හොර මහාචාර්ය වැඩ පටන් ගනී | දිනමිණ

හොර මහාචාර්ය වැඩ පටන් ගනී

 යූටා වූ කලී විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවලට නම් දැරූ ප්‍රාන්තයකි. කිසිදිනෙක විශ්වවිද්‍යාලයකට පය නොගැසුවද උපාධි කිහිපයකටම හිමිකරුවකු වූ ඇබග්නේල් විශ්වවිද්‍යාලයක් දැනහඳුනා ගැනීමට ඇත්නම් මැනවයි සිතුවේය.විශ්වවිද්‍යාල කිහිපයකම කරක් ගැසු ඔහුට එක් විශ්වවිද්‍යාලයකට සිත බැඳුනි. ඒ එහි රූමත් සිසුවියන් සුලබ වූ නිසාය. කෙසේ හෝ බ්‍රිගුහැම් යන්ග් විශ්ව විද්‍යාලයේ සිසු වරම් ලැබිය යුතු බවට අධිෂ්ඨානය කළ ඇබග්නේල් අවසානයේදි නතර වුයේ එහි මහාචාර්යයකු වීමෙනි. ඊට අවස්ථාව ලැබුණේ අහම්බෙන් මෙන් නෙත ගැටුණ පුවත්පත් දැන්වීමක් නිසාය.

දැන්වීමෙන් කියැවුණේ වසන්ත සෘතුවේදි මහාචාර්යවරුනගේ හිඟයක් පවතින හෙයින් මාස තුනක කාලයකට තාවකාලික සමාජවිද්‍යා මහාචාර්යවරයෙක් ලබා ගැනීමට එක්තරා විශ්වවිද්‍යාලයක් බලාපොරොත්තු වන බවයි. රූමත් සිසුවියන් පිරිවරාගත් පංති කාමරයක තමා උගන්වන ආකාරය මනැසින් මවාගත් ඇබග්නේල් දෙවරක් නොසිතා විශ්වවිද්‍යාල පීඨාධිපතිවරයාට ඇමතුමක් ගත්තේය.

“ ආචාර්ය ග්‍රිම්ස්, මම ෆ්‍රෑන්ක් ඇඩම්ස්, කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය. ඔබලාගේ විශ්වවිද්‍යාලයට සමාජ විද්‍යා වරයෙක් පිළිබඳ ගුරුවරු අවශ්‍යවෙලා කියලා මම දැන්වීමක් දැක්කා.“

“ඔව්. හැබැයි අපට ඕනෑ තාවකාලික ගුරුවරයෙක්, මාස තුනකට . ඔයාට උගන්වලා පළපුරුදුකම් එහෙම ඇති කියලා මම හිතනවා ?“ ආචාර්ය ග්‍රිම්ස් පිළිතුරු දුන්නේ ප්‍රවේසමින් වචන තෝරා ගනිමිනි.

“අපොයි ඔව්. හැබැයි ඒ කාලකෙට ඉස්සර. ඇත්තම කියනවා නම් ආචාර්ය ග්‍රිම්ස් මම ට්‍රාන්ස් වර්ල්ඩ් එයාර්වේස්වල ගුවන් නියමුවෙක්. ( මේ වන විට ඇබග්නේල් පෑන් ඇම් නියමු බලපත්‍රයට අමතරව ට්‍රාන්ස්වර්ල්ඩ් එයාර්වේස් හි ව්‍යාජ බලපත්‍රයක් ද සකස්කරගෙන තිබිණි. ) මාස හයක කාලයකට එයාලා මාව සේවයෙන් නිදහස් කළා. මගේ ඇතුළු කනේ හටගත්ත ආසාදනයක් නිසා. මොකද ගුවන් නියමුවෙක්ට ශ්‍රවණ හැකියාව කොතරම් වටිනවාද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. නිකම් ඉන්නවාට වඩා විවේක මාස හය කිසියම් ඵලදායි දෙයකට යොදවන්නයි මට ඕනෑ. ඔයාලගේ දැන්වීම දැක්කම මට ආයෙත් පංති කාමරයකට යන්න හිතුණා. ට්‍රාන්ස්වර්ල්ඩ්වලට යන්න කලින් මම නිව්යෝක් සිටි කොලීජීයේ, සමාජ විද්‍යා මහාචාර්යවරයෙක් හැටියටත් වැඩ කළා“

ඇබග්නේල්ගේ විස්තරය ආචාර්ය ග්‍රිම්ස්ගේ සිත ඇද ගැනීමට හේතු විය. ඔහුද ගුවන් නියමුවන්ට බෙහෙවින් ප්‍රිය කළ අයෙකි. ඇබග්නේල්ව සම්මුඛ පරීක්ෂණයකට කැඳවන විටත් ඔහුව තෝරාගැනීමට ග්‍රිම්ස් තීරණය කොට අවසන්ය.

“ ආචාර්ය ඇඩම්ස් ඔයා අපේ තනතුරට ගැලපෙන අපේක්ෂයෙක් කියලා මට විශ්වාසයි. ඇයි හෙට උදේ කාර්යාලයට ඇවිත් මාව මුණ ගැහෙන්නේ නැත්තේ? අපිට තවත් හොඳට මේ ගැන කතාකරන්න පුළුවන් වෙවි.“ ග්‍රිම්ස්ගේ කටහඩ උද්යෝගයෙන් පිරී තිබිණි.

“මගේ සතුටත් ඒකම තමයි. පොඩි දෙයක් මට දැනගන්න අවශ්‍යයයි. මම යූටාවලට අමුත්තෙක් නිසා මෙහේ දේවල් මට තාම අලුත්. විද්‍යාලයේ ගුරු තනතුරකට අයදුම් කරද්දී ඉදිරිපත් කරන්න ඕනෑ ලියකියවිලි මොනවද ?“

“කොලොම්බියා විශ්වවිද්‍යාලයේ උපාධි සහතිකේ පිටපතක් හොඳටම ප්‍රමාණවත්. කොලිජියෙන් රෙකමදාරු ලිපි දෙකකුත් ලබා ගන්න පුළුවන් නම් තවත් අගෙයි.“

“ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔය කියන ඩොකියුමන්ට් මට ගෙදරින් ගෙන්න ගන්න වෙනවා. මොකද මෙහෙට එනකොට ආපහු ගුරු වෘත්තියට යන බලාපොරොත්තුවක් මට තිබුණේ නැහැනේ.“ ඇබග්නේල් පැවසුවේ වෙනත් අරමුණක් යටි සිතේ ඇතිවය. තමා මේ කතා කරන්නේ ලෝකයෙන් භාගයක්ම ගොනාට ඇන්දූ මහා පරිමාණ වංචාකරුවකු සමඟ බව සැක කිරිමට ග්‍රිම්ස්ට හේතුවක් තිබුණේ නැත.

“මට තේරෙනවා. අපි හෙට උදේ මුණ ගැහෙමු මහත්මයා.“ ග්‍රිම්ස් දුරකතන සංවාදය නිම කළේ බලාපොරොත්තු සහගතවය.

නවාතැනට ගිය සැණින් ඇබග්නේල් වැඩට බැස්සේය. කොලොම්බියා විශ්වවිද්‍යාලය අමතා ලිපියක් යවමින් පාඨමාලා විස්තර ඉල්ලූ ඇබග්නේල් නිව්යොක් සිටි විද්‍යාලයේ රෙජිස්ට්‍රාර්වරයාටද ලිපියක් පිළියෙල කළේය. ඒ ඔවුන්ගේ විද්‍යාලයේ ගුරු තනතුරකට තමා සලකා බලන ලෙසට ඉල්ලමිනි. පසුදිනයේ ආචාර්ය ග්‍රිම්ස් සමඟ පැවති හමුව ප්‍රසන්න සාර්ථක රස සාගරයක් විය. ඒකාකාරී නීරස රැකියාවෙන් හෙම්බත්ව සිටි ආචාර්ය ග්‍රිම්ස්, සිය ගුවන් ගමන් වික්‍රමයන්ගෙන් ප්‍රබෝධමත් කිරීම ඇබග්නේල්ට සුළු දෙයක් විය. ග්‍රිම්ස් සමඟ දිවා භෝජනය නිමාවද් දී ඇබග්නේල්ට මහාචාර්ය තනතුර ලැබී තිබුණි.

ඊළඟ සතිය ඇබග්නේල්ට කාර්යබහුල විය. ඔහු බලාපොරොත්තුවූ පරිදි ම පිළිතුරු ලිපි අදාළ විද්‍යාල දෙකෙන්ම ලැබී තිබුණේ එම විද්‍යාලවල ලාංඡන මුද්‍රිත ලිපි ශීර්ෂවලය. ව්‍යාජ උපාධි සහතිකයක් සමඟ රෙකමදාරු ලිපි දෙකක් පිළියෙල කර ගැනීමට ඔහුට අවශ්‍ය වූයේ යතුරු ලියනයක්, කතුරක්, විනිවිද පෙනෙන ටේප් හා ඝන කඩදාසි පමණි. අවසන් ප්‍රතිඵලය දුටු ඇබග්නේල් තමා ගැනම උපන් සියුම් ආඩම්බරයකින් කිතිකැවිණි. සිය උපාධි නිබන්ධනය ලෙස ඔහු තෝරා ගත්තේ සමාජ විද්‍යාවත් ගගන විද්‍යාවත් සංකලනය වු මාතෘකාවකි. “උතුරු ඇමරිකාවේ ග්‍රාමීය ජනතාව කෙරෙහි ගුවන්විද්‍යාවෙන් ඇති කරන සමාජවිද්‍යාත්මක බලපෑම“ නම්වු එය ග්‍රිම්ස්ව ප්‍රමෝදයට පත්කරන බවට ඔහුට සැකයක් නොවීය. නමුත් ආචාර්ය ග්‍රිම්ස් හෝ සමාජවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධානියා මෙම ලියවිලි දෙස වරක් හෝ ඇස් ඇර බැලීමට කරදර වූයේ නැත. මන්ද ඇබග්නේල් විසින් ඔවුන්ගේ සිත්වල තමා ගැන පින්තාරු කොට තිබූ චිත්‍රය ඒ සියල්ලටම වඩා විශ්වසනීය වූ බැවිනි.

“ඔයාට පංති දෙකක් භාර දෙනවා. සති හයේ සෙමෙස්ටර් දෙකක්. එක සෙමෙස්ටරයකට ඩොලර් එක්දහස් හයසීයයි. උදේ වරුවේ ලැබෙන්නේ පළමු වසරේ පන්තිය. පැය එකහමාර ගානේ

සතියට දවස් තුනයි. දවල් වරුවේ දෙවන වසර. ඒත් පැය එකහමාර ගානේ සතියට දවස් දෙකයි. මට සතුටුයි ඔයා ශක්තිමත් තරුණයෙක් වීම ගැන. ඔයාට හුඟක් මහන්සි වෙන්න වෙයි.“ සමාජ විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධානි ආචාර්ය වැන්ඩර්හොෆ් එසේ පැවසුවේ ඇබග්නේල්ට පාඨමාලාවන්ට අදාල මුද්‍රිත පොත්ද ලබා දෙමිනි.

ඇබග්නේල්ගේ ප්‍රිතියට සරිලන ලෙස පංති සියල්ලේම බහුතරය සමන්විත වූයේ ගැහැනු ළමුන්ගෙනි. එම වසන්ත සෘතුව ඔහුගේ මෙන්ම ඔහුගේ සිසුන්ගේද ජිවතවල විනෝදාත්මකම කාල පරිච්ඡේදය විය. රාත්‍රියේ ඊළඟ දිනයට නියමිත පාඩම් හොඳින් කියවාගත් ඇබග්නේල්ට තෝරාගත් කොටස් පංතිය හමුවේ විස්තර කරදීම අසීරු නොවිය. ඔහු කිසිවිටෙක පොතට සීමාවූ හේතු විෂය දැනුම කෙරෙහි පමණක් විශ්වාසය තැබුවේද නැත. පාඩමෙන් මිදීගොස් අපරාධ, බිඳීගිය පවුල්වලින් බිහිවන දරුවන් මුහුණදෙන ගැටලු වැනි කාලීන සමාජ තත්ව පිළිබඳව ඇබග්නේල් කළ විවරණ, සිසුන් අමන්දානන්දයට පත් කළේය. මෙවැනි විස්තර කතනයන් අතිශයින් තාත්වික වූයේ ඇබග්නේල් ඒවා සිය ජිවිත අත්දැකීම් පාදක කර ගනිමින් ගෙන හැර පෑ බැවිණි. සති හය අවසන් වන විට ඇබග්නේල් සිසුන්ගේ පමණක් නොව ආචාර්ය ග්‍රිම්ස් හා වැන්ඩර්හොෆ්ගේද ප්‍රියතමයකුව සිටියේය. සිසුන් පනස්දෙනෙක් පමණ පෞද්ගලිකව ඇබග්නේල් හමුව ඔහුට සමුදුන්නේ ඔහුගේ ඉගැන්වීම් කෙතරම් විනෝදාත්මකදැයි ප්‍රශංසා කරමිනි.

“දිගටම අපිත් එක්ක ඉන්න ෆ්‍රෑන්ක්. අපිට සමාජවිද්‍යා මහාචාර්යවරයෙක්ගෙ ස්ථිර පුරප්පාඩුවක් තිබුණොත් අහසින් බස්ස ගන්න අපි දෙවරක් හිතන්නේ නැහැ.“ ග්‍රිම්ස් ඔහුට සමුදුන්නේ එසේ කියමිනි.

ෆ්‍රෑන්ක් ඇබග්නේල් විසින් රචිත Catch Me If You Can කෘතිය සහ අන්තර්ජාල තොරතුරු ඇසුරෙනි

සිංහල කළේ - රුක්ලන්ති පෙරේරා

සඳුදා : චෙක් පතක් කළ ඇබැද්දිය

නව අදහස දක්වන්න