නිදහසට එන එඩ්වර්ඩ් කුමරු | දිනමිණ

නිදහසට එන එඩ්වර්ඩ් කුමරු

 ශ්‍රී ලංකාවේ හැත්තෑ වන නිදහස් සැමරුම් උළෙලට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන්නේ එක්සත් රාජධානියේ එඩ්වර්ඩ් කුමරුය. මෙරට ජනයාගේ අවධානයට එතරම් ලක් නොවුණ එඩ්වර්ඩ් කුමරු, චාර්ල්ස් කුමරු තරම් ප්‍රකට චරිතයක් නොවුණ ද බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් රැජිණගේ බාලම පුත්‍රයාය. වෙසෙක්ස්හි අර්ල්වරයා වන්නේ ද ඔහුය.

1964 වසරේ මාර්තු 10වැනිදා බ්‍රිතාන්‍යයේ බකින්ග්හැම් මාලිගයේදී එඩ්වර්ඩ් ඇන්තනී රිචර්ඩ් ලුවිස් උපත ලැබුවේ බ්‍රිතාන්‍ය රජ කිරුළට හිමිකම් කියන තෙවැනි පෙළ සාමාජිකයා වශයෙනි. එසේ වුවත් අද වනවිට ඔහු බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් කියන නව වන සාමාජිකයා බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරුගේ තෙවැනි දරුවා උපත ලද විට එඩ්වර්ඩ් කුමරුට කිරුළට හිමිකම් කීමට තිබෙන අයිතිය තවත් ඈතට යනු ඇත.

එඩ්වර්ඩ් කුමරුගේ ආරම්භක අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කෙරුණේ බකින්ග්හැම් මාලිගයේදී ය. ඔහු හත් වියට එළඹී 1972 වසරේදී ගිබ්ස් නමැති පාසල වෙත යොමු කෙරිණ. ඉන්පසු එක්සත් රාජධානියේ බර්ක්ෂියර්හි හීදර්ඩොව්න් පාසලෙනුත්, ස්කොට්ලන්තයේ ගෝර්ඩන්ස්ටොවුන් පාසලෙනුත් අධ්‍යාපනය ලැබුවේ ය. පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් අනතුරුව හෙතෙම කෙටි කලක් ගුරුවරයෙක් ලෙස නවසීලන්තයේ වැන්ගනුයි පාසලේ සේවය කළේය. ගුරු සේවය නිම කර එක්සත් රාජධානියට පැමිණ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ජීසස් කොලිජියෙන් ශාස්ත්‍රවේදී උපාධියට අදාළ කියැවීම් ද නිම කිරීමෙන් පසු හෙතෙම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සමු දුන් ඔහු බ්‍රිතාන්‍ය රජ පවුලේ උදවිය අතර විශ්වවිද්‍යාල උපාධියක් ලබාගත් සිව්වැන්නා වූයේ එඩ්වර්ඩ් කුමරුයි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම කිරීමෙන් පසු ඔහු රාජකීය නාවුක හමුදාවට යොමු කෙරුණේ පාඨමාලාවක් හැදෑරීම සඳහාය. පුතු එහි අධ්‍යාපනය ලබනු දැකෘම පියා පිලිප් කුමරුගේ සතුට වුවත් 1987 වසරේදී නාවුක පාඨමාලාව අතහැර දමන විට හෙතෙම පාඨමාලවෙන් තුනෙන් එක් පංගුවක්වත් සම්පූර්ණ කර නොතිබිණි‍. මේ නිසා කුමරු පියාගේ දැඩි දෝශදර්ශනයට ද ලක් වුණු බව ඇතැම් මාධ්‍යවාර්තා කර තිබිණ. රජ ගෙදර ඕපාදූප වාර්තා කරන සමහර මාධ්‍ය කියා සිටියේ පිලිප් කුමරු සිය බාල පුතාගේ තීරණය අනුකම්පා සහගතව ඉවසූ බවය. එඩ්වර්ඩ් කුමරු ඊළඟට තෝරා ගත්තේ විනෝදාස්වාද කර්මාන්තයයි. ඔහු සංගීත වැඩසටහන් නිෂ්පාදන සහයකයකු ලෙස කටයුතු කළේය. නිළියක ලෙස වැඩසටහන්වලට දායක වෙමින් සිටි රූතී හෙන්ෂල් කුමරුට හමුවන්නේ මේ රැකියාවෙහි නිරතව සිටියදී බව සඳහන් වේ. කුමරු ඈ සමඟ ප්‍රේම සම්බන්ධයක් ගොඩනඟා ගත් බවක් පැවසේ. මේ සම්බන්ධය වසර තුනකට ආසන්න කාලයක් පැවති බව සමහර මාධ්‍ය පෙන්වා දෙයි.

වැඩසටහන් නිෂ්පාදකයකු ලෙස ඔහුගේ වෘත්තීය ජීවිතය ද එතරම් සාර්ථක වූයේ නැත. රජ ගෙදර පසුබිම් කරගෙන ඔහු 1987දී පමණ නිර්මාණය කරන ලද “ද ග්‍රෑන්ඩ් නොකවුට් ටුවර්නමන්ට්” නමැති රූපවාහිනි වැඩසටහනට දෙවන එළිසබෙත් රැජිණගේ බලවත් විරෝධය එල්ල විය. හැලහැප්පීම් මැද වැඩසටහන් නිෂ්පාදනයේ නිරතව සිටි එඩ්වර්ඩ් කුමරු තමන්ගේම යැයි කියන සමාගමක් ආරම්භ කරන්නේ 1993 වසරේදීය. මේ සමාගමෙන් කෙරුණේ රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදන සමාගමක් වන එය නම් කර තිබුණේ “අර්ඩෙන්ට් ප්‍රඩක්ෂන්ස්” යනුවෙනි. වාර්තාමය වැඩසටහන් රාශියකුත් නාට්‍යය කිහිපයකුත් නිෂ්පාදනය කරන්නට මේ සමාගමට හැකි විය. වුවත් සමාගමේ කටයුතුවලට එඩ්වර්ඩ්ගේ රාජකීයභාවය හරහට හිටියේය. මූල්‍යමය ලාභයන් ලබා ගැනීමට රාජකීය නාමය අයථා ලෙස භාවිතයට ගන්න බව පවසමින් කුමරුට දෝශාරෝපණ එල්ල වන්නට පටන් ගැනිණ. බ්‍රිතාන්‍ය තුළදී හොඳ නමක් දිනාගන්නට බැරිවුණු මේ සමාගමේ ඇතැම් නිෂ්පාදන ඇමෙරිකාව ආදී රටවලට විකුණා දමන්නට එඩ්වර්ඩ් කුමරු ක්‍රියා කළේය. කෙසේ වුවත් ඒ රටවලදී එම වැඩසටහන් කුණු කූඩයට තල්ලු නොවූ බව කිව යුතුය. මේ අතර 2001 වසරේදී අර්ඩන්ට් සමාගමේ සේවකයන් දෙදෙනෙක් විලියම් කුමරුගේ පෞද්ගලික ජීවිතයට බලපෑම් එල්ල කෙරෙන හැසිරීමක නිරත වූහ. එකල විලියම් කුමරු, ශාන්ත ඇන්ඩෘස් විශ්වවිද්‍යාලයේ එකල අධ්‍යාපනය ලබමින් සිටියේය. සමාගම් සේවකයන්ගේ මේ නොමනා හැසිරීමෙන් කෝපයට පත් විලියම් කුමරු ඒ සම්බන්ධයෙන් රජ ගෙදර බලධාරීන්ට ඍජුවම පැමිණිලි කළ බව සඳහන් විය. මේ සිද්ධියත් සමඟ සමාගමේ නිෂ්පාදන අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස් වුණු එඩ්වර්ඩ් කුමරු සමාගමේ කලමනාකරණ අධ්‍යක්ෂ ධුරයට පත් වූයේය. එයින් වසර හතකට පමණ පසුව එනම් 2007 වසරේදී එඩ්වර්ඩ් කුමරුගේ අර්ඩන්ට් සමාගම දිය කර හැරිණ. ඒ වනවිට එඩ්වර්ඩ් කුමරු දෙවන එළිසබෙත් රැජිණගේ රාජකාරී කටයුතුවලට පූර්ණ සහය ලබාදීමට නිල වශයෙන් එකඟව සිටියේය.

එඩ්වර්ඩ් කුමරු විවාහ වූ සොෆි රිස් - ජෝන්ස් සමඟය. ඇය මහජන සම්බන්ධතා විධායක නිලධාරිනියකි. විවාහය 1999 ජුනි 19වැනිදා ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී සිදු කෙරිණ. ඔවුන් ලුයිසේ වින්ඩ්සර් නම් දුවකගේත් ජේම්ස් නම් පුතකුගේත් මවුපියෝ වෙති.

එඩ්වර්ඩ් කුමරු අද වනවිට නියැලී සිටින්නේ දෙවන එළිසබෙත් රැජිණගේත් පිලිප් කුමරුගේත් රාජකාරි කටයුතුවලය. අනූ හය හැවිරිදි පිලිප් කුමරු සිය රාජකාරි වැඩවලින් වැඩි ප්‍රමාණයක් පවරා තිබෙන්නේ එඩ්වර්ඩ් කුමරුට බව කියැවේ. චාර්ල්ස් සහ ඇන්ඩෘ කුමාරයන් දෙදෙනාටත් ඈන් කුමරියටත් වඩා පිලිප් කුමරුට සමීප එඩ්වර්ඩ් කුමරු බව බොහෝදෙනාගේ මතයයි.

මංජුලා විජයරත්න 

නව අදහස දක්වන්න