුව හරහා වදින ජල කඳ ගං ඉවුරේ වැදීමෙන් ගං ඉවුරු බිඳීයාම වේගවත් වී තිබේ. ගඟ අසබඩ නිවෙස් හිමියන් අදාළ වගකිවයුතු අංශ දැණුවත් කළත් මෙතෙක් විසඳුමක්ද ලැබී නැත.

ඩබ්ලිව්. ජී. වීරසේන මහතා - අපි මේ පාලම හදන්න ඉඩම දුන්නෙ සත පහක්වත් අරගෙන නෙවෙයි. අපිට ඉඩමක් දෙනවා කිව්වා. නමුත් දැන් තියෙන ඉඩමත් මට නැති වෙලා. යාන්තමට ගේ විතරයි ඉතිරිවෙලා තියෙන්නෙ. ඒකත් කොයි වෙලේ ගඟට කඩාගෙන යයිද දන්නෙ නෑ. ගේ පිටිපස්සෙ පොල්ගස් අටක්ම පාලම දැම්මට පස්සෙ ගඟට ගියා. හැමෝටම තුන් හතරවතාවක් කිව්වත් තවම සාධාරණයක් ඉටුවෙලා නෑ. මේ ස්ථානයට ඉතා ඉක්මණින් ගල් බැම්මක් හෝ කොන්ක්‍රීට් බැම්මක් ඉදිකර හෝ නිවාසවල සුරක්ෂිත බව රැක දෙන්න කියල ඉල්ලා සිටිනවා.

එමිනෝනා වේරගොඩ මහත්මිය - මේ පාලමේ මැද කණුවෙ වදින මහ ජල කඳ ගං ඉවුරෙ වැදිලා අපේ ඉඩම ගඟට බිලි වෙනවා. වගකිවයුත්තන් කවුරුවත් බලන්නෙ නෑ. රෑට ගෙදර නිදාගන්න බයයි. තව අඩි හයක්වත් නෑ ගඟ සහ ගේ අතර. අපි රෑට නිදාගන්න වෙලාවක ගං කණ්ඩිය කැඩුණොත් සේරෝම ගඟේ. එතකොට අපි ගැන සොයල වැඩක් නෑ. ඉක්මණින් කරන්න ඕනෙ.

ඩබ්ලිව්. ජී. සිසිලින් මහත්මිය - අපිට මොනවත් එපා ඉක්මණින් මේ සිද්ධවෙන විනාශය නතර කර දෙන්න. මේ විදියට ගියොත් වැඩි දවසක් නොගිහින් පාලමත් ගඟට වැටේවි.

සටහන සහ ඡායාරූප - නාගොඩ සමූහ ටී.එල්.ඒ.පී.හේමපාල

නව අදහස දක්වන්න