කළු ගල් තලාවේ පාසටහන් ගැන පුරාවිද්‍යාවෙන් පරීක්ෂණ | දිනමිණ

කළු ගල් තලාවේ පාසටහන් ගැන පුරාවිද්‍යාවෙන් පරීක්ෂණ

අසේල කුරුළුවංශ

මස්කෙළිය පොලිස් වසමේ ගාඩ්මෝර් නිව් ෆොග්මෝර් වතුයායේ ශ්‍රීපාද රක්ෂිතයට ආසන්නයේ කළු ගල් තලාවක විශාල පාද සටහන් දෙකක් හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙස මස්කෙළිය පොලීසිය පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෙන් ඉල්ලීමක් කර තිබේ.

මාඋස්සා කැලේ ජලාශයට ඉහළින් පිහිටි මෙම ගල් තලාව මත අඟල් තුනක පමණ ගැඹූරට කිඳා බැස තිබෙන පාද සටහන් දිගින් අඩි 1 1/2 ක් පමණද පළලින් අඩි 1/2 ක් පමණද වන බව පොලීසිය පවසයි.

තෘණ වලින් වැසී ගොස් තිබූ මෙම ගල් තලාවට කිසිවකුත් වැඩිපුර නොයන බව ප්‍රදේශවාසීහූ පවසති. අධික වියළි කාලගුණික තත්ත්වයත් සමඟ තෘණ වියළීමත් සමඟ මතුව තිබෙන පා සටහන් වතු කම්කරුවෙකු විසින් මුලින් දැක තිබෙන අතර ඔහු පසුව ඒ බව පොලීසියට දැනුම්දී තිබේ.

ගල්තලාව මත ඇති පාද සටහන් අතරින් දකුණු පාද සටහන ඉතා හොඳින් දිස්වන අතර වම් පාදයේ සලකුණු තරමක් මැකී ගොස් ඇත.

ශ්‍රීපාද අඩවිය ආසන්න ප්‍රදේශයක තිබී මෙම පාද සටහන් හමුවීමත් සමඟ ප්‍රදේශවාසීන් එය කහ වතුරෙන් දෝවනය කර පුද පූජා පැවැත් වීමට පටන් ගෙන තිබේ.

පුරා විද්‍යා දෙපාර්තුමේන්තු නිලධාරීන් අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීමට පැමිණෙන තෙක් එම ස්ථානයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට මස්කෙළිය පොලීසිය පියවර ගෙන ඇත. 

නව අදහස දක්වන්න