ශ්‍රි ලංකාවට ජය කැන්දූ තුන් කොන් සටන | දිනමිණ

ශ්‍රි ලංකාවට ජය කැන්දූ තුන් කොන් සටන

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති දෙවන තරඟය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජය ගත්තේ කඩුලු 05කින්.

තරඟයේ කාසියේ වාසිය දිනු සිම්බාබ්වේ පිල පළමුවෙන් පන්දුවට පහර දිමට තීරණය කළ අතර පන්දුවාර 44ක් තුළ සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 198ක්.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා පන්දු 57කදී ලකුණු 49ක් රැස් කලේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් රැස් කිරීමට සමත් වු අතර ශ්‍රී ලංකා කණ්ඩායම් ජයග්‍රහණය කරා රැගෙන ගිය නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 38ක් සහ තිසර පෙරේරා ලකුණු 39ක් රැස් කිරීමට සමත් විය.

මෙම තරඟාවලිය තුල රැඳී සිටීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරඟය ජය ගැනීම අනිවාර්ය වී තිබුණි.

ශ්‍රී ලංකාව මිට පෙර සහභාගී වූ පළමු තරඟ 02ක පරාජයට පත් විය.

*******************************

 

තිසරගේ තුන් ඉරියව් දස්කම් ශ්‍රී ලංකාව ජයකින් ඉදිරියට ගෙන යයි

තිසර පෙරේරාගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් රැදී සිටිමේ අවස්ථාව උදාකර ගත් ශ්‍රී ලංකා පිල පිට පිට ලැබූ පරාජයන් 4කට තිත තබමින් බංග්ලාදේශයේ මිර්පූර් හිදී ඊයේ සිම්බාබ්වේ පිලට එරෙහිව කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට සමත් විය.

තිසර ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් කලකට පසු දියත් කළ ආක්‍රමශිලී පන්දු යැවීමත් හේතුවෙන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබවේ පිල ලකුණු 198කට දැවී ගිය අතර ජයග්‍රාහී ඉලක්කය පන්දු 31ක් ඉතිරිව තිබියදී සපුරාගත් ශ්‍රී ලංකා පිලට අහිමිවූයේ කඩුලු 5ක් පමණි.

කුසල් ජනිත් පෙරේරා සමගින් ඉනිම ඇරැඹු උපුල් තරංග පන්දු 34කින් ලකුණු 17ක් ලබාසිටියදී යළි ක්‍රීඩාගාරයට යැවීමට ටෙන්ඩායි චටාරා සමත්වූ අතර දෙවැනි කඩුල්ලට කුසල් ජනිත් එක්වු කුසල් මෙන්ඩිස් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 103 දක්වා ඉදිරියට ගෙන ගියේය.

කුසල් යුගලය ඇතුලුව කඩුලු 3ක් ලකුණු 14ක් තුළ බිඳ දැමූ බ්ලෙසින් මුසර්බානි ශ්‍රී ලංකා පිල පීඩනයකට හසුකර ගත්තේය. කුසල් ජනිත් අර්ධ ශතකයට ලකුණක් පසුපසින් සිටියදී කඩුලු රකිමින් සිටි අතිරේක ක්‍රීඩක රයන් මරේ අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. පන්දු 57ක් වැයවූ ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් හා හයේ පහරක් ඇතුළත් විය. පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් හතරේ පහර 4ක් සමගින් පන්දු 44කින් ලකුණු 36ක් ලබාසිටි මෙන්ඩිස් දැවී ගිය අතර මරේ උඩ පන්දුවක් රැකගැනීමත් සමග නිරෝෂන් දික්වැල්ලගේ ඉනිම ලකුණු 7කට සීමාවිය.

ලකුණු 9ක් ලබාසිටි අසේල ගුණරත්න, කයිලි ජාවිස්ගේ පන්දුවක් හමුවේ 5වැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමග නායක දිනේෂ් චන්දිමාල් සමග එක්වු තිසර පෙරේරා ලකුණු 57ක නොබිඳුණු සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකාව ජය වෙත රැගෙන ගියේය.

චන්දිමාල් හතරේ පහර 2ක් සමගින් පන්දු 71කින් ලකුණු 38ක් රැස්කළ අතර හතරේ පහරක් හා හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 39ක් ලබාගත් තිසරගේ ඉනිමට වැයවූයේ පන්දු 26ක් පමණි.

තිසර පෙරේරා කඩුලු 4ක් හා නුවන් ප්‍රදීප් කඩුලු 3ක් හා ලක්ෂාන් සඳකැන් කඩුලු 2ක් බිඳ දමමින් පළමුවට පහරදුන් සිම්බාබ්වේ පිල ලකුණු 198කට දැවී ගියේය.

මේ තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති පළමු තරගයේදී ලකුණු 73ක් රැස්කළ හැමිල්ටන් මැසකඩ්සා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 20කට පිටියේ ඉවත් කිරීමට තිසර පෙරේරා සමත්වූයේ උපුල් තරංග උඩ පන්දුවක් රැක ගැනීම හේතුවෙනි. ඉන් නොනැවතුණු තිසර පෙරේරා අනෙක් මුල්පෙළ පිතිකරු

වන් තිදෙනාද යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය.

මැසකඩ්සා ලකුණු 44දී පිටියෙන් ඉවත්වූ අතර තවත් ලකුණු 5ක් එක්වෙද්දී ක්‍රෙග් අර්වින් (2) ද දැවී ගියේය. තිසරගේ පන්දුවක් හමුවේ ලකුණු 21ක් ලබාසිටි සොලමන් මිරේ, නිරෝෂන් දික්වැල්ලගේ පන්දු රැකීම හමුවේ තෙවැනි කඩුල්ල ලෙස දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 56ක් විය.

වනිඳු හසරංග වෙනුවට ඊයේ තරගයට කැඳවූ ලක්ෂාන් සඳකැන්, ශ්‍රී ලංකාවට එරෙහි පළමු තරගයේ වීරයාවූ සික්න්දර් රාසා ලකුණු 9කටත්, මැල්කම් වොලර් ලකුණු 24කටත් පිටියෙන් ඉවත් කිරීම සිම්බාබ්වේ පිලට දැඩි පීඩනයක් විය. කුසල් මෙන්ඩිස්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ රාසා දැවී ගිය අතර දික්වැල්ල උඩ පන්දුවක් රැක ගැනීමෙන් වොලර්ගේ ඉනිම නිමාවනවිට මුළු ලකුණු සංඛ්‍යාව 139ක් විය. වොලර් (1) ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමත් සමග සුරංග ලක්මාල් යැවූ 18 වැනි ඕවරයේදී දැවී යෑම් දෙකකින් ගැලවිණි. ලක්මාල් යැවූ පළමු පන්දුවෙන් ඔහු කඩුල්ල මුවා කළ බවට පිටියේ විනිසුරු තීරණය කළ අතර එයට අභියෝග කළ වොලර් තෙවැනි විනිසුරුගේ සහයෙන් තවදුරටත් පිටියේ රැදී සිටිමේ අවස්ථාව උදාකරගත් අතර ඊළඟ පන්දුවට ලබාදුන් උඩ පන්දුව උපුල් තරංග අතින් ගිලිහී ගියේය.

වොලර් දැවී යනවිට බ්‍රෙන්ඩන් ටේලර් සමග එක්ව 5වැනි කඩුල්ලට ලකුණු 66ක් එක්කර තිබුණේ ඉනිමේ ඉහළම සබඳතාව ලෙසිනි.

6 වැනි කඩුල්ලට පිටියට පිවිසි පීටර් මුවර් පන්දුවකට මුහුණදීමටත් පෙර දුවද්දී දැවී යෑමට හසුකර ගැනීමට කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල සමත් වූහ.

ඉනිම ගොඩනැගීමේ සටනක නිරතවූ ටේලර් 33වැනි එක්දින අර්ධ ශතකය ලෙස ලකුණු 66ක් ලබාසිටියදී තිසර පෙරේරාට සිවුවැනි කඩුල්ල හිමිකර දෙමින් දැවී ගියේ උපුල් තරංග උඩ පන්දුවක් රැක ගැනීමෙනි. පන්දු 80කට මුහුණදුන් ඔහු හතරේ පහර 6ක් ඉනිමට එක්කර ගත්තේය.

අනතුරුව පන්දුව අතට ගත් නුවන් ප්‍රදීප් ලකුණු 7ක් තුළ අවසන් කඩුලු 3 දවා ගැනීමත් සමග සිම්බාබ්වේ ඉනිම ලකුණු 198කදී නිමාවට පත්විය. ලකුණු 34ක් ලබාසිටි ක්‍රීමර් ඇතුළු එම පිතිකරුවන් තිදෙනාම දැවී ගියේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි.

ඊයේ තරගයේදී ශ්‍රී ලංකා පිල එක් වෙනසක් සිදුකරමින් වනිඳු හරසංග වෙනුවට ලක්ෂාන් සඳකැන් කැඳවා තිබූ අතර සිම්බාබ්වේ පිල වෙනසකින් තොරව තරගයට එක්විය.

තරගාවලියේ 5 වැනි තරගය හෙට (23) සත්කාරක බංග්ලාදේශය හා සිම්බ්බාවේ පිල අතර පැවැත්වෙයි.

නව අදහස දක්වන්න