ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනයට තායිලන්තයෙන් වැඩසටහන් රැසක් | දිනමිණ

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනයට තායිලන්තයෙන් වැඩසටහන් රැසක්

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ඔස්සේ සහාය ලබාදීමට අපේක්ෂා කරන බව තායිලන්ත රජය පවසයි.

ඊයේ (21) ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා හමුවූ ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චූලමනී චට්සුවාන් මහත්මිය මේ පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කළාය.

පසු අස්වනු තාක්ෂණය, කෘත්‍රිම වැසි මගින් ජල සම්පාදනය ඇතුළුව කෘෂිකර්මාන්තය සඳහා නවීන තාක්ෂණය භාවිතය පිළිබඳ වැඩසටහන් හඳුන්වාදෙමින් මෙම සහයෝගීතා වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කරන බව ද තානාපතිනිය සඳහන් කළාය.

විශේෂයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්ත රජය සමඟ ගොඩනඟාගෙන තිබෙන මිත්‍රශිලී සහ හෘදයාගංම මිතුදම සංකේතවත් කරමින් තායිලන්ත රජතුමාගේ උපදෙස් පරිදි මෙම සහාය ශ්‍රී ලංකාවට ලබාදෙන බව ද තානාපතිනිය සඳහන් කළාය.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර හැටක් සැපිරිම නිමිත්තෙන් තායිලන්ත රජයේ විශේෂ ආරාධනය පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 නොවැම්බර් මාසයේදී තායිලන්තයේ සංචාරයක නිරත විය.

අනතුරුව 2016 ඔක්තෝබර් මාසයේදී තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ආසියානු සහයෝගීතා සංවාද රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා තායිලන්තයේ සිව් දින නිල සංචාරයක නිරත වූ අතර, ඉන් මසකට පසු තායිලන්තයේ භූමිභොල් අදුල්යාද් රජතුමාගේ අභාවය සිදුවූයෙන් රජතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ද ජනාධිපතිවරයා නැවත වරක් තායිලන්තයට පැමිණියේය.

එසේම ඉන්පසු පැවැති රජතුමාගේ ආදාහන උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ විශේෂ නියෝජිතයකු සහභාගිී කරවීමට ද ජනාධිපතිවරයා පියවර ගත්තේය.

මෙම සංවේදී මිත්‍රශීලිභාවයට කෘතගුණ සැලකිමක් ලෙස තායිලන්තයේ හිටපු රජු වන අභාවප්‍රාප්ත භූමිභොල් අදුල්යාද් රජතුමා අරඹන ලද ව්‍යාපෘති ශ්‍රී ලංකාව දක්වා ව්‍යාප්ත කිරීමට තායිලන්තයේ වත්මන් රජුවන වජිරා ලොන්ග්කොන් රජු පියවරගෙන තිබේ. 

නව අදහස දක්වන්න