ආබාධයට ලක්වූ මැතිව්ස්ට සති 3ක නිවාඩුවක් | දිනමිණ

ආබාධයට ලක්වූ මැතිව්ස්ට සති 3ක නිවාඩුවක්

ෆවුස් මොහොමඩ්

දීර්ඝ කාලයක් පුරා පාදයේ ආබාධයකින් පීඩා විඳිමින් සිටි ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගේ ආබාධය නැවතත් ඉස්මතු වීම නිසා බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ඉතිරි තරග සියල්ලම ඔහුට අහිමිවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ඔහු යළි ශ්‍රි ලංකාව බලා පැමිණෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

මේ තරගාවලියේ දී සිම්බාබ්වේ පිල සමග පැවැති ශ්‍රී ලංකා පිලේ පළමු තරගය අතරතුර ඔහුගේ පාදයේ ආබාධය යළි ඉස්මතුවීම නිසා බංග්ලාදේශ පිල සමග පසුගියදා පැවැති තරගයට හා ඊයේ සිම්බාබ්වේ පිල සමග පැවැති තරගයට ඇතුළත් නොවීය. ඔහුගේ වෛද්‍ය වාර්තාව සළකා බලා ඉදිරි තරගවලට සහභාගි කරවීමට කළමනාකාරීත්වය මීට පෙර තීරණය කර තිබිණි. එසේ වුවත් ඔහුගේ ආබාධය පිළිබඳ පෙරේදා එංගලන්ත විශේෂඥ වෛද්‍යවරුන් විසින් ලබා දුන් වෛද්‍ය වාර්තාවෙන් මැතිව්ස්ට සති 3ක පමණ විවේකයක් ලබාගත යුතුව ඇතැයි නිර්දේශ කර තිබේ.

ඒ අනුව මැතිව්ස්ට බංග්ලාදේශ තුන්කොන් තරගාවලිය පමණක් නොව ඉන් අනතුරුව පැවැත්වෙන ටෙස්ට් තරගමාලාව ද අහිමි වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්දින කණ්ඩායමේ මෙන්ම විස්සයි20 කණ්ඩායමේ ද නායකත්වය දරන මැතිව්ස්ට ටෙස්ට් තරගමාලාවෙන් පසුව පැවැත්වෙන තරග 2කින් සමන්විත විස්සයි20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබාදීම පසුව තීරණය කෙරෙන බව ද වාර්තා වෙයි.

පසුගිය වසරේ මුල් භාගයේ පැවැති දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසුව වරින් වර පාදයේ ආබාධයට ලක්වු මැතිව්ස් ශ්‍රී ලංකා පිලේ ඔස්ට්‍රේලියානු සංචාරයට එක්නොවූ අතර බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී ද කණ්ඩායමට ඇතුළත් නොවීය. අනතුරුව එංගලන්තයේ පැවැති චැම්පියන්ස් කුසලාන තරගාවලියට ඔහු ක්‍රීඩා කළත් පාදයේ ආබාධය නැවතත් මතුවිම නිසා පාකිස්තානය සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති තරගවලට සහභාගි නොවීය.

අනතුරුව ශ්‍රී ලංකා පිලේ ඉන්දීය සංචාරයට ඇතුළත්වූ මැතිව්ස් ඉන්දීය පිල සමග පැවැති දෙවැනි විස්සයි20 තරගය අතරතුර යළි ආබාධයට ලක්වීමෙන් තුන්වැනි විස්සයි20 තරගයෙන් ඉවත්විය. පසුගිය වසරේ ජූලි මාසයේ දී මෙරට සංචාරය කළ සිම්බාබ්වේ පිල සමග පැවැති එක්දින තරගාවලියෙන් පසුව නායකත්වයෙන් ඉල්ලා අස්වූ 30 හැවිරිදි මැතිව්ස් අනතුරුව බංග්ලාදේශ තුන්කොන් තරගාවලියේදී නැවත ශ්‍රී ලංකා පිලේ නායකත්වයට පත් වූයේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා යටතේය.

බංග්ලාදේශ තුන්කොන් එක්දින තරගාවලියේ ඉතිරි තරග සඳහා නායකයා ලෙස මැතිව්ස් වෙනුවට ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පත් කර තිබේ.

නව අදහස දක්වන්න