පුබ්බාරාමය නඟාසිටුවමු | දිනමිණ

පුබ්බාරාමය නඟාසිටුවමු

පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ඉපැරැණි පුදබිම් ආරක්ෂා කිරීම අප සමාජය සතු වගකිමකි. එවන් පෞරාණික පුදබිමක් වන අනුරාධපුර පුලියන්කුලම පුබ්බාරාම පුරාවිද්‍යා රක්ෂිතය සමාජයේ නොයෙක් ක්‍රියාවන් හේතුවෙන් අදවන විට විනාශයට ලක්වෙමින් තිබේ.

අනුරාධපුර-මැදවච්චිය ප්‍රධාන මාර්ගයට ආසන්නව සාලියපුර, පුලියන්කුලම ප්‍රදේශයේ මෙම පුරාවිද්‍යා රක්ෂිතය පිහිටා ඇත. පුබ්බාරාම පුරාවිද්‍යා රක්ෂිතය ක්‍රි.ව 7-10 සියවස්වලට අයත් පුරාණ පබ්බතාරාම විහාරයක් බවට හඳුනාගෙන ඇත. මෙහි පොදු සැලසුමකට අනුව පබ්බතාරාමවලට සුවිශේෂි වාස්තු විද්‍යාත්මක ශෛලියකින් ගොඩනැඟිලි නිර්මාණය කර තිබේ. දාගැබ, ප්‍රාකාර බැම්ම හා විහාර වටා ඉදි වූ දිය අගලක යන සාධක මෙහි දක්නට ලැබේ.

එවන් සුවිශේෂි පුද බිම අද වනවිට දෙස් විදෙස් සංචාරකයින්ගේ නොයෙක් ක්‍රියාවන් හේතුවෙන් විනාශ වෙමින් පවතී. මෙහි ඇති වීර ගස් සෙවණේ ජනතාව ගිමන් හැරීමට පුරුදු වී සිටින අතර කණගාටුවට කරුණ වන්නේ ඔවුන් ඉවතලන සියල්ල එහි දමා යාමය. පොලිතින්, කඩදාසි, වතුර බෝතල් ආදී නොයෙක් ද්‍රව්‍ය මෙහි ඉවත දමා ඇති අයුරු දක්නට ලැබේ. මේ නිසා පුරාවිද්‍යා රක්ෂිතය විනාශයට පත්ව තිබේ.

මෙහි ස්වාභාවික පරිසරය සුරැකීම උදෙසා විවිධ දැන්විම් පුවරු මෙන්ම ඒ අසල වෙළෙඳාම් කිරීම තහනම් බව දන්වමින් පුවරු ද සවි කර ඇත.

ඇතැම් පුද්ගලයින් මෙහි මත්ද්‍රව්‍ය පානය කිරීම වැනි දේ කරන බවත් පුරාවිද්‍යා පුද බිමේ නටබුන් කැලයෙන් වැසී පවතින බවත් ජනතාව පෙන්වා දෙති. මෙවැනි පුරාවිද්‍යාත්මක පුදබිමක් ආරක්ෂා කර ගැනීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව ඇත.

 

සටහන සහ ඡායාරූප
අමිල ප්‍රභාත් වනසිංහ
අනුරාධපුර මධ්‍යම සමූහ

 

නව අදහස දක්වන්න