සිංගප්පූරු අගමැති අද එයි | දිනමිණ

සිංගප්පූරු අගමැති අද එයි

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර තිබෙන රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙදින නිල සංචාරයක් සඳහා සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූන්ග් මහතා අද (22) ශ්‍රී ලංකාවට පැමිණෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණෙන සිංගප්පූරු අගමැතිවරයා මේ මස 24 දා තෙක් මෙරට රැදී සිටිනු ඇත.

සිංගප්පූරු අගමැතිවරයා හෙට (23) දින උදෑසන නිල හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර සහිතව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පිළිගනු ලබන අතර එයින් අනතුරුව ඒ මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිඳහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා අත්සන් තැබෙනු ඇත.

මෙම සංචාරය අතරතුර දී සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූන්ග් මහතා ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවී දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගිතාව සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනු ඇත. සිංගප්පූරු අගමැතිවරයා, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව යන දෙරටේම ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් සහභාගී වන ව්‍යාපාරික සංසඳයකට සහභාගී වීමට ද නියමිතය.

1979 දී රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹූ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව, අන්‍යෝන්‍ය අවබෝධය, ගෞරවය සහ පුද්ගලාන්තර බැඳීම් මත ගොඩනැඟුණු ශක්තිමත් හා සමීප ද්විපාර්ශ්වික සම්බන්ධතාවක් පවත්වන අතර සිංගප්පූරු අගමැතිවරයකු ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියැලෙනුයේ වසර දහතුනකට පසුව බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 

නව අදහස දක්වන්න