මම ජනාධිපතිධුරයෙන් යන්නේ දූෂිත දේශපාලකයන්ට දඬුවම් දීලයි | දිනමිණ

මම ජනාධිපතිධුරයෙන් යන්නේ දූෂිත දේශපාලකයන්ට දඬුවම් දීලයි

මහින්ද අලුත්ගෙදර කොස්ගම සිට...

ජනාධිපති ධුරයෙන් නික්ම යන්නේ කවදාදැයි ඇතැමුන් ප්‍රශ්න කළත් තමන් ජනාධිපති ධූරයෙන් නික්ම යන්නේ දූෂිත දේශපාලනඥයන්ට නිසි දඬුවම් ලබාදීමෙන් අනතුරුව බව ජනාධිපති මෛත්‍රිපාල සි‍රිසේන මහතා පවසයි.

දූෂණයට, වංචාවට එරෙහිව ජනතාවාදී ගමනක් යාමට ජනතාව සමඟ පාරට බැසීමට වුවද සූදානම් බව ජනාධිපතිතුමා අවධාරණය කළේ ඊයේ(18) පස්වරුවේ කොස්ගම ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි. මෙම පෙබරවාරි 10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව දේශපාලන බේදයකින් තොරව රටට ආදරය කරන සියලු දේශපාලනඥයන් එක්කර ගනිමින් දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයක් ආරම්භ කරන බව පැවසූ ජනාධිපතිවරයා ඊට එක්වන ලෙස මේ රටේ සියලු ආගමික නායකයන්ට, උගතුන්ට, බුද්ධිමතුන්ට මෙන්ම රටට ආදරය කරන සියලු ජනතාවට ගෞරවයෙන් ආරාධනා කරන බව ද කියා සිටියේය.

රටත්, ජාතියත් වෙනුවෙන් ඉටුකළයුතු වැඩකොටස කිසිසේත් අතපසු කළ නොහැකි අතර එම ගමන සාර්ථකව ඉදිරියට යාමට ආදර්ශවත් දේශපාලනඥයන් පිරිසක් රට තුළ ගොඩනැගිය යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

2015 ජනවාරි 8 වනදා සිදුවූ වරද නිවැරදි කිරීමට ආපසු හැරෙන්නැයි හිටපු නායකයන් මේ රට් ජනතාවගෙන් කරන ඉල්ලීම පිළිබඳ ද සිහිපත් කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ ආපසු හැරෙන ලෙස ඔවුන් ඉල්ලන්නේ දුෂිත පාලනයක් මෙන්ම අතුරුදන්වීම්, මිනිස් ඝාතන, මාධ්‍යවේදින් මරා දැමීම සහ මාධ්‍ය ආයතන ගිනිගත් යුගයක් යළිත් මේ රටේ නිර්මාණය කිරීමට නොවේදැයි ප්‍රශ්න කළේය.

එමෙන්ම පැවැති පාලනය සහ හිටපු නායකයන් ගැන ජාත්‍යන්තරයේ ඇති සහතික මැකී ගොස් නොමැති අතර යළිත් ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාව අසරණ කර රටේත් ජනතාවගේත් අනාගතය අඳුරු කරන ඔවුන්ගේ වැඩපිළිවෙළ සමඟ ආපසු හැරීමට මේ රටේ ජනතාව සූදානම් නොමැති බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා පැවැත්වෙන ජනහමු මාලාවේ සීතාවකපුර නගර සභා හා ප්‍රාදේශීය සභා අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ මහා ජන රැලිය අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් මෙලෙස කොස්ගම ඩැනී විජේසුන්දර ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

අදහස් 1ක් ඇත

දූෂිත දේශපාලකයන්ට වගේම දූෂිත රජයේ නිලධාර්නට දඩුවම් දියයුත්යි. මන්ද දේහපාලඥයෙක් දූෂිත නම් සමහර විට ඔහුට ඇමතිකම නැති වෙනවා. නමුත් සමහර කපටි නලිධාරින් සිටිනවා ඇමති ලියත් එයා යන්නේ නැහැ. එන එන පැත්තට හේතුත් වෙවෙි හැමදාම වරප්‍රසාධ ලබමින් සිටිනවා. මේඅය මේ අයගේ පවුල් වල අය ගමන් යන්නේ කන්නේ බොන්නේ සැප විදින්නේ අසරන ජනතාවගේ මුදල් කියලා හැඟමක්වත් නැහැ. රජයේ වාහන ඉන්ධන රියදුරන් දුරකථන මේ සියල්ල අයථා ලෙස පාවිච‘චි කරන ගමන් ආයතන ඇතුලේ හැකි තැන වංචා කරනවා, කොමින් ගහනවා, අයුතු ලාබ ප්‍රෙයා්ජන ලබනවා. මෙහෙම අය හොයලා අදුවම් දෙන්න. නැත්නම් කවදාවත් රාජ්‍ය සේවය අල්ලසින් දූෂණයේන තොර කරනන් බැහැ.

නව අදහස දක්වන්න