වන්නි හත්පත්තු සංවර්ධන සැලැස්ම මේ වසරේ අරඹනවා | දිනමිණ

වන්නි හත්පත්තු සංවර්ධන සැලැස්ම මේ වසරේ අරඹනවා

උපාලි කරුණාරත්න

මෙම වසරේ වන්නි හත්පත්තු සංවර්ධන සැලැස්ම ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

අග්‍රාමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (21) නිකවැරටිය නගරයේ පැවැති එක්සත් ජාතික පක්ෂ රැලියක් අමතමිනි.

සිංහරාජ අඩවිය සංවර්ධන සැලැස්මද ක්‍රියාත්මක වන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා වන්නි හත්පත්තු සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක වනුයේ වයඹ සංවර්ධන අමාත්‍යාංශය යටතේ යයිද කීය. වයඹ ජනතාවට දැඩි පීඩනයක් ගෙන දෙන වල් අලි ප්‍රශ්නයට ගල්මුව ප්‍රදේශයේ තෝරාගෙන ඇති විශාල බිම් ප්‍රදේශයෙන් විසදුම් ලබාගත නොහැකි නම් එවැනි තවත් කලාප නිර්මාණය කළ යුතු බවද කී අග්‍රාමාත්‍යවයා වල් අලි සිටිනා එවැනි උද්‍යාන කේන්ද්‍ර කර ගනිමින් සංචාරක පුරවරයන් ආරම්භ කළ හැකි බවද පැවසීය.

වයඹ ප්‍රදේශයේ ගොඩවී ඇති වල් බිහි වී තිබෙන වැව් හෑරීම සඳහා මුදල් ලබාදෙන බවද මෙහිදී ප්‍රකාශ කළ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ජල බිංදු වාරිමාර්ග ක්‍රමයද මෙම ප්‍රදේශයන්හි ක්‍රියාත්මක කළ යුතු බව කීය.

මෙම රැලියේදී පොහොට්ටුව ලකුණින් තරග කරන අපේක්ෂයන්ට සහයෝගය ලබා දුන් කණ්ඩායමක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට සහය ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ. 

නව අදහස දක්වන්න