මෙදා තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් නෑ | දිනමිණ

මෙදා තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් නෑ

මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන නව මැතිවරණ ක්‍රමයත් සමග වෙනම තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් නොකෙරෙන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව ඡන්දපොළ තුළම හෝ එම කොට්ඨාසය තුළ මුලින් නියම කරගත් ස්ථානයක අදාළ ඡන්ද පොළේ ඡන්දය ගණන් කිරීම සිදුවේ. එහිදි එම කොට්ඨාසයට අයත් ඡන්ද ප්‍රතිඵලයට අදාළ තැපැල් ඡන්ද ප්‍රමාණය ඊට එකතු කරනු ලබන බව ඒ මහතා සඳහන් කරයි.

තැපැල් ඡන්ද පළමු අදියර අද(22) ක්‍රියාත්මක කෙරෙන අතර එහිදි පොලිස් ස්ථාන හා මැතිවරණ කාර්යාල, කච්චේරි,දිස්ත්‍රික්ක ලේකම් කාර්යාවල ඡන්ද සලකුණු කිරීම සිදුකෙරේ. සෙසු කාර්යාල, ආරක්ෂක හමුදා කදවුරු සහ වෙනත් සියලුම ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 25 සහ 26 යන දෙදින තුළ සිදු කිරීමට නියමිතය.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මේ වන විටත් අදාළ ආයතන වෙත ලබාදීමට පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සියයට 60ක් පමණ මේ වන විට අවසන් කර ඇති බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේය.

පසුගිය 18 වන දින නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළ අතර එය ලබන 4 වැනිදා දක්වා සිදුකිරීමට නියමිත බව තැපැල්පතිවරයා සඳහන් කළේය.

ජනවාරි මස 28 වන ඉරුදින විශේෂ ඡන්ද පත්‍රිකා බෙදීමේ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

 
අනුර ප්‍රේමලාල් සහ රක්ෂණ ශ්‍රියන්ත

නව අදහස දක්වන්න