රසකාරක සමාජයක්! | දිනමිණ

රසකාරක සමාජයක්!

ශ්‍රී ලංකාවේ පිළිකා රෝගය පිළිබඳ අලුත් තොරතුරක් අසන්නට ලැබේ. එම තොරතුරෙහි සංගෘහිතව ඇත්තේ අපේ අනාගතය පිළිබඳ භයානක චිත්‍රයකි. එනම්; සෑම වසරකම අ‍ෙප් දරුවන්ගෙන් පන්සියදෙනකුට අලුතෙන් මේ රෝගය වැලඳෙන බව ය. මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු පෙන්වා දෙන අන්දමට වසරින් වසර දරුවන් අතර පිළිකා රෝගය ව්‍යාප්ත වීම වර්ධනය වී ඇත. ඒ අනුව වසරකට දරුවන් පන්සියයකට වැඩි ප්‍රමාණයකට අලුතින් පිළිකා රෝගය වැලඳෙයි. මීට බලපාන ප්‍රධාන හේතු දෙකක් ද දක්වා ඇත. පළමුවන්න ජානමය හේතූන් ය. දෙවන්න මිනිස් සමාජයේ ඇවතුම් පැවතුම්වලට සම්බන්ධ හේතූන් ය.

වෛද්‍යවරයා පෙන්වා දෙන අන්දමට දරුවන් බහුල ලෙසින් ගොදුරු වන්නේ ලේ පිළිකා රෝගයට ය. එය ලියුකේමියාව ලෙසින් හැඳින් වේ. ඊළඟට ගොදුරු වන පිළිකා තත්ත්වය ලෙස සඳහන් වන්නේ මොළයේ පිළිකාවයි. මේ තත්ත්ව දෙක ම බරපතළ රෝග ලෙස හැඳින්වේ. එම රෝග නිට්ටාවටම සුවකළ හැකි වෛද්‍ය ක්‍රමවේදයක් තවම සොයාගෙන නැත. මෙබඳු රෝගීන් කෙටි කලකින් මරණයට පත්වීම සාමාන්‍ය ස්වභාවය වේ. ඇස්, අස්ථි හා වකුගඩු ආශ්‍රිතව පිළිකා ව්‍යාප්ත වීමේ තත්ත්වයක් ඇති බව ද වෛද්‍යවරයා පෙන්වා දෙයි. මේ රෝග තත්ත්වයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් දරුවන්ගේ ඇවතුම් පැවතුම් වෙනස් කිරීමෙන් වළක්වා ගත හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති. එහෙත් එය කිසිවකුගේ සැලැකිල්ලට ලක්වන බවක් පෙනෙන්නට නැත.

අපේ පාසල් දරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් තිබහට බොන්නේ ශීත කළ පැණි බීම ය. අම්මලා දරුවන්ට ලබා දෙන්නේ ද ඒවා ය. සමහර දරුවන්ගේ වතුර බෝතලය පැණි බීමවලින් පුරවා තිබේ. දරුවන් ආහාරයට ගන්නේ ද රසකාරක සහිත කෙටි කෑම ය. ඒවා පාවිච්චිය පහසු ය. අම්මලාට කරදරයක් ද නැත. රෝල්ස්, කට්ලට්, පැටිස්, ප්‍රේස්ටි යන විවිධ නම්වලින් මේ කෑම වර්ග හඳුන්වයි. මේවා ආහාරයට ගන්නා දරුවෝ රසකාරකවලට තදින් ම ඇබ්බැහි වෙති. පසුව ඔව්හු ඒ කෑම වර්ග ම ඉල්ලා සිටිති. දරුවන් උදෙසා පිරිසිදු ධාන්‍ය හා පලතුරු ලබාදිය යුතු යැයි උ‍පදේශන ලබාදෙන්නේ වුව වැඩිහිටියන් එය ගණනකට ගන්නේ නැත.

ව්‍යායාම මදකම ද දරුවන්ගේ සෞඛ්‍යය පිරිහීමට හේතුවක් බව සොයාගෙන තිබේ. සෞඛ්‍යය පිරිහෙන විට පිළිකා වැනි රෝගවලට පහසුවෙන් ම ගොදුරු වෙයි. පාසල් දරුවන් පන්තියෙන් පන්තියට රැගෙන යෑම අම්මලාගේ සිරිත වී තිබේ. මේ අනුව දරුවාට සෙල්ලම් කිරීමට අවස්ථාවක් නැත. පන්තියෙන් පන්තියට යන දරුවා හෙම්බත් වී සිටින අතර, දියවැඩියාව, අධිරුධිර පීඩනය, ගෑස්ට්‍රයිටීස් වැනි රෝග ඔහු කරා පහසුවෙන්ම ළඟා වෙයි. දරුවා ලබාගන්නා ආහාර ද ඊට හේතුවක් ලෙස පවතී. දියවැඩියාව හා ස්ථුලභාවය අපේ දරුවන් අතර ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන්නට පටන්ගෙන තිබේ. මෙබඳු රෝග තත්ත්ව පිළිකාවේ වර්ධනයට අවශ්‍ය පසුබිම සකස් කරදෙයි.

දරුවන්ගේ ඇවතුම් පැවතුම් නිසි අයුරින් සකස් කරන්නේ කෙසේද යන්න බරපතළ ප්‍රශ්නයක් ද? මීට දසක දෙක තුනකට පෙර පාසල් කාලසටහනට ක්‍රීඩා සඳහා වූ කාල පරිච්ඡේදයක් වෙන් කර තිබිණි. ගෙවතු වගාවට ද කාලයක් වෙන් කර තිබිණි. සියලු දරුවෝ එම කාල පරිච්ඡේදවලදී ක්‍රියාකාරකම් කළහ. අද පාසල් කාලසටහන්වලද එබඳු අවස්ථා ඇතත් ක්‍රීඩාව කෙරෙහි එතරම් උනන්දුවක් නැත. වතු වගාව ද අනිවාර්ය නැත. සියලුදෙනාම විභාග පසුපස හඹා යති. ක්‍රීඩාවක් ගැන හිතන්නේ ම නැති දරුවෝද පාසල්වල සිටිති. වැඩිහිටියන් ද ඒ ගැන උනන්දුවක් නැත. ගුරුවරුන් ද ඒ ගැන එතරම් උනන්දුවක් නැත.

විෂ සහිත දුම ආඝ්‍රාණය කිරීම පිළිකාවට බලපාන හේතුකාරකයක් ලෙස හඳුනාගෙන තිබේ. විශේෂයෙන් ප්ලාස්ටික් හා පොලිතීන් දහනයෙන් නිකුත් වන විෂ දුම් පිළිකා කාරක බව කියති. එහෙත් බොහෝ නිවෙස්වල දිනපතාම පොලිතීන් හා ප්ලාස්ටික් තොග ගණනින් දහනය වෙයි. ඇතැම්විට දරුවෝ ද ඒවා ගොඩ ගසා ගිනි තබති. ප්ලාස්ටික් හා පොලිතීන් දහනය තහනම් ක්‍රියාවකි. තමන්ගේම නිවසේ වුව ගෙවත්තේ වුව ඉහත ද්‍රව්‍ය දහනය තහනම් ය. පරිසර අධිකාරිය මේ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කරයි. ප්ලාස්ටික් හා පොලිතීන් දහනය වන අවස්ථාවක් වෙතොත් ඒ බව පරිසර අධිකාරියට දන්වා නීතිමය පියවර ගත හැකිය. එහෙත් කිසිවකු ඊට ඉදිරිපත් වන බවක් පෙනෙන්නට නැත.

අප මිලට ගන්නා ආහාර ද්‍රව්‍ය දෙස බලනවිට ද කනගාටුදායක තත්ත්වයක් පවතී. මේ ආහාර ද්‍රව්‍යවලින් බොහෝමයක විෂ රසායන පවතී. කෘත්‍රීම පොහොර නොයොදන වගාවක් නැති තරම් ය. පළිබෝධ නාශක නොයොදන වගාවක් ද නැති තරම් ය. ඇතැම් ආහාර ද්‍රව්‍ය කල්තබා ගැනීම සඳහා විශේෂ රසායනික ද්‍රව්‍ය භාවිතා කෙරේ. මේවායින් වැළැකීම අතිශය දුෂ්කර ය. එක්කො වස විසෙන් තොර වගාවන් සඳහා සමස්ත කෘෂි සමාජයම පෙළඹිය යුතු ය. නැතහොත් ඒ සඳහා වූ විශේෂ ව්‍යාපෘති ශක්තිමත් කළ යුතු ය. කෝටි දෙකකටත් වැඩි ජනගහනයකට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය වස විෂෙන් තොරව නිෂ්පාදනය කළ හැක්කේ කෙසේද යන්න ජාතික ගැටලුවකි.

වෛද්‍යවරුන්ගේද විශේෂඥයන්ගේ ද මතය වන්නේ දරුවන් අතර හොඳ ඇවතුම් පැවතුම් ඇති කරන්නේ නම් සැලැකිය යුතු රෝග ප්‍රමාණයක් අඩු කර ගත හැකි බව ය. ආහාර රටාව ඒ අතර ප්‍රධාන වේ. දරුවන් ගෙදර සකසන ආහාරවලට හුරු කිරීමත්, ඔවුනට ව්‍යායාම ලබාදීමත් පහසුවෙන් කළ හැකි කටයුත්තකි. එය මව්පියන්ට ම කළ හැකි ය. කාර්ය බහුලතාව ගැන කීම මීට විසැඳුමක් නො වේ. අවශ්‍යතාවක් ඇතොත් වෙලාව සපයාගත හැකි ය. විශේෂයෙන් දරුවන් කාලසටහනකට පුරුදු පුහුණු කරන්නේ නම් මේ ගැටලුවෙන් මිදිය හැකි ය. කාලසටහන අංශ කිහිපයකින් ම වැදගත් ය. එය එක අතෙකින් වෙලාවට වැඩ කිරීමට උගන්වයි. තව අතෙකින් බොහෝ වැඩ කිරීමට පොළඹවයි.

රටක ඉදිරි ගමන තීන්දු කරන ප්‍රධාන සාධකයක් වන්නේ ඒ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය යි. ජපානය, චීනය, සෝවියට් දේශය වැනි රටවල් ස්වකීය ජනතාවගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් විශේෂ වැඩසටහන් මෙහෙයවති. විශේෂයෙන් දරුවන්ගේ සෞඛ්‍යය ගැන ඕනෑ ම රටක් අවධානය යොමු කරයි. දරුවා රටේ අනාගතය ලෙස සලකන බැවින් ය. පිළිකා රෝගය පිළිබඳ අලුත් ම තොරතුරුවලින් පෙනී යන්නේ දරුවන්ගේ සෞඛ්‍යය පිළිබඳ බරපතළ ගැටලුවක් අපට ඇති බව ය. ඒ ගැන විද්වත් සාකච්ඡාවක් පවත්වා අවශ්‍ය පියවර ගැනීම බලධාරින්ගේ යුතුකම ය. ඒ අතර වැඩිහිටි සමාජය ද ගැටලුවෙහි ස්වභාවය හඳුනාගෙන ඊට යමක් කළ යුතු ය.



නව අදහස දක්වන්න

Or log in with...