අල්ලස-දූෂණ විපාක දරුවන්ට කියා දෙන්න රට පුරා පාසල් වැඩමුළු | දිනමිණ

අල්ලස-දූෂණ විපාක දරුවන්ට කියා දෙන්න රට පුරා පාසල් වැඩමුළු

විජයානි එදිරිසිංහ.

අල්ලසට-දූෂණයට යොමුවීම සහ එහි භයානක තත්ත්වය කුඩා කළ සිටම දරුවන්ගේ මනසට ඇතුළත් කර එතැන් සිට අල්ලස, දූෂණය වැළැක්වීමට කටයුතු කිරීමට අල්ලස් හෝ දුෂණ කොමිසම මගින් රට පුරා පාසල් ළමුන්ට වැඩමුළු පැවැත්වීමේ වැඩ සටහනක් ආරම්භ කර තිබේ.

ඒ අනුව එහි ප්‍රථම වැඩ මුළුව තලාව සහ කැබතිගොල්ලැව ප්‍රදේශවල දී පාසල් ළමුන් හත්සියයක් සඳහා පවත්වන බව කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා පැවසීය. එම වැඩමුළුව හඳුන්වන්නේ සුපිරිපන්න වැඩමුළුව යනුවෙනි.

කැබතිගොල්ලෑව මුලස්ථාන පොලිස් පරීක්ෂක ජයන්ත මහතා අල්ලස් කොමිසම මගින් මෙවැනි වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට යන බව දැනගෙන කොමසාරිස්වරයකුට කතා කර තම පොලිස් බලප්‍රදේශයෙන් ‍එම වැඩසටහන ආරම්භ කරන ලෙස දන්වා තිබේ. ඒ අනුව කොමසාරිස්වරු තලාව සහ කැබතිගොල්ලැව ප්‍රදේශවලින් අද සිට එම වැඩ සටහන ආරම්භ කරයි. ඒ සඳහා පාසල් ගණනාවක සිසුන් එකතු කර ගෙන ඇත.

නෙවිල් ගුරුගේ මහතා පෙන්වා දෙන්නේ අල්ලස් පැමිණිලි එන තෙක් හෝ පැමිණිලි විභාග කර එම පුද්ගලයාට දඬුවම් දීමෙන් පමණක් අල්ලස සහ දුෂණය අවසන් කළ නොහැකි බවයි. ඒ සඳහා දීර්ඝ කාලීනව ප්‍රථිළුල ලැබෙන පරිදි අ‍පේ අනාගත දරු පරපුර අල්ලසට සහ දූෂණයට යොමුවීම වළක්වා ගැනීමට ඔවුන්ට කුඩා කාලයේ සිටම ඒ සමබන්ධ දැනුම ලබා දීම වැදගත් බව නෙවිල් ගුරුගේ මහතා පෙන්වා දෙයි. 

නව අදහස දක්වන්න