හිම මිදුණු ඇහි පිල්ලමක් යට | දිනමිණ

හිම මිදුණු ඇහි පිල්ලමක් යට

 සයිබීරියාවේ ඔයිමයාකොන් ගම මිහිමත පවත්නා අරුම පුදුම තැනකි. ඒ, එය රුසියාවේ මොස්කව් නුවර සිට සැතපුම් 3,300 ඈතින් පිහිටා ඇති තවත් දුෂ්කර ගමක් නිසා පමණක් නොව මිනිසුන් ජීවත් වන අඩුම උෂ්ණත්වය සහිත ප්‍රදේශය ද වන බැවිනි. ඔයිමයාකොන්හි උෂ්ණත්වය කෙතරම් පහළ මට්ටමක පවතින්නේදැයි කිවහොත්, සයිබීරියාවේ ආපදා කළමනාකරණ අමාත්‍යංශය, නගරයේ උෂ්ණත්වය මනින්නට සවිකර තිබූ නවතම විද්‍යුත් උෂ්ණත්වමානයත් ක්‍රියාවිරහිත වී ඇත. ගම්මානයේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක ඍණ 62 දක්වා පහළ වැටී ඇත. තවත් සමහරුන්ගේ මතය වී තිබෙන්නේ ගම්මානයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 67 දක්වා පහළ බැස ඇති බවයි.

සෑම ජනේරුවේම සිදුවන උෂ්ණත්ව පහළ වැටීම මේ ගම්මානයට ආගන්තුක නැති වුව මේ ජනේරුවේ උෂ්ණත්වය පහළ වැටීම වාර්තාගත එකක් බව පැවසේ. වාර්තාගත ලෙස උෂ්ණත්වය අඩු වුණු 1933 වසරේදීවත් මේ තරම් වැටීමක් සිදු වූයේ නැත. 1933දී එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 67.7 දක්වා පහළ වැටිණ.

මේ තරම් අඩු උෂ්ණත්වයක ඔයිමයාකොන්හි ජීවත්වීම ලෙහෙසි පහසු යුද්ධයක් නොවේ. ඔයිමයාකොන්හි අතළොස්සක් වූ මිනිසුන්ගේ ජීවිත සරල සහ සුගම නැත්තේ ද එනිසාමය. ඇසිපියවත් හෙළන්නට බැරි තරමටම හිම ඔවුන්ගේ ඇහිපිය කෙළවරටම පැමිණ තිබේ. සුදෝ සුදු හිම කැට ප්‍රිය දසුනක් බව සැබැවි. එසේ වුවත් ඇහිපිය හිම මෙන් බරවීම කෙසේ උහුලන්නද?. පෑන්වල තීන්ත ගල් ගැසී ඇත. යළි පණ ගන්වා ගන්නට බැරිවෙතැයි යන බිය නිසා ඔවුහු දවස පුරාම මෝටර් රථය පණ ගන්වා තබති. මියගිය කල මිහිදන් කිරීම ද පහසු නැත.මිහිදන් කරන තැන අයිස් දිය කර හරින්නට පළමුවෙන්ම සිදුවේ. එය කරන්නේ හිම තට්ටු හාරා ඒ තුළ ගිනිමැල ගැසීමෙනි. තනා ගත් වළ විශාල කරගන්නට කරන්නේ සිදුර පසෙක ගල්අඟුරු දැල්වීමයි. දැවුම දින කිහිපයක් පුරා කරන්නට සිදු වේ. දේහය මිහිදන් කෙරෙන්නේ මේ ජරමර සියල්ල අවසානයේදී ය.

ඒ දුක් කරදර මැද 'අමුතුම සැනසීම්' ද නැත්තේ නොවේ. මේ කියන සැනසීම් තිබෙන්නේ ගම්මානයට ඇති එකම වෙළඳපොළෙහි ය. මාළු ආදී දේ ශීතකරණ තුළ බහා තබා ගනිමින් අලෙවි කරන්නට මේ වෙළඳපොළේ වෙළඳුන් වද විඳිය යුතු නැත. මාළු ආදිය නරක් වීමට ඇති හැකියාවත් පහළ බැවින් ශීතකරණ නැති වෙළඳපොළක් එහි දක්නට ලැබේ.

ඔයිමයාකොන් ගම්මානයේ මිනිස්සු පන්සියයක් පමණ ජීවත් වෙති. මේ පිරිස නිතරම ආහාරයට ගන්නේ මස් සහ මාළු සහිත ආහාරය. “ද වොෂින්ටන් පෝස්ට්” පුවත්පත වාර්තා කරන ආකාරයට එළවලු සහ පළතුරු ආදියෙන් සමන්විත ආහාර වේලක් භුක්ති විඳින්නට ඔවුන්ට ඉඩක් නොලැබෙන තරම්ය. නොපිසූ දිග මාළු පෙති මෙන්ම නොපිසූ පිනිමුව මස් ද අශ්වයන්ගේ අක්මාව ද ඔවුහු මැකරෝනි සමඟ සුලභව ආහාරයට ගනිති. අයිස් කැට අශ්ව රුධිරයත් ඔවුන්ගේ ජනප්‍රිය ආහාරයකි. මස් සහ මාළු යෙදූ සුප් පානයටත් ඔවුහු රුසියෝය. එවැනි ආහාර වේලකින් හැර දෛනිකව අවශ්‍ය ශක්තිය ලබා ගත නොහැකි බව ඔයිමයාකොන් වැසියෝ පවසති. ශීතල නිසා ඇතිවන ශාරීරික අපහසුතා මඟහරවා ගැනීමට මධ්‍යසාර ඔවුන් අතර සුලභ ය.

ජල අවශ්‍යතා සපුරා ගත හැකිව තිබෙන්නේ ඔවුන්ගේ ගමට ආසන්නයේ පවත්නා උණුදිය බුබුළකිනි. මේ උණුදිය බුබුළේ ජලය මිදෙන්නේ නැති බව වාර්තා වේ. එසේ වුවත් නාන කාමර තුළට ජලය ලබාගැනීමක් නම් . හේතුව බට හරහා ජලය ලබාගන්නට නොහැකි වීමය. ඒ නිසා නාන කාමරයක සිදුකළ යුතු සියලු කටයුතු බාහිර පරිසරය තුළදී ඉටුකර ගනිති. උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 52ට වඩා අඩු දිනවල හැර අනිත් දිනවල ප්‍රදේශයේ පාසල වසා දමන්නට බලධාරීන් කටයුතු කරන්නේ නැත. ගහ කොළ පමණක් නොව මහා මං ද හිමෙන් වැසී ඇති නිසා ඔයිමයාකොන් ගම්වැසියන් එළිමහනේ ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ ඉතා අඩුවෙනි. ඔයිමයාකොන් වැසියන්ගේ ජීවිත තවත් කවර තරමේ කාලයක් ඉදිරියට ගලාගෙන යනු ඇත්දැයි කිසිවකු දන්නේ නැත. ගෝලීය කාලගුණ විපර්යාස හේතුවෙන් ඔවුන්ට බලපාන උෂ්ණත්වය දිගින් දිගටම අඩුවන්නට පටන් ගතහොත් ඔයිමයාකොන් ගම්මානය ඉදිරි පරම්පරාවලට නිජබිම නොවන්නට වුව හැකිය.

මංජුලා විජයරත්න 

නව අදහස දක්වන්න