බාඳුරා දැන් අමුත්තෙක් නොවේ | දිනමිණ

බාඳුරා දැන් අමුත්තෙක් නොවේ

අසේල කුරුළුවංශ

නිළි රැ‍ජිණ මාලනිත් බාඳුරා මලක් වෙයි

බාඳුරා ගැන අසා තිබුණත් ඒ මල සියැසින් දැක ඇත්තේ ඉතා සුළු පිරිසකි.මාංශ භක්ෂක (Carnivorous) ශාඛයක් ලෙස ප්‍රචලිත බාඳුරා ලංකවේ දැකිය හැක්කේ සිංහරාජය හා සමනල කන්ද ආශ්‍රිත ප්‍රදේශවල පමණි.ලෝකයේ බාඳුරා විශේෂ 120 ක් පමණ දැකගත හැකි අතර ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුව තිබෙන්නේ එක් බාඳුරා විශේෂයක් පමණක් බව උද්භිද විද්‍යාඥයෝ පවසති.බාඳුරා ඉතාම සුවිශේෂි පරිසර තත්ත්වයක් යටතේ වැඩෙන දුර්ලභ ශාඛයක් නිසාම එය කොතරම් සුන්දර වුවත් නිවසක විසිතුරු පැළෑටියක් ලෙස වගා කිරීමේ අවකාශ මෙතෙක් නොලැබිණි. වනජීවී හා වෘක්ෂලතා ආඥා පනතට අනුව බාඳුරා නිවසක වගා කිරීමද වරදකි.දැන් සියල්ල වෙනස් වෙමින් තිබේ.විසිතුරු මල් පැළයක් ලෙස බාඳුරා ඔබේ නිවස වෙත එන දිනය වැඩි ඈතක නොවන්නේය.ලෝකයේ ස්වභාවිකව හැඳුණු බාඳුරා විශේෂ සියයක පමණ බීජ උපයෝගී කර ගනිමින් නිර්මාණය කළ දෙමුහුන් බාඳුරා විශේෂ අටක් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා සිදුකෙරුණු අතර උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේද සහය ඇතිව දේශීය මල් වගාකරුවන් අතර ඒවා මුලින් ප්‍රචලිත කිරීමට නියමිතය. බාඳුරා පුෂ්පය ඉතා වර්ණවත්ය.එමෙන්ම සුවඳවත්ය.එහි පත්‍රවල පිහිටීමද වෙනස්ය.මේ නිසාම කෘමීන් බාඳුරා වෙත ඇදී එයි.ලස්සන හා සුවද පසුපස හමායන කෘමියාට අවසානයේ උරුම වන්නේ මරණයයි.බාඳුරා එක් පැත්තකින් කෘමි උගුලකි. බාඳුරා මල තුළට වැටෙන කෘමියකුට යළි පිටතට එන්නට අවකාශ නොමැත.කොපුවක හැඩය ගන්නා මල පතුලට වැටන කෘමියා එහි ඇති කෙඳිවළ ඇලෙයි.ඉන් කෙසේ හෝ ගැලවුණද මලේ ඇතුළත බිත්තිවල පවත්නා ලිස්සන සුළු ස්භාවය උගේ පිටතට ඒමේ සිහින බොඳ කර දමයි.මේ තුළ මියයන කෘමීන් ජීර්ණය කර අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීම බාඳුරා ශාඛයේ ස්භාවයයි.

මෙවන්වූ සුවිශේෂතා රැසකින් සමන්විත මාංශ භක්ෂක (Carnivorous) බාඳුරා පිළිබඳ පාසල් පන්ති කාමයේ කතා කරන අවස්ථා බහුලය.මේතාක් පින්තූරයිකින් හැර සියැසින් දැක ගැනීමට නොහැකිවූ බාඳුරා නව වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී පාසල් පන්ති කාමරයේදීද ළමුන්ට දැක ගැනීමේ භාග්‍යය උදාවනු ඇත.

ශ්‍රී ලංකාවට ප්‍රථම වරට හඳුන්වා දීමට නියමිතව තිබෙන දෙමුහුන් බාඳුරා විශේෂ අට වන්නේ ලේඩි ලක් (Lady luck),බිල් බේයිලි(Bill Bailey),බින්කි(binky),ක්‍රිම්සන් කිස්(crimson kiss),මිමිස් කිස් (mimis kiss),ක්වීන් මාලනී(queen Malani),සුකී(suki) හා සුසාන්(susan) ය.ක්වීන් මාලනී ලෙස එක් බාඳුරා විශේෂයක් නම් කර තිබෙන්නේ ශ්‍රීලංකාවේ නිලි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මියට ගෞරවයක් ලෙසය.වසර 20 ක පමණ කාලයක් පුරා ලිඳුල ප්‍රදේශයේ සිදුකරන ලද පරීක්ෂණ වලින් පසු දෙමුහුන් බාඳුරා විශේෂ 200 ක් පමණ බිහි කිරීමට ශාඛ විද්‍යාඥයකු වන රොබට් කැන්ට්ලේ (Robert Cantley) මහතා හා ඩයනා විලියම්ස් (Diana Williams) මහත්මිය සමත්ව තිබේ.

"මෙතෙක් අපි මේ දෙමුහුන් බාඳුරා විශේෂ විදේශ රටවලට අපනයනය කිරීම පමණයි කළේ.ඇමරිකාව,ජපානය,ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවකට මේවා අපි වසර 20 ක පමණ කාලයක සිට අපනයනය කළා.ඒ අතරින් ලෝකයේ ජනප්‍රියම බාඳුරා විශේෂ 08 ක් මෙරට මල් වගා කරුවන්ට නිකුත් කිරීමට අපි තීරණය කළා. ශ්‍රීලංකාව තුළ බාඳුරා ප්‍රසිද්ධ කිරීම මගින් එක් පැත්තකින් වනාන්තරවල තිබෙන බාඳුරාවලට තිබෙන තර්ජනය අවම වෙනවා.බෝර්නියෝ එකස්සොටික් (Borneo Exotics) ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ රොබට් කැන්ට්ලේ (Robert Cantley) මහතා පවසයි.

"ලෝකයේ බාඳුරා විශේෂ 120 ක් පමණ තිබෙනවා.බීජ මගින් දෙමුහුන් බාඳුරා ප්‍රභේද 2000 ක් පමණ නිර්මාණය වී තිබුණත් විස්සක පමණ ප්‍රමාණයකට තමයි වැඩි ආකර්ෂණය තිබෙන්නේ.

අපි ශ්‍රීලංකාවට ආවේනික බාඳුරා විශේෂය කොහොමටවත් දෙමුහුන් කරන්න උත්සහ කළේ නැහැ.විශේෂ කාලගුණික තත්ත්වයක් යටතේ මේවා වැඩෙන නිසා බාඳුරා බෝ

කිරීම ඉතා අසීරුයි.ශ්‍රීලංකාවේ ලිඳුල ප්‍රදේශයේ පවතින කාලගුණික තත්ත්වය බාඳුරා පැළ වගාවට ඉතා යෝග්‍යයයි.මේක ඇත්තටම ස්වභාව ධර්මයේ අපූරු නිමයුමක්.පත්‍රය පටන් ගන්නා ස්ථානයෙන් මලේ කොපුවට ඉහළින් ඝනකම් කුඩා පත්‍රයක් පිහිටා තිබෙනවා.

එය තිබෙන්නේ කොපුව තුළට වැසි ජලය ප්‍රමානය ඉක්මවා වැටීම වලක්වන්නයි.බාඳුරා ඇත්තටම දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්.මේ නිසාම ලංකාවේ ජනතාව මේ දෙමුහුන් බාඳුරා කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වාවි..."බෝර්නියෝ එකස්සොටික් (Borneo Exotics) ආයතනයේ අධ්‍යක්ෂික ඩයනා විලියම්ස් (Diana Williams) මහත්මිය පැවසුවාය.

පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පර්යේෂණ හා තාක්ෂණ ප්‍රචාරන අංශයේ අධ්‍යක්ෂිකා ආචාර්ය සැලෝමි ක්‍රිෂ්ණරාජා මහත්මිය.. මාංශ භක්ෂක පැළෑටියක් වන බාඳුරා නිවසක විසිතුරු පැලෑටියක් ලෙස වගා කිරීම ශ්‍රීලංකික ජනතාවට අලුත් අත්දැකීමක්.ඕකීඩ්,ඇන්තූරියම් වගේ බාඳුරාද මෙරට තුළ ජනප්‍රිය කරන්න පුළුවන්.ඇත්තටම අපේ රටේ තියෙන්නේ බාඳුරා එක් විශේෂයක් පමණයි.ඒක අපේ රටට ආවේණිකයි.අපේ බාඳුරාවලට තර්ජනයක් නැහැ.වෙනත් රටවල බාඳුරා විශේෂ කිහිපයක් තියෙන නිසා ඒවා අතර යම් සංයෝගයක් සිදුවෙලා මව් පැළෑටියට ආවේණික ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්.

ලංකාවේ එවැනි තත්ත්වයක් නැති නිසා ඔරිජිනල් එකම තිබෙනවා.මූල පද්ධයක් මගින් පෝෂණය ලබා ගන්නා ශාඛ වල කාලානුරූපිව මූළ පද්ධතියේ වෙනස්කම් සිදු වෙනවා.මේ පැලෑටිය අවශ්‍යය පෝෂ්‍ය පදාර්ථ ලබා ගන්නේ කෙන්ඩියක හැඩයෙන් යුත් මලට වැටෙන කෘමි සතුන් ගෙන් නිසා බාඳුරා වල වෙනස් වීම් වලට ලක් වන්නේ කොළයයි.පේරාදෙණිය උද්භිද උද්‍යානය මගින් 2005 වසරේ ඉඳලා සුවහස් මල් නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.කාන්තවන්ට මල් වගාව පිළිබඳ පුහුණුවක් ලබාදී ඔවුන් ස්වයංරැකියාවක් ලෙස මල් වගාවට යොමු කිරීම තමයි මේ වැඩසටහනේ අරමුණ.බාඳුරා මල් ජනතාව අතර ව්‍යාප්ත කිරීමත් ඒ වැඩසටහන හා සම්බන්ධ කර ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙම බාඳුරා දෙමුහුන් ප්‍රබේද 08 ජනවාරී මස 20 දින සිට පෙබරවාරී මස 28 දින දක්වා ලිඳුල වගා බිමෙන් මිලට ගත හැකි බව බෝර්නියෝ එකස්සොටික් (Borneo Exotics) ආයතනයේ උපදේශක රන්ජන් ගුණසේකර මහතා පවසයි.


නව අදහස දක්වන්න

Or log in with...