දූෂණයෙන්-වංචාවෙන් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැ‍ඟීමේ ජාතික ව්‍යාපාරය පෙබරවාරි 10න් පසු අරඹනවා | දිනමිණ

දූෂණයෙන්-වංචාවෙන් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැ‍ඟීමේ ජාතික ව්‍යාපාරය පෙබරවාරි 10න් පසු අරඹනවා

ජනපති මෛත්‍රී කෑගල්ල-වැල්ලවාය ජන රැලි අමතයි

ජයසිරි මුණසිංහ, ප්‍රදීප් කුමාර ධර්මරත්න, කෑගල්ල දිස්ත්‍රික් සමූහ, සබරගමුව සමූහ, අබේසිංහ සේනාරත්න, බුලත්කොහුපිටිය සමූහ හා ජී. අයි. ආර්. ගුරුසිංහ

කෑගල්ල සිට....

දූෂණයෙන්, වංචාවෙන් තොර පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනැ‍ඟීමේ ජාතික ව්‍යාපාරය පෙබරවාරි 10 වැනිදායින් පසු ගොඩනඟන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

එළැඹෙන පුංචි ඡන්දයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බුලත් කොළය ලකුණින් ඉදිරිපත් වී සිටින මොනරාගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ විජයග්‍රාහී ජනරැලිවලට එක්වෙමින් ජනාධිපතිවරයා එසේ කීය.

රටේ බලයත්, ගමේ බලයත් නිදහසට තේමාව යටතේ මේ ජනරැලි දෙක ඉකුත් 19 වැනිදා වැල්ලවාය නගරයේත් 20 වැනිදා කෑගල්ල නගරයේත් අති විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා මෙ‍සේ ද කීය.

අපි මේ මැතිවරණ ව්‍යාපාරයේ යනවිට පසුගිය වසර දෙක තුන තුළ සමහර අය අහනවා අපේම පක්ෂයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව බණ්ඩාරනායක දර්ශනයට විරුද්ධව, බණ්ඩාරනායක ප්‍රතිපත්තියට විරුද්ධව හදාගෙන තිබෙන ජී. එල්. පීරිස් මහත්මයාගේ පක්ෂේ අය ජනාධිපතිවරයා වසර තුන මොනවද කළේ කියලා. ඒත් සමඟ මම අහගෙන හිටියා එයාලා කියනවා 2015 ජනවාරි 8 වැනිදා මේ රටේ ජනතාවට වැරදුණා ඒක නිසා හිටි තැනට ආපහු යන්න ජී. එල්. පීරිස් මහත්මයාගේ පක්ෂයට ඡන්දෙ දෙන්න කියලා. හරියට හමුදාවක පෙරඩ් එකේ ඉද්දී ආපහු හැරෙන් කියලා කියනවා වගේ.

2015 ජනවාරි 8 ට එහා යමු කියනවා. තමුන්නාන්සේලාට මම කියන්නට ඕනෑ මම 2015 ජනාධිපතිවරයා වනවිට මේ රට තිබුණ තැන කුමක්ද. මේ රටේ ආණ්ඩුවට ලෝකයේ තිබුණු පිළිගැනීම කුමක්ද. ඔය කියන මහා සුන්දරත්වය, මහා සංවර්ධනය තිබුණානම් ඇයි මහින්ද රාජපක්ෂ මහත්මයා තමන්ට තව වසර දෙකක් තිබිය දී ඡන්දයකට ගියේ. එදා ජනාධිපතිවරණයකට යන්න එපා කියලා එතුමාට ලිපියකින් දැනුම් දුන්නේ මමයි. ලිපියෙන් මම කිවුවා ඡන්දෙකට ගියොත් පරදිනවා. ඒ නිසා යන්න එපා. දිනන්න ඕනෑ නම් මෙන්න මේ වෙනස්කම් ටික කරන්න කිවුවා. එදා කැබිනට් එකේ හිටපු මැති ඇමැතිවරු මේක දන්නවා. මම පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨයන්ට ඒකේ පිටපතක් දුන්නා. මම කිවුවා ඡන්දෙකට ගියොත් පරාදයි. මම පක්ෂයේ ලේකම් විදියට තමුන්නාන්සේලාත් එක්ක නිල් කොඩිය අරගෙන වසර 13ක් වැඩ කළා. ලේකම් විදියට පමණක්. මම මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ක්‍රියාකාරී දේශපාලනය දැන් වසර 50ක් වෙනවා.

අද එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගන්න රටවල් 194ක් තිබෙනවා. මම ජනාධිපති වනවිට අපේ රට ලෝකයේ පිළිගෙන තිබුණේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු රටවල් ගණනක් විතරයි. අනෙක් සියලු රටවල් අපට විරුද්ධ වෙලා හිටියේ. අපට බලපෑම් කළා. තර්ජනය කළා. ජගත් මහ සමුළුව අප සමඟ නැහැ. එක්සත් ජාතීන්ගේ ලේකම්වරයා අපට හිටියෙ නැහැ. එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයාගේ කාර්යාලය ඉදිරිපිට ආණ්ඩුවේ ඇමැතිවරයෙක් ගිහින් උපවාස කළා එක්සත් ජාතීන්ගේ සංවිධානයට විරුද්ධව. ඒ කාලේ හිටපු නායකතුමා ගිහිල්ලා තැඹිලි පෙවුවා. බෑන් කී මූන් මහලේකම්ට අපේ රට එපා වුණා. ඔහු තමාගේ සාමාජික රටවල්වලට කිවුවා ශ්‍රී ලංකාවේ හැසිරීම මෙහෙමයි. අපට අභියෝග කරනවා කියලා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ මැතිනිය ශ්‍රී ලංකාවට ආවා. අපේ නියෝජ්‍ය ඇමැතිවරයෙක් කිවුවා මට එයාව කසාද බඳින්න දෙනවානම් මම කසාද බඳිනවා කියලා. මුළු ලෝකයම අපිට නැතිව ගියා. මුළු ජාත්‍යන්තරයම අපට නැතිව ගියා. අපට සල්ලි දෙන, ආධාර දෙන ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ජපන් ජයිකා ආයතනය, කොරියාවේ කොයිකා ආයතනය මේ සියල්ල අපෙන් ඈත් වුණා. අපට පිළිගැනීම නැති වුණා. ජගත් මහ සමුළුවේ ඉඳලා ලෝකයම කිවුවා ශ්‍රී ලංකාවේ හමුදාවන් අපි පිළිගන්නේ නහැයි කියලා. මම ඒ පරිසරයකයි ජනාධිපති වුණේ.

මම දිනලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම දවස් 10න් ලැබුණා. මට ආරාධනා කරලයි දුන්නේ. මම ලෝක නායකයන් හමුවට ගියා. ජගත් මහලේකම් හමුවට ගියා. ලෝක නායකයන්ට ජගත් මහලේකම්ට ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට මම කිවුවා මම මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු කරලා ආණ්ඩුවක් හැදුවා. මගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනවා. ජනතවගේ නිදහස තහවුරු කරනවා. මානව හිමිකම් තහවුරු කරනවා. ඒ නිසා මගේ රට නිදහසේ කරගෙන යන්න මට උදවු කරන්න කිවුවා. කරදර අයින් කරන්න කිවුවා. එය ලෝකය පිළිගත්තා. පිළිගත්තා වගේම අපේ රටේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න පුළුවන් වුණා. මේ රටේ ස්වාධීන කොමිෂන් සභා හදලා තිබෙනවා. කලින් පොලිස්පති පත් කළේ ජනපතිගේ අභිමතයට. කලින් නීතිපති පත්කළේ ජනපතිගේ අභිමතයට. කලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු පත්කළේ ජනපතිගේ අභිමතයට. නමින් බෝඩ් එකක් ගහලා තිබුණා ස්වාධීන කොමිෂන් සභා කියා. ඒ සියල්ලට කොමසාරිස්වරු පත්කළේ ජනපතිගේ අභිමතයට. මම ඒවා වෙනස් කළා.

මගේ මැති ඇමැතිවරු ළඟට ගිහින් කිවුවා 19 වැනි සංශෝධනය සම්මත කරන්න, මගේ අසිමිත බලතල ඉවත් කරන්න ඡන්දය දෙන්න කියලා. අපි එය සම්මත කෙරුවා ලෝකය අපිව පිළිගත්තා. මේ වසර තුනට ආණ්ඩුවේ අනුග්‍රහයෙන් මිනිස් ඝාතන සිදුවී තිබෙනවාද. ආණ්ඩුවේ අනුග්‍රහයෙන් පුවත්පත් කතුවරුන් ඝාතනය කර තිබෙනවාද. ආණ්ඩුවේ අනුග්‍රහයෙන් මාධ්‍ය ආයතන ගිනිඅරන් තිබෙනවාද. ආණ්ඩුවේ අනුග්‍රහයෙන් මිනිසුනට හිංසා කර තිබෙනවාද? එදා වැලිවේරියේ ජනතාව වතුර ඉල්ලා සටන් කළාම හමුදාව දාලා වෙඩි තිබ්බා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු කියන්නේ ඒවා කරන ආණ්ඩු නෙවෙයි. එදා කටුනායක කම්කරුවෝ තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලලා පාරට බැහැලා සටන් කරනකොට වෙඩි තිබ්බා. කම්කරුවෝ මිය ගියා. ලෝකය පිළිගත්ත ක්‍රීඩකයන් අමු අමුවේ මරලා දැම්මා.

ඒ තත්ත්වය අපි වෙනස් කළා. මේ රටේ අද මිනිස් ඝාතන නැහැ. අතුරුදන්වීම් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරුකර තිබෙනවා. ඒ තත්ත්වය තුළ අපි හොඳ රටක් කියලා ලෝකය පිළිගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති දර්ශනය ගැන කතා කරන්න අද ජී. එල්. පීරිස් මහත්තයාගේ පක්ෂයේ කීදෙනෙක් ඉන්නවාද කියා මම අහන්න කැමතියි. සාමාන්‍යයෙන් අපි පක්ෂයේ වැඩ පටන් ගන්නකොට බණ්ඩාරනායක මහතාගේ හා මැතිනියගේ, මියගිය අයගේ ගුණ සිහි කරනවා. 2011 පක්ෂයේ මධ්‍යම කාරක සභාවක් කැඳවපු වෙලාවේ ඒ කාලේ හිටපු මගේ නායකවරයා කිවුවා න්‍යාය පත්‍රය බලලා මොකටද මේ ගොල්ලන්ගේ නම් දාලා තියෙන්නේ, නම් දාන්න ඕනෑ නෑනේ, පක්ෂයේ මියගිය අයගේ ගුණ සිහි කරමු කියලා දැම්මම ඇතිනේ කියලා. පක්ෂයේ ලියකියවිලිවල බණ්ඩාරනායක මහතාගේ නම දාන්න එපා කියපු මිනිස්සු අද කියනවා බණ්ඩාරනායක මහතාගේ දර්ශනය තියෙන්නේ එයාලා ළඟ කියලා. දූෂණය, වංචාව, හොරකම, නාස්තිය, හුරුපුරුදු මේ මිනිස්සු රාජ්‍ය දේපළ අනිසි ලෙස භාවිතය, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම්, සදාකාලිකව පුටුවේ ඉන්න ව්‍යවස්ථාව වෙනස්කර ගැනීම් මේ සියල්ල කළේ කවුද කියලා රටේ ජනතාව දන්නවා. හොරකම් පුරුදු මිනිස්සු පක්ෂයේ පාටත් හොරකම් කරගෙන. එයාලා කියනවා ඒ පාට එයාලගේ කියලා. මට හෙට එළිවෙනකම් කියන්න පුළුවන් පක්ෂයේ ප්‍රතිපත්තිවලින් බැහැරව කොහොමද එයාලා වැඩ කෙරුවේ කියලා. බණ්ඩාරනායක මහතා කරපු සමාජ, ආර්ථික, දේශපාලන පෙරළියේ වැඩකරන පන්තියේ ජනතාවට එදා අයිතිවාසිකම් දුන්නා, මැතිනිය කම්කරුවන්ට වෙඩි තිබ්බේ නැහැ.

මේ වසර තුන ගත්විට උද්ඝෝෂණ, පෙළපාළි මේ රටේ කොච්චර ඇති වුණාද? බණ්ඩාරනායක යුගය වගේමයි 56 දී. සයිටම් ප්‍රශ්නයට විශ්වවිද්‍යාල දරුවෝ සතියකට දින දෙක තුනක් කොළඹ නගරයට ආවා විරෝධය පළ කරමින්. උද්ඝෝෂණ කෙරුවා. ඒ ගොල්ලෝ මෙහෙයවපු පිටිපස්සෙන් හිටපු දේශපාලන හස්තයන් කිවුවා මේ ආණ්ඩුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ බිළි ගන්නයි හදන්නේ කියලා.

ශිෂ්‍යයෝ පාරට එන හැම දවසකම මම උදේට පොලිස්පතිවරයාට දුරකතනයෙන් කතා කරලා කියනවා අද ළමයි පෙළපාළි එනවා. එක තුවක්කුවක් අරගෙන ළමයි ඉස්සරහට යන්න එපා කියලා. අපි ඒ ප්‍රශ්නය විසඳුවා. මොනතරම් උද්ඝෝෂණ ආවද එහෙමයි අපි ආණ්ඩුවක් විදියට වැඩ කරන්නේ.

තමුන්නාන්සේලා දන්නවා අපි ආණ්ඩු කරනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ මැති ඇමැතිවරු එදා කැබිනට් එකේ හිටියා ආණ්ඩු පක්ෂයේ හිටියා. කැබිනට් එකේ නිදහසේ කතා කරලා තියෙනවාද? අද මගේ කැබ්නට් එකේ හරිම සංවාදශීලීයි. හැම කෙනාම කතා කරනවා තර්ක විතර්ක කරනවා. එදා ආණ්ඩුවේ ඒවා බැහැ. න්‍යාය පත්‍රයට ඔවු කිවුවා නෑ කීවා රැස්වීම ඉවර වුණා. පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වෙනවා ඔවු කියනවා නෑ කියනවා නැඟිටිනවා ඉවර වෙනවා. එහෙමයි තිබුණේ. මේ රට වෙනස් කරන්න, ඉස්සරට ගෙනියන්න, රටට ආදරය කරන ජනතාවට ආදරය කරන එකම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක තමුන්නාන්සේලා අමතක කරන්න එපා. මම එදා ආණ්ඩුවෙන් එළියට බැස්සේ හොරකම, දූෂණය, නාස්තිය, පවුල්වාදයට විරුද්ධව. ඒ බැහැලා මෙතනට ආපුහාම මෙතන වෙලා තියන දේ තමුන්නාන්සේලා දන්නවානේ. මම ඊයේත් කීවේ ඒකයි අන්තෝ ජටා බහි ජාටා.

මේ රට හදන්න පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නඟන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක මේ රටේ සමස්ත ජනතාවට එකාරාශි වෙන්න කියලා මම ආරාධනා කරනවා. දූෂණයෙන්, වංචාවෙන් තොර සමාජයක් හදන්න මේ රටේ උගතුන් බුද්ධිමතුන්ට බහුශ්‍රැතයන්ට පුළුල් ජාතික ව්‍යාපාරයකට මම ආරාධනා කරනවා.

අපි හොඳ රටක් හදමු. අපි හොඳ ප්‍රාදේශීය සභාවක් හදමු. තමුන්නාන්සේලාගේ දිස්ත්‍රික්කය ගත් විට ගොවි ජනතාව විදියට තමුන්නාන්සේලාට මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න, ගැටලු මම දන්නවා. මම කෘෂිකර්මාන්ත ඇමැති විදියට, වාරිමාර්ග ඇමැති විදියට, පරිසර ඇමැති විදියට, මහවැලි ඇමැති විදියට, සෞඛ්‍ය ඇමැති විදියට දිර්ඝ කාලයක් තමුන්නාන්සේලා එක්ක වැඩ කෙරුවා. මේ දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය පිළිබඳ බරපතළ ගැටලුවක් තියනවා. කිසිම ආණ්ඩුවකින් මේ දිස්ත්‍රික්කයට කිසිම දවසක වාරි මාර්ග ඇමැතිකම දීලා නැහැ. තමුන්නාන්සේලාගේ ජල ප්‍රශ්නය විසඳන්න ඉතිහාසයේ පළමු වතාවට මම වාරිමාර්ග ඇමැතිකම දුන්නේ තමුන්නාන්සේලා වෙනුවෙන් සොයිසා ඇමැතිවරයාට.

කුඹුක්කන් ඔය ව්‍යාපාරය අපි පටන් අරගෙන තිබෙනවා. ජලය පිළිබඳව තිබෙන ප්‍රශ්න විසඳන්න අවශ්‍ය තීන්දු තීරණ ගන්න නිලධාරීන්ට උපදෙස් ලබා දීලා තියෙනවා. මම මොණරාගල දිස්ත්‍රික්කයේ විතරක් නොවෙයි ශ්‍රී ලංකාවේ කිසිම දිස්ත්‍රික්කයක ඒ දිස්ත්‍රික්කයේ ජනතාවගේ අයිතිය ඒ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් පැහැරගන්න මම තවත් කිසිම කෙනකුට ඉඩ දෙන්න නැහැ කියන එක ඉතා පැහැදිලිව තමුන්නාන්සේලාට කියනවා.

මොණරාගල දිස්ත්‍රික්කයේ උගතුන් නැද්ද ? මේ දිස්ත්‍රික්කයේ ලෝකයේ රටවල්වල සේවය කරන උගතුන් රාශියක් ඉන්නවා. මොණරාගලින් බිහිවුණ ආචාරවරුන්, මහාචාර්යවරුන්, විශේෂඥයන්, විද්‍යාඥයන් ඉන්නවා. මම පිට රට දී හමුවෙලා තියෙනවා. මේ දිස්ත්‍රික්කය ස්වාභාවික සම්පත්වලින් අනූන වූ මහා සම්පත් තිබෙන දිස්ත්‍රික්කයක්. ශ්‍රී ලංකාවේ වන සම්පත් ගත් විට දිස්ත්‍රික්කයක් විදියට වැඩිම වන ඝනත්වය තිබෙන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ. ඒක තමුන්නාන්සේලාට මහා සම්පතක්. රටට විශාල සම්පතක්.

අද වේදිකාවල ආණ්ඩුවට විරැද්ධව කතා කරන අය වගේම ආණ්ඩුවේ පාර්ශ්වයත් වේදිකාවල් පුපුරුවනවා මහ බැංකු බැඳුම්කර කොමිසම ගැන කියලා.

මහ බැංකු බැඳුම්කර වාර්තාවේ මේ ආණ්ඩුවට සම්බන්ධකම් තිබෙන පිරිස් විතරක් නොවෙයි බොහොම පැහැදිලිව මහ බැංකු කොමිෂන් වාර්තාව තුළ කියනවා මේ බරපතළ දූෂණය 2008 අවුරුද්දේ ඉඳලා සිද්ධ වෙලා තිබෙන බව ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරතුමන්ලා කියලා තියනවා. 2008 සිට 2016 වෙනකල් මේ මංකොල්ල කෑම් සිද්ධවෙලා තිබෙනවා. කාගේද මේ සල්ලි අහිංසක වැඩ කරන කම්කරු ජනතාවගේ සේවක අර්ථ සාධක අරමුදල. කොමිසන් සභාවේ වාර්තාව පැහැදිලිව කියනවා මේ මහ බැංකු කොල්ලයේ දී 2008 සිට වැඩිපුර විනාශ වෙලා තිබෙන්නේ සේවක අර්ථ සාධක අරමුදලේ සල්ලි කියලා. මේ රටේ අහිංසක වැඩ කරන ජනතාවගේ සල්ලි. දුප්පත් ජනතාවගේ සල්ලි විශ්වවිද්‍යාලයට යන දුප්පත් දරුවන්ට ලබා දෙන මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ සල්ලි මේ හොරකම් කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තමුන්නාන්සේලා රක්ෂණ සල්ලි මේ හොරකම් කරලා තියෙන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සල්ලි. තමුන්නාන්සේලා තැන්පත් කරන දුප්පත් ජනතාවගේ සල්ලි මේ හොරකම් කරලා තියෙන්නේ. මේ දුප්පත් ජනතාවට බෙහෙත් ටික ගෙන්න, නිදහස් සෞඛ්‍ය සේවයට තියෙන සල්ලි. මේ රටේ දුප්පත් දරුවන්ට අධ්‍යාපනය දෙන්න තියෙන සල්ලි මේ හොරකම් කරලා තියෙන්නේ. මේ රටේ තමුන්නාන්සේලාට ගමේ පාර, බෝක්කුව, රෝහල හදන්න, විදුලිය දෙන්න, බොන්න වතුර ටික දෙන්න, ඇළ හදන්න තියෙන සල්ලි මේ හොරකම් කරලා තියෙන්නේ.

මොනරාගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකා හා තිරසර සංවර්ධන හා වනජීවි ඇමැතිනි සුමේධා ජී. ජයසේන මහත්මිය - අපිට අද ඉතාම ආඩම්බර වෙන්න පුළුවන් දවසක්. අද අපේ පක්ෂයේ සභාපතිවරයා සන්ධානයේ නායකයා නායකත්වය දරන රජයකින් තමයි කාන්තාවන්ට සියයට 25 කට ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභාවල මහජන මන්ත්‍රීවරියන් ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලබාදුන්නේ. කාන්තාවට දේශපාලන තීන්දු තීරණ ප්‍රතිපත්ති සකස් කරන තැන නියෝජනයක් ලැබිලා තිබුණේ නැහැ. නමුත්! යහපාලන ආණ්ඩුවෙන් ඒ දේ අද ලබාදීලා තියෙනවා.

වැල්ලවාය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක සහ හිටපු ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා- මොනරාගල දිස්ත්‍රික්කයේ අපි මෙවර පුංචි ඡන්දයෙන් පළාත් පාලන ආයතන 10 යේම ජයග්‍රහණය බුලත් කොළයට ලබා ගන්නවා. මේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නයි මේ අති විශාල ජනතාව ඇවිත් කියන පණිවිඩය.

අපේ වැල්ලවායට, මොනරාගලට ඕනෑතරම් වැඩ කළේ සන්ධානයයි. මෙහේ ජනතාවගේ ජල සම්පත ඇතුළු සෑම සම්පතක්ම පිට පළාත්වලට අරන් ගියා. අපට ජලය නැති වුණා. නමුත්! අප අපේ ජනතාවට ජල සම්පත ලබාදෙන්න සියලු සැලසුම් ක්‍රියාත්මක කරනවා.

බිබිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක හා වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති ගාමිණි විජිත් විජිතමුණි සොයිසා මහතා- මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවගේ දුක්ගැනවිලිවලට විසඳුම් ලබාදෙන්න ශක්තිමත් ආණ්ඩුවක් තනි ආණ්ඩුවක් අපි 2020 දී හදනවා. එයට නායකත්වය ලබාදෙන්නේ අපේ නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.

එතුමා අපේ පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කළේ මධ්‍යම කාරක සභාවේ අපියි. අපිට පසුගිය ජනවාරි 08 වැනිදා පරාජය වෙලා ගුටිකකා ඉන්නයි වෙන්නේ. අපි එ.ජා.ප.ය සමඟ එකතුවෙලා හවුල් ආණ්ඩුවක් හැදුවේ අපේ පාක්ෂිකයන්ට වන හිරිහැර වැළැක්වීමටයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෑගල්ල දිස්ත්‍රික් දේශපාලන නායක සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා- කෑගල්ලේ ඓතිහාසික ජනතාව, තුන්කෝරළේ, හතරකෝරළේ ජනතාව හැමදාමත් රාජ්‍ය නායකත්වය ආරක්ෂා කළා. අපි ඉතිහාසයේ පටන් කන්ද උඩරට රජතුමා රැක ගන්න කටයුතු කළ ජනතාවක්. අද අපේ පක්ෂයේ සභාපතිවරයා ජනාධිපතිවරයායි. අපි එතුමා දිවි දෙවැනි කොට රැක ගන්නවා.

අපේ නායකතුමා අපේ පක්ෂය රැක්ක නායකතුමා. එතුමාට අපි ආදරෙයි. අපි ළඟ දෙපැත්තක් නැහැ. තියෙන්නේ එක පැත්තයි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි පක්ෂ වන්නේ. මේ රට හදන නායකයා ජනාධිපතිවරයායි. එතුමා කෑගල්ලට පැමිණි වේලාවේ සෙනඟ පෙන්නන්න බැහැ කියලා සමහරු අපට අභියෝග කළා. මම ඒ අභියෝග කළ අයට කියනවා. දැන් මේ සෙනඟ බලන්න. දැන් එන්න බය නම් සවස ටී.වී. එකෙන් බලාගන්න.

අපි මේ සෙනඟ ගෙනාවේ නැහැ. ජනතාවයි ආවේ. සමහරු කුරුණෑගලින්, රත්නපුරෙන්, පැල්මඩුල්ලෙන් සෙනඟ ගෙනාවා. අපි එහෙම නැහැ. අපේ මේ රැස්වීමට ඇවිත් ඉන්න ජනතාව ඔක්කෝම කෑගල්ලේ උපන් භූමිපුත්‍රයන්. අපිට අද ඉතාම සතුටු දවසක්. අපි කෑගල්ල පළාත් පාලන ආයතන සියල්ලම බුලත්කොළය ජයගන්නවා.

සමාජ සවිබලගැන්වීම් හා සමාජ සුබසාධන ඇමැති එස්. බී. දිසානායක මහතා- අපි අපේ පක්ෂයට පණ වාගේ ආදරය කරන අපේ සභාපතිතුමාට, සන්ධානයේ නායකතුමාට අද එක කතාවක් කියන්න කැමැතියි. ඒ තමයි පෙබරවාරි 10 වැනිදා මුළු රටේම ගමේ ආණ්ඩුවල බලය අපිට බුලත්කොළයට ලබාගන්නවා. ඒ බවට සහතිකයයි මේ ජනතාව අද කියාපාන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල වුණු සෑම අවස්ථාවකම වාසිය ගියේ එ.ජා.පක්ෂයටයි. අපිට එ.ජා.ප.ය ගැන වෙනම විග්‍රහයක් තියෙනවා. අපි ඔවුන් එක්ක ආණ්ඩු කළාට සදාකාලිකව කවදාවත් එහෙම ඉන්න සූදානමක් නැහැ. අපි ශ්‍රීලනිප ප්‍රමුඛ වමේ ප්‍රගතිශීලී බලවේග එකතු කරලා තනි ආණ්ඩුවක් හදන්න ඕනෑ.

මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා- කෑගල්ලේ ප්‍රගතිශීලී ජනතාවට එක් පණිවුඩයක් කියන්න කැමැතියි. ඔබ හැමදාමත් හිටියේ ප්‍රගතිශීලී බළ කඳවුරේයි. ඒ නිසා තමයි අද මේ තරම් විශාල පිරිසක් මේ රැලියට ආවේ. අපි ජනාධිපතිවරයා දූෂණය, වංචාවට ඉඩ තබන්නේ නැහැ. එතුමාගේ නායකත්වයෙන් පිරිසිදු පාලනයක් අපි අපේ රටේ ඇති කරනවා.

හිටපු ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවදාවත් කඩා විනාශ කරන්න බැරි පක්ෂයක්. මේ පක්ෂයේ ආරම්භක පුරෝගාමී නායක දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය එකතු කළා.

එදා පොදු ජනතාවගේ පක්ෂය වුණු අපේ පක්ෂය පසුකාලෙක හොරුන්ට, දූෂිතයන්ට යට වුණා. අපේ රටේ දේශපාලනයේ ඉහළ සිට පහළටම ජරා වුණා. හොරකම් කළ අය දැන් අනිත් පැත්තට පැන්නා. අප කවදාවත් බිස්නස් කළේ නැහැ.

අරණායක ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක නීතිඥ ලලිත් දිසානායක මහතා- අපි 1988 ඉඳන් ගුටි කකා බැණුම් අහ අහ අපේ පක්ෂයේ ජයග්‍රහණයට කැප වුණා. අපි අපේ පක්ෂයේ සභාපතිවරයා සමඟයි හැමදාමත් ඉන්නේ.

මහින්ද රාජපක්ෂ මහත්තයාට අපි තවමත් ආදරෙයි. ඒත් එතුමා අද ජාතිවාදීන්ට යටවෙලා. එතුමා අද දේශපාලන වශයෙන් අනාථයෙක් බවට පත්වෙලා ඉවරයි.

බුද්ධශාසන හා අධිකරණ නි‍යෝජ්‍ය ඇමැති දුෂ්මන්ත මිත්‍රපාල මහතා- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද අපේ රටේ සියලු ජාතීන්ගේ සියලු ආගමිකයන්ගේ එකම වේදිකාව බවට පත්වී තිබෙනවා. ඒ දේ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. එතුමා තමයි මේ රට හදන එකම නායකයා වන්නේ. අපි එතුමා සමඟ ඉන්නේ බො‍හෝම ආදරයෙන් කැමැත්තෙන්. එතුමා ළඟ පටු දේශපාලනයක් නැහැ. අවංක නායකයෙක්‍. මේ ජනරැලි අවස්ථාව අමතා ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු සංවිධායක ලේකම් අනුරුද්ධ පොල්ගම්පොල, මහජන පක්ෂයේ නියෝජ්‍ය නායක සෝමවීර චන්ද්‍රසිරි, සබරගමුව පළාත් හිටපු මන්ත්‍රී ආනන්ද මිල්ලන්ගොඩ යන මහත්වරු කතා කළහ. මේ අවස්ථාවට නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යටියන්තොට ආසන සංවිධායක සහ සබරගමු පළාත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක හර්ෂ සියඹලාපිටිය, දැදිගම ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක කීර්තිසිරි විජේතුංග, කෑගල්ල, මොනරාගල දිසා පළාත් පාලන ආයතනවල ජනතාව විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

ඡායාරූප

සුදත් මලවීර සහ ජනාධිපති මාධ්‍ය අංශය 

 


නව අදහස දක්වන්න

Or log in with...