දශක තුනකට අධික කාලයක් තිස්සේ පවත්නා අලි මිනිස් ගැටුම් හේතුවෙන් හසලක හා මිනිපේ ගොවි ජනපද ආශ්රිත ගම්මාන රැසක ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිති.
මිනිපේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වේරගම, වේරගංතොට, මොරයාය, හදගනාව, හසලක, කොළොංගොඩ, කොළොංයාය මිනිපේ ආදී ගම්මාන රැසක ගොවි මෙන්ම පාසල් සිසුහුද මේ අලි උවදුර හේතුවෙන් දැඩි පඩාවකට පත්ව සිටිති.
දිනෙන් දින උග්‍ර වෙමින් පවත්නා අලි මිනිස් ගටුම් හේතුවෙන් මේ වන විටත් ගොවි ජනපදවල අති විශාල පිරිසක් සිය ජීවිතවලින් වන්දි ගෙවා ඇති අතර නිවාස බව බෝග ඇතුළු රුපියල් කෝටි ගණනක දේපලද තමුන්ට අහිමිවී ඇතැයි ජනතාව පවසති.
කේ. ඒ. ගාමිණි මහතා
මාදුරුඔය , වස්ගමුව ජාතික වනෝද්‍යානවල වගේම රන්දෙනිගල රන්ටැඹේ අභය භුමිවල ජීවත්වන අලි රංචු විටින් විට රාත්‍රි කාලයේදී අපේ ගම්වලට එනවා.
රැය පහන් වන තුරුම ගම්වල ඇවිදින මේ අලි රංචු ගෙවතුවල තියෙන හැම බෝගයක්ම විනාශ කරනවා. කෙසෙල් ගහක් , පොල් පැළයක්, කොස් පැළයක් ලොකු කර ගන්න කිසිම දවසක අපට අවස්ථාවක් නෑ. හැම දෙයක්ම කාල පාගල විනාශ කරනවා.
කුසුමා උස්වත්ත මහත්මිය
අපි හේනක් කුඹුරක් හදාගෙන ජීවත්වෙන මිනිස්සු. මේ කරන හේනකින් කුඹුරකින් ලැබෙන ආදායමින් තමයි අපි ඊළඟ කන්නය එනකම්ම ජීවත් වෙන්නේ. අපේ දරුවන්ට ඉගන ගන්න පොතක් පතක් , අරන් දෙන්නෙත් ඇඳුමක් අරන් දෙන්නෙත් මේ ගොවිතැනකින් ගන්නා ආදායමින්.
ගම්වලට කඩා වදින වල් අලි බව බෝග විතරක් නෙමෙයි මිනිස් ජීවිතත් බිලි ගන්නවා. මේවන විටත් මේ ගම්වල දරුවො වගේම වැඩිහිටි විශාල පිරිසක් වන අලින්ට ගොදුරුවී තිබෙනවා.
අලි පන්නන්න සමහරු ගිනි දල්වනවා. සමහරු අලි යන පාරවල් වල ඇණ හිටවනවා. රතිඤ්ඤා දල්වනවා. මේ වැඩ නිසා අලි වියරු වැටිලා මිනිසුසුන්ට පහර දෙනවා. ඒ වගේම ගෙවල් වලටත් පහරදී කඩා දමනවා.
ආනන්ද හේමසිරි මහතා
අලි ඉන්නේ රක්ෂිතවල. උන් ගම්වදින එක වලක්වන්න හුගක් රක්ෂිත වටේ විදුලි වැට ගහල තියෙනවා. හැබැයි ඔය විදුලි වැටවල් හරියට නඩත්තුවෙන්නේ නෑ. ඒ නිසා ඒව පෙරළගෙන අලි ගමට එනවා.
ඩී. එම්. ගුණරත්න මහතා
මේ අලි ගැටලුව ගැන කියන්න ඕනි හැමෝටම කිව්වත් කිසිම පළක් අත්වී නෑ. අලි ආවම වන ජීවී එකේ අය ඇවිත් පන්නනවා. නැත්නම් ඒ කාර්යාලයට ගියාම වෙඩිල්ලක් දෙකක් දෙනවා. හැබැයි දිනක් දෙකක් යද්දි අලි ටික ආයෙත් ගමට එනවා.
අවුරුදු 30 කටත් වැඩි කාලයක් තිස්සේම සිද්ධවෙන්නේ මේ දේ . ඒත් මේකට ස්ථිර විසඳුම මෙය නොවන බව මේ කිසිම කෙනෙක් තේරුම් ගන්නේ නෑ. මේ රක්ෂිත වටා තියෙන විදුලි වැටවල් ටික හරියට හදල ඒව නඩත්තු වෙනව නම් කිසිම දවසක මේ අලි ගමට එන්නේ නෑ.
සටහන හා ඡායාරූප -
මීගහකිවුල එන්. නවරත්න
නව අදහස දක්වන්න