දූෂණ වංචා සිදු කළ පුද්ගලයන්ට එරෙහිව නව නීති සකසා අවසන් | දිනමිණ

දූෂණ වංචා සිදු කළ පුද්ගලයන්ට එරෙහිව නව නීති සකසා අවසන්

 

ගොඩකවෙල, ඇල්පිටිය, හෝමාගම ජනතා රැලි අමතමින් අගමැති කියයි

දූෂණ වංචා සිදු කළ පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමට ඇති බාධක ඉවත් කිරීම සඳහ නව නීති සම්පාදනය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පසුගිය දා (19) පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ගොඩකවෙල, ඇල්පිටිය, හෝමාගම යන ප්‍රදේශවල පැවති ප්‍රචාරක රැලි අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසිය.

මේ වෙනුවෙන් විශේෂ මහාධිකරණයක් පිහිටුවීම සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය සකස් කර තිබෙනවා. නව ක්‍රමවේදයට අනුව මෙතෙක් වසර හය - හතක් ප්‍රමාද වූ නඩු මාස 6 ක් ඇතුළත අවසන් කළ හැකියි.

නඩු දැමීම, දූෂණ සෙවීම අතීතයට පමණක් සීමා කර නෑ. එය වර්තමානයටද බලපාන පරිදී ක්‍රියාත්මකයි. දූෂිතයන්ට නඩු දාන්න ඔවුන්ට දඩුවම් කරන්න තිබෙන බාධක ඉවත් කිරීමේ නීතියක් තලතා අතුකෝරල ඇමැතිතුමිය සකස් කර තිබෙනවා. දූෂණය නැති කරන්න අප කැප වී ක්‍රියා කරනවා. රටේ සිදු වන දූෂණ පිළිබඳව අප සොයා බැලිය යුතුයි. හොරු අල්ලන්නේ කොහොමද කියා ජනතාව මේ වන විට අපෙන් ප්‍රශ්න කරනවා.ඉක්මනින්ම හොරු අල්ලන්නේ නැත්තේ ඇයි කියා ඔවුන් අසනවා.අපි කොටසකට නඩු දාල තිබෙනවා. දූෂණ සම්බන්ධව ලිපි ගොනු සකස් කර තිබෙනවා. ඒත් මේ අය සම්බන්ධයෙන් ගැටලුවක් පැවැතියා. නඩුවක් දැම්මට මාස දෙකක් යනවා.

තවත් මාස දෙකක් යනවා අනෙක් නඩු දිනයට. සමහර අවස්ථාවල නඩු දින ගන්න මාස හය අට යන අවස්ථා තිබෙනවා. මෙම ක්‍රමය නිසා නඩුවක් ඇසීමට දීර්ඝ කාලයක් යනවා. මේ නිසා සාක්කි කාරයෝ ඉන්නවාද නැද්ද කියා දන්නෙත් නැහැ. අවුරුදු පහක් විතර නඩුවක් ඇදගෙන යාම අමාරුයි. නඩුවෙන් පස්සේ අභියාචනාධිකරණයට යනවා. එතනත් යම් කාලයක් ගත වෙනවා. අවුරුදු දෙකක් තුනක් විය හැකියි. ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. වේගවත්ම නඩුවකට විශාල කාලයක් යනවා. මේ දෙස බලන විට නඩු දාන්නේ නැතිව හිටියා නම් හොඳයි කියා අපට සිතෙනවා. නඩු දැමීම කාලය නාස්ති කරන වැඩක් වශයෙන් පෙනෙනවා.

මෙම ගැටලුව පිළිබඳව අප කතා කළා. තලතා අතුකෝරල ඇමැතිතුමිය මේ ගැටලුව විසදන්න අලුත් නීති සකස් කර තිබෙනවා. ඒ අනුව නීතිපතිතුමාට පුළුවන් පොලීසියෙන් අදාළ ලිපි ගොනු අරගෙන ඒවා පිළිබඳව සොයාබලා කෙළින්ම මහාධිකරණයට නඩුව එවන්න. එහිදී නඩු අහන්නේ විනිශ්චයකාරවරුන් තිදෙනෙක්. ඒ තුන්දෙනා දිනෙන් දින නඩු අහන්න ඕනේ. සදුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාට ඊට පසුව ඊළඟ සදුදා ලෙස නඩු ඇසිය යුතුයි. නඩුව අවසන් වනතුරු නඩු ඇසිය යුතුයි. අභියාචනාධිකරණයත් තිබෙනවා. මේ නිසා නඩුවක් මාසයකින්, දෙකකින්, තුනකින් අසා අවසන් වෙනවා. දීර්ඝ නඩුද ඉක්මනින් අසා අවසන් වෙනවා. නඩු ඇසීමේ කාලය සම්බන්ධයෙන් තිබෙන බාධක ඉවත් කෙළේ නැත්නම් නඩු ඇසීම සාර්ථක වන්නෙ නැහැ.

නඩු ගණනාවක් තිබුණා. ඒවා ඇසීමට එක් එක් කණ්ඩායම්වලට බාර දී තිබුණා. අපි මේ සම්බන්ධයෙන් යෝජනා කෙළේ එක් ඒකකයක් ඇති කළ යුතු බව. තලතා අතුකෝරල මැතිනිය නීතිපතිවරයා සමඟ කතා කර ඒ සම්බන්ධව ක්‍රියා කර තිබෙනවා. නඩු පිළිබඳව ක්‍රියා කිරීමට එම ඒකකයේ සංඛ්‍යාව අඩු නම් එය වැඩි කරන්න පුළුවන්. ඒ අනුව පොලීසිය නඩු අසූවක් විතර විභාග කර තිබෙනවා. එයින් දහනවයකට නීතිපතිවරයා නඩු දමා තිබෙනවා. තව දෙකකට නඩු දැමීමට කටයුතු කරමින් සිටිනවා. තව කොටසකට නඩු දැමීමට පදනමක් නොමැති බවට නීතිපති පවසා තිබෙනවා. සාක්කි ගෙන එන ලෙස දන්වා ලිපිගොනු කොටසක් පොලීසියට එවා තිබෙනවා. තව කොටසක් පිළිබඳව නීතිපතිතුමා සළකාගෙන යනවා. නඩු සම්බන්ධව ක්‍රියා කිරීමට අපි නීති සහ ඒකකයක් සකස් කර තිබෙනවා.

සදුදා දෙවැනි ජනාධිපති කොමිසමේ වාර්තාව ආවාහම තවත් නඩු තිස් හතරක් තිබෙනවා. මේ නිසා නඩු ප්‍රමාණය වැඩි වෙනවා. ඉක්මනින් නඩු ඇසීමේ පදනම අප දමා තිබෙනවා. උසාවි සංකීර්ණයක්ද මේ සඳහා සොයා ගෙන තිබෙනවා. එයට අවශ්‍ය විනිශ්චයකාරවරු සහ කාර්ය මණ්ඩලය සඳහා ද අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. එහෙනම් පෙබරවාරි මාර්තු වන විට අප ක්‍රියාත්මක කළ පියවර යටතේ සියලුම නඩු අහන්න අවස්ථාව හිමි වෙනවා. අවශ්‍ය නම් උසාවි දෙකක් ඇති කළ හැකියි.

නැත්නම් තුනක් ඇති කරන්නත් පුළුවන්. නඩු ඇසීමේ ක්‍රියාවලිය වේගයෙන් සිදු කළ යුතුයි. නැත්නම් ජනතාව ඒ පිළිබඳව අපෙන් ප්‍රශ්න කරනවා. නඩු දාන එක එකක්. නඩු අවසන් කරන එක තව එකක්. නඩු ඉක්මනින් අවසන් කිරීමේ කටයුත්ත ශක්තිමක් කිරීම සඳහා අප කැප වී ක්‍රියා කරනවා. අපි නඩුදාන එක දූෂණ සොයන එක අතීතයට සීමා කර නැහැ. අපේ ආණ්ඩු යටතේත් කුමක් හෝ දෙයක් සිදු වී තිබෙනවා නම් ඒ පිළිබඳව සොයා බලනවා. බැදුම්කරය සම්බන්ධයෙනුත් අප ක්‍රියා කළා. අප හොරුන් පිටුපස ගොස් ඔවුන් ඇල්ලීම ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබඳ කටයුතු ක්‍රමාණුකූලව කරගෙන යනවා.

අපට බාර ගත්තෙ කඩා වැටෙමින් තිබූ ආර්ථිකයක්. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අවුරුදු නවයක් මේ රට පාලනය කළා. එම ආණ්ඩුව සිදු කෙළේ කමක්ද?. ණයම ගත්තා. 2013 වන විට ණය ගෙවන්න මුදල් තිබුණෙ නැහැ. පසුගිය ඡන්දයෙන් ඔහු පරාජය වුණා. මේ ආණ්ඩුවට රට ඉදිරියට ගෙන යාමට නොහැකි බවත් කඩා වැටෙන බවත් ඔවුන් ප්‍රකාශ කළා. නමුත් ආණ්ඩුව කඩා වැටුනෙත් නැහැ. ආර්ථිකය කඩා වැටුනෙත් නැහැ. අප බලය ලබාගත් අවස්ථාවේ සිට රටේ ආදායම වැඩිකරන්න කටයුතු කළා.

මේවන විට පසුගිය කාලයේ ගත් ණය ගෙවමින් ශක්තිමත්ව අප ගමන් කරනවා. අප මේ රජය භාර ගන්නා අවස්ථාවේ අයෝජන නැති වී අපනයන ආදායම අඩු වී තිබුණා. සංචාරකයින්ගේ පැමිණීම අඩුවී පැවැතියා. නැවතත් වත්මන් ආණ්ඩුව යටතේ ආයෝජකයින් රටට පැමිණෙමින් තිබෙන අතර අපනයන බදු සහන ලබාගෙන තිබෙනවා. සංචාරකයින්ගේ පැමිණීම ඉහළ ගොස් තිබෙනවා. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් අප අලුත් සමාගමක් සමඟ ගත් පියවර නිසා ඩොලර් කෝටි එකසිය දහයක් තිබෙනවා. මෙයින් අපට ණය ගෙවිය හැකියි. අදාළ සමාගම ඩොලර් කෝටි හැටක් ආයෝජනය කරනවා. මත්තල ගුවන් තොටුපොළ ප්‍රශ්නයත් අප මේ අවුරුද්දේ විසදනවා. ගත් ණය ගෙවා දැමීමේ ක්‍රමවේදයක් ඇති කරනවා. පසුගිය කාලයේ බාගෙට අවසන් වෙමින් තිබූ පාරවල් සහ විවිධ යටිතල පහසුකම් සඳහා මුදල් ගෙවා තිබූනේ නැහැ. ඇතැම් දේ සඳහා සැළැස්මක් තිබුණෙ නැහැ. මේ ගැටලු අප විසදමින් තිබෙනවා.

අප මධ්‍යම අධිවේගී මාර්ගය සාදමින් තිබෙනවා. මේ නිසා මහනුවර සිට හම්බන්තොට දක්වා යටිතල පහසුකම් ඇති කරනවා. මෙම අධිවේගී මර්ග පද්ධතිය හරහා අප මූලික සංවර්ධනය පටන් ගෙන තිබෙනවා. නුවර ප්‍රදේශයේ එක වෙළෙඳ කලාපයක් දමනවා. කුරුණෑගල අවට වෙළෙඳ කලාප දෙකක් දමන්න හදුනාගෙන තිබෙනවා. හලාවත සංචාරක කලාපයක්, කලුතර වෙළෙඳ කලාපයක්, ගාල්ලෙ සංචාරක කලාප තුනක්, හම්බන්තොට වෙළෙඳ කලාප ඇති කරනවා. තෙල් පිරි පහදුවකුත් ගෙනෙනවා. මේ සඳහා අවශ්‍ය වැඩ කටයුතු අප සිදු කළා. හැම ගමක්ම සංවර්ධනය කරන්න මුදල් ලබා දුන්නා.

කොළඹ සිට මහරගම, කොට්ටාව, හෝමාගම දක්වා විශාල නාගරීක කරණයක් ඇති වෙමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් අප ඇති කරනවා. මාර්ග ඉදිකරනවා. කොළඹට විදුලි බලය ලබා ගැනීමට එල්. එන්. ජී. විදුලිබලාගාර ඇති කරනවා. ඒ ආකාරයෙන් රට දියුණු කිරීම සඳහා මේ ආණ්ඩුව විශාල වැඩ කොටසක් සිදු කරමින් තිබෙනවා. රට දියුණු කිරීම සඳහා අවශ්‍ය ජාතික මට්ටමේ වැඩ කටයුතු අප ආරම්භ කර තිබෙනවා.

ජි.එස්.පි ප්ලස් බදු සහනය හරහා ක්‍රමානුකූලව අපේ අපනයන ආදායම වැඩි වෙනවා. මේ වසරේදී ඩොලර් කෝටි 150 ක ආයෝජන අපේ රටට ලැබී තිබෙනවා.

රටේ ඇතිවන දියුණුවත් සමඟ ඉඩම් මිල වැඩි වෙනවා. මෙම ප්‍රදේශයේ විශ්ව විද්‍යාල, නිවාස ව්‍යාපෘති ඇතිවෙමින් තිබෙනවා. මහ නගර වැඩ සටහන යටතේ චම්පික රණවක ඇමැතිවරයා විශාල වැඩ කොටසක් මේ හෝමාගම ප්‍රදේශයට ඉටු කරනවා. වෙබ් අඩවි අපට කුණුහරපයෙන් බනිනවා. ශ්‍රි ලංකාව නිදහස ලබාගත්තායින් පසු මා තරම් බැනුම් ඇසූ තවත් කිසිවකුත් නැතිව ඇති. ඒ වගේම එලෙස බනින කිසිවකුටත් කිසිඳු හානියක් සිදු කොට නැහැ.

නගරයේ දියුණුව අප ගමට ගෙනෙන්න ඕනේ. ඒ සඳහා ගමේ ආණ්ඩුවත් එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන්න කියා මා ඉල්ලා සිටිනවා. රට සංවර්ධනය කිරීමේදී බිම් මට්ටමේ ගමේ ආණ්ඩු ඉතා වැදගත්. ගමේ ආණ්ඩුව අපට තිබෙනවා නම් දැනට කර තිබෙන ප්‍රමාණයට වඩා විශාල වැඩ කොටසක් අපට ඉටුකළ හැකියි. දැන් අපට මුදල් තිබෙනවා. ආර්ථික බලය තිබෙනවා. ආණ්ඩු බලය තිබෙනවා. ඒ නිසා මේ ප්‍රදේශයට විශාල සංවර්ධනයක් ඇති කරන්න හෝමාගම, ගොඩකවෙල, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවල බලය එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන්න කියා මා ඉල්ලා සිටිනවා.

සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අැමැති රාජිත සේනාරත්න මහතා- පොහොට්ටු‍ව පක්ෂයෙන් බලය ඉල්ලන රාජපක්ෂලාගේ වංචා දූෂණ පිළිබඳ සියලු තොරතුරු දැන් හෙළි වී‍ තිබෙනවා.රණවිරු රාජපක්ෂ රටින් පැනලා‍. මිග් යානාවලින් ඩොලර් මිලයන 7.5 ක් බැගින් වංචා කර තිබෙනවා. රණවිරු රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට නිතිපතිවරයා තව තොරුතුරු වගයක් ඉල්ලා සිටිනවා‍.එම ‍තොරතුරු අප ළඟ තිබෙනවා. ජි.එල්.පීරිස් පොහොට්ටුවේ නායකයා වුණාට එයාගේ පින්තූරය මැතිවරණයට යොදා ගන්නේ නැහැ. 88,89 කාලයේ බෝම්බ ගහලා රජයේ දේපොළ සහ මිනිසුන් විනාශ කළ අය අද බණ කියනවා.ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ආණ්ඩුව පිරිසිදුයි.

ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා- මෙම පළාත් පාලන ආයතන පසුගිය කාලයේ ක්‍රියාත්මක වුණේ මහින්ද රාජපක්ෂ සංකල්පය අනුව. සාටකයේ සාපය අපට ඇති වුණා. මැරකම, සල්ලාලකම්, දාමරිකකම් , අල්ලස, පගාව, ඉඩම් කොල්ලකෑම, මුදල් අවභාවිතය, ඥාති සංග්‍රහය එදා රාජපක්ෂ පාලනයේ තිබුණා. තම හෙංචයියන්ට අනිසි ලෙස මුදල් හම්බ කිරීමට පසුගිය පාලනය ඉඩ ලබා දී තිබුණා.

ශ්‍රී ලංකාන් ගුවන් සේවයේ ප්‍රධානියෙක් සිංගප්පූරුවට මාසෙකට තුන් වතාවක් ගියා බොඩි මෂාජ් එකක් දා ගන්න. පසුගිය පාලනය ගුවන් යානාවක විශේෂ කුටියක් හදන්න උත්සාහ කළා. ඒ ගිවිසුම් අප අවලංගු කළා. විශාල මුදල් මේ ආණ්ඩුව ඉතිරි කර ගත්තා.

බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක, හෝමාගම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක මංජු ශ්‍රී අරංගල මහතා- ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ඨ ජයග්‍රණයක් ලබා ගන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද අද දෙකට බෙදිල තිබෙන්නේ. අගමැතිතුමා උත්සාහ කරන්නේ රටට යහපත් අනාගතයක් නිර්මාණය කර දෙන්න. මේ රට කරන්න පුළුවන් එකම නායකයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතායි.

ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු පිළිබද අැමැති ගයන්ත කරුණාතිලක මහතා-එජාපය ජයග්‍රහණය කරලා ආණ්ඩුවේ හයිය ගමට ගෙන්වා ගන්න. පසුගිය ආණ්ඩුවේ කෙළේ සුදු අලි ව්‍යපෘති. නැව් එන්නේ නැතිවරායන් හා ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපොළවල් තමයි හැදුවේ. නමුත් මේ ආණ්ඩුවේ සුදු අලි ව්‍යපෘති නැහැ. අපි කරන්නේ ජනතාවට සේවය කිරිමයි. අද ජනතාවට ප්‍රතිලාභ ලැබෙන දේවල් කරණවා. රාජයේ සේවකයින්ගේ පඩි වැඩි කළා. හැම ගැබනි මවකට පෝෂණ මල්ලක් දෙනවා.

හැම ගමකටම යටිතල පහසුකම් සංවර්ධන කරන්න ලක්ෂ ගණනක් ලැබිලා තියෙනවා. යුඑන්පි.ය වට්ටන්න කාටවත් බැහැ. ප්‍රභාකරන් බැලුවා අපේ පක්ෂනායකයින් ඝාතනය කරලා යුඑන්පි.ය වට්ටන්න.නමුත් බැරිවුණා. අපට ඉන්නවා යන ගමන දැන ගෙන යන දුරදර්ශි නායකයෙක් . අපේ රැල්ල මඩ ගහලා නතර කරන්න බැහැ. වසර දෙකකට කලින් මහරජාණෝ සිංහාසනයෙන් ඇද දමලා අද පාපැදියට වට්ටලා තියෙනවා.

මෙහිදී දේශපාලනඥයින් රැසක් අදහස් දැක්වූහ.

උපාලි කරුණාරත්න සමඟ හෝමාගම සංචාරක සහ ඇල්පිටිය විශේෂ

ඡායාරූප- රුවන් ද සිල්වා
අගමැති මාධ්‍ය ඒකකය සහ ඇල්පිටිය විශේෂ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...