බලවතාගේ අණින් වැලිකඩ සිරකරුවන්ට නිල නොවන මරණ දඬුවමක් | දිනමිණ

බලවතාගේ අණින් වැලිකඩ සිරකරුවන්ට නිල නොවන මරණ දඬුවමක්

විජයානි එදිරිසිංහ

සිරකරුවෝද මනුෂ්‍යයෝය. යනුවෙන් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයේ සඳහන් කර ඇත. එතැනින් එහා මෙහා යන එන සෑම කෙනකුටම නෙත ගැටෙන්නේ එම වදන් පේළියයි. යම් අපරාධයක් කර නීතියෙන් වරදකරු වන කෙනකුට හිමි වන්නේ සිපිර ගෙය හෙවත් බන්ධනාගාරයයි. බන්ධනාගාරගත වීමට බිය නොවන කිසිවකුත් නොමැත. වරදක් කළොත් ඊට අදාළ නඩු විභාගය අවසන් වන විට වරද කළ පුද්ගලයා සිතෙන් සිය දහස්වරක් සිර දඬුවම් විද අවසානය. ඒ වරද කළ පුද්ගලයන්ය. එහෙත් වරදක් නොකළ පුද්ගලයන්ද ඇතැම් විට සිර දඬුවම් විදින අවස්ථා ඇත. ඒ අතර සිරගෙදරක තත්ත්වය ගැන කිව යුතු දේ බොහෝය. එතුළ සිටින්නේ විවිධ පුද්ගලයන්ය ‍ඒ අතර ජීවත් වීම පහසු දෙයක් නොවේ. ඒ අතර විවිධ සිරකරුවන්ගේ විවිධ වු අවශ්‍යතාවන් ඇත. ඒ අතර ඔවුන්ගේ එකම අවශ්‍යතාව වන්නේ එම සිර ගෙදරින් නිදහස් වි යැමයි. ඒ අවස්ථාව ලබා ගැනිමට ඇතැම් විට ඔවුන් උපවාස කරන අවස්ථා පවා ඇත.

මොන තරම් බලවතකු වුවද සිරගත වු පසු ඒ පුද්ගලයා විශාල වශයෙන් දැඩි මානසික පිරිහීමකට පත් වෙයි. සිර ගෙය තුළ සිටින තාක් කල් එම මානසික තත්ත්වයෙන් ගත කරන සිරකරුවන් බලා සිටින්නේ කොයි මොහොතේ ඉන් නිදහස් වේද යන බලාපොරොත්තුව මතය. සිරකරුවෝද මනුෂ්‍යයෝය යනුවෙන් සඳහන් කෙරෙන්නේ ඒ නිසාම විය යුතුය.

ගිනි අවියක් නොමැති පුද්ගලයකු ඝාතනය කිරීම හපන් කමක් ‍නොවේ වීර කමක්ද නොවේ. විශේෂයෙන් සිරගෙදරක් තුළට රිංගා එහි සිටින සිරකරුවන් අමු අමුවේ යමකු විසින් ඝාතනය කරනු ලබයි නම් එම අපරාධය සිදුකරන පුද්ගලයා හෝ කණ්ඩායම සැබැ විර‍යෝ නොවෙති. එය ම්ලේච්ඡ පහත් ක්‍රියාවක් වෙයි විශේෂයේ සිරබත් කන සිරකරුවා එම දඬුවම විදින්නේ ඔහු කළ වරදකටය. එහෙත් ඔහුට තවත් අය විසින් කුමන හේතුවකට සිරමැදිරිය තුළ සිටියදි නිල නොවන ආකාරයෙන් තවත් දඬුවම් පැමිණ විම අවශ්‍ය නොවේ.

එහෙත් 2012 වසරේ නොවැම්බර් මස 09 වැනිදා සිදු වූයේ එවැනි දෙයකි. එනම් වැලිකඩ සිරගෙදර සිරබත් කමින් සිටි රැඳවියන් විශාල පිරිසකට මරණ දඬුවම නිල නොවන මට්ටමකින් හිමි වුයේ මෙදින රාත්‍රියේය. ඒ වෙනත් අබිරහස් සිද්ධියක් මතය මේ වන විට අනාවරණය වී ඇති කරුණුවලට අනුව එවකට සිටි බලවතුන්ගේ නියෝගය මත වැලිකඩ සිර ගෙදර සිටි රැඳවියන් පිරිසක් අතරට කඩා වැදුණු අවිගත් පිරිසක් සිර ගෙදර විදුලි ආලෝකය විසන්ධි කර සිර කුටි තුළ‍ට රිංගා නම් අඩ ගසමින් අමු අමුවේ ඔවුන් මරා දමා ඇත. ඒ අපරාධය සිදු කළේ සිරකරුවෝද මනුෂ්‍යයෝ යන්න අමතක කර දමා එම නියෝගය දුන් කවුරුන් හෝ බලවතකුගේ අරමුණ කුමක් වුවත් මේ ආකාරයෙන් සිර මැදිරියක් තුළට කොටු කර අමු අමුවේ ඝාතනය කර තිබුණේ කුමන අපරාධය කර සිරගත වූවා. මොවුන්ද කළ වරදට දඬුවම් විදින සිරකාර මනුෂ්‍යයන්ය.

ඒ වන විට වේලාව රාත්‍රි අටට පමණ විය එදින සිරකරුවන් පිරිසක් යම් විරෝධතාවක යෙදි සිටියහ. ඒ ඔවුන්ගේ අයිතිවාසිකමක් සම්බන්ධයෙනි. එම විරෝධතාව. සිරකරුවකු ඝාතනය කර ජිවිතය නැති කර දැමීමට තරම් ප්‍රබල හේතුවක් නොවේ. ඒ අතර පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ පිරිසක් සිරමැදිරිය පරික්ෂා කිරීමේ කටයුතුවල යෙදි සිටියහ. එසේ පරික්ෂා කර ආපසු යන පොලිස් නිලධාරින්ට සිරකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කළ බවත් එය මර්දනය කිරීමට පොලිසිය කටයුතු කරන අවස්ථාවේ එම ඝාතන සිදු වි ඇති බවත් පසු දින වාර්තා කෙරිණි. කෙසේ වෙතත් එදින එම ගැටුම පැය කිහිපයක් තිස්සේ සිදු විය. මුළු සිරගෙදරම එකම අඳුරු ලෝකයකි.

අවට යාම්තම් වැටෙන එළියක් මිස අවට කිසිවක් දැකිය ‍නොහැකිව තිබිණි. සිර ගෙදරින් ඇසෙන්නේ එකම විලාපයකි. සිරකරුවෝ මේ සිදුවන්නේ කුමක්දැයි සිතා ගැනිමට නොහැකිව කෑ ගසන්නට වුහ. ‍වරින් වර වෙඩි හඬත් සමග විලාපයක් ඇසෙයි. විලාපය ඉන් අවසන් ය. සිරගෙදර තුළ ඇතිවු ඒ බියකරු සිද්ධිය මත සිදුවන්නේ කුමක් දැයි තේරුම් ගත නොහැකි තත්ත්වයක් තිබුණි. සිරකරුවෝ සිර මැදිරි කඩා ගෙන පිටව යැමට තරම් උත්සාහ කළහ. මේ අතර හොර රහසේ ජංගම දුරකතන තබා ගෙන සිටි සිරකරුවෝ තම තමන්ගේ ඥාතින් වෙත කතා කරමින් සිදුවන දේ සම්බන්ධව දැනුම් දුන්හ.

මරණ දඬුවම නියමව සිට අභියාචනාවක් ඉදිරිපත් කර සිටින සිරකරුවකු කතාකර දැනුම් දුන්නේ විශේෂ කාර්ය බළකායේ පිරිසක් පැමිණ සිර කුටිවල සිටින සිරකරුවන් තෝර තෝරා ඝාතනය කරන බවයි. කෙසේ වෙතත් පැයකට අධික කාලයක් මහා යුද්ධයක ආකාරය ගත් වැලිකඩ සිර ගෙදර අනතුරව නිහඬ වූයේ එතැනට පැමිණ සිට කවුරුන් හෝ ආරක්ෂක අංශ පිටව ගිය පසුවය.

එම බන්ධනාගාර ප්‍රහාරය ඉතාමත් සැළසුම් සහගතව කල්යල් බලා අවස්ථාව ලැබෙන තෙක් බලා සිට එල්ල කළ ප්‍රහාරයක් බව එම ප්‍රහාරය පිළිබඳ සොයා‍ බැලීමට පත් කර තිබූ කමිටු වාර්තාවේ සඳහන් වෙයි. විශ්‍රාමලත් විනිසුරුවරුන්ද ඇතුළුව පත් කර තිබූ එම කමිටුව මෙසේ කියයි.

බන්ධනාගාරය තුළ ආරක්ෂාවේ ප්‍රශ්නයක් නොමැති බව එහි උසස් නිලධාරියකු විසින් තහවුරු කර තිබියදීත් පොලිසිය එම ස්ථානයට එවීම තුළින් අනවශ්‍ය දෙයක් සිදුවී ඇති බව සඳහන් වෙයි. එවකට බන්ධනාගාර කොමසාරිස් සී.ඩබ්ලිව්. කොඩිප්පිලි ඉන්දික සම්පත් එවකට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක නිමල් රංජන් යන පිරිස තම රාජකාරිය නිසියාකාර ඉටු නොකර ඇති බවද එම කමිටු වාර්තාව තවදුරටත් කියා සිටින්නේ ඔවුන් නොසැලකිලිමත් ලෙස එම ප්‍රහාරය සිදු කළබව එම වාර්තාව තවදුරටත් පෙන්වා දෙයි.

මෙම ප්‍රහාරය පිටුපස තිබූ අරමුණ කුමක්ද යන්න හරිහැටි පැහැදිලි නැතත් එම කමිටුව පෙන්වා දී ඇත්තේ විශේෂ කාර්ය බළකාය එම කඳවුර තුළට යැවීමට නියෝගය දී ඇත්තේ එවකට හිටපු ආරක්ෂක ප්‍රධාන නිලධාරියකු බවයි.

විශේෂ කාර්ය බළකාය එම බන්ධනාගාරය තුළ අමු කළුවරේ බන්ධනාගාරය තුළදී ඝාතනය කළේ සිරකරුවන් ද එසේ නැතිනම් සිරකරුවන් ඔවුන් අත තිබූ ගිනිඅවිය සිරකරුවන් විසින් උදුරාගෙන මොවුන්ට වෙඩි තැබීමට උත්සාහ කළාද යන්න සාක්ෂිවලින් මේ වනවිටත් ඔප්පු වී ඇත. එහෙත් එම සිරකරුවන් අතරින් විවිධ අපරාධ චෝදනාවලට ලක්ව සිට ඇතැමුන් මරණීය දණ්ඩනය නියමවී සිටි අය වෙති. ඒ අතරින් කලුතුෂාර, තොටලඟ කපිල, ඩොල්පින් චමින්ද, කිරිබත්ගොඩ සුසන්ත, කොණ්ඩ අමිල, මහරගම චමින්ද, ඇතුළු දරුණු ගනයේ පාතාල අපරාධකරුවන් ගණනාවක් ඇතුළු 20 දෙනකු මිය ගොස් තිබුණි.

තවත් 14 දෙනකු තුවාල ලබා සිටියහ. පැය කිහිපයක් අඳුරේ තිබූ බන්ධනාගාර මෙහෙයුම් අවසන්වන විට බන්ධනාගාර විදුලිය යළි දැල්වී බලනවිට පෙනුනේ බන්ධනාගාරය එකම අමු මිනී සොහොනක් ලෙසය. මරණීය දණ්ඩනය නියමවී සිටි පාතාල අපරාධකරුවන් හෙවත් සිරකරුවන් තැන් තැන්වල මියගොස් සිටියේ නිකම්ම නොවේ මියගොස් සිටි එම පාතාල‍යන් මැරී වැටී සිටි ස්ථානවල ගිනි අවි තිබුණි. ඒවායින් පෙන්නුම් කරනු ලැබුණේ සිර කරුවන් විසින් එම අයකුට වෙඩි තබා ඇති බව පෙන්නුම් කිරීම වෙයි.

එහෙත් සිදුවූ දේ දන්නේ එම සිර මැදිරියේ සිට ප්‍රහාරයෙන් මිය ගිය 20 දෙනා පමණි. කලුතුෂාර, ඩොල්පින් චමින්ද, කිරිබත්ගොඩ සුසන්තලා මිය ගොස් සිටියේ ඔවුන්ගේ ගෝල බාලයන්ද සමඟ එක පොකුරටය. බන්ධනාගාරය තුළ මිය ගොස් සිටි මොවුන්ගේ නම කියා අඬගසනු ඇසූ බව සෙසු සිරකරුවෝ පවසති. කලුතුෂාර කෝ මහ හඬක් නැගිණි. ඒ ස්වල්ප වේලාවකින් එකවරම වෙඩි හඬ නිකුත් විය. ඒ සමඟම සියල්ල අවසන්ය. යළිත් ස්වල්ප වේලාවකින් තවත් කුටියක් වෙත ගොස් යළිත් නමක් කතා කරයි. නැවතත් වෙඩි හඬ. යළිත් නිහඬයි.

ඒ ආකාරයෙන්ම අමු කලුවරේ නම් අඬ ගසමින් ඔවුන් එක එකා ඝාතනය කළ බව සෙසු සිරකරුවෝ පවසති. ඔවුන්ගෙන් එක් සිරකරුවෙක් දුරකතනයක් හරහා ඒ අවස්ථාවේම පිටස්තරයකු අමතා සිදුවන සියල්ල කියමින් එතුළ සිදුවන්නේ යම් පිරිසක් කඩා වැදී සිරකරුවන්ගේ නම් අඬ ගසමින් මරා දමන බව පවසා ඇත. කෙසේ වුවද ඝාතනය වූ සිරකරුවන් හා ඔවුන්ගේ ගෝලයන් පමණක් මෙසේ මරා දැමීමට පෙර එම පාතාල සිරකරුවන්ගේ නම් ලැයිස්තුවක් එක්තරා දැනට පොලීසියේ සිටින එවකට විශේෂ කාර්ය බළකායේ සිටින නිලධාරියකු විසින් ආරක්ෂක අංශ ප්‍රධානියකුට ලබා දුන් බවද හෙළි වී ඇත. ඒ අතර කටුගෙයි තිබූ කඩුවක් සොරකම් කරවාගත් පුද්ගලයකුද එම සිර මැදිරිය තුළ සිට ඇති බවත් ඔහු ඝාතනය කිරීම එම ඉලක්කයේ ප්‍රධාන අරමුණක් බවටත් වාර්තා වී තිබිණි.

මෙම සැලසුම සකස් කෙරුණේ කොහේද? අනෙක් අතින් පොලිසිය එම ස්ථානයට ගොස් ආපසු එන විට සිරකරුවන් ඔවුන්ට ප්‍රහාරය එල්ල කළ බවත් වාර්තා වී තිබිණි. එහෙත් මෙතෙක් කිසිම ආකාරයකින් පාතාල අපරාධකාර සිරකරුවන් සතුව ආයුද තිබූ බවට සාක්ෂි හෝ කරුණු හෙළිවී නැත. මෙම ප්‍රහාරයෙන් පසු පොලිස් පරීක්ෂණ ආරම්භ විය. එම පරීක්ෂණ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා යටතේ සිදුවිය. අමු අමුවේ විසි දෙනකුට වැඩි පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධියට පරීක්ෂණ මොනතරම් පුළුල් ලෙස සිදු විය යුතු වුවත් ඉතාමත් මන්දගාමී පරීක්ෂණවලින් ප්‍රදර්ශනය වූයේ එම පරීක්ෂණ කිසිදු උනන්දුවකින් සිදු නොවන බවයි. විසිදෙනෙකුගේ මරණ පරීක්ෂණ සියයකට වැඩි පිරිසකගේ ප්‍රකාශ සටහන් කර ගෙන එහි මූලික පියවර වුවත් එම අපරාධයට අදාළ කිසිදු තොරතුරක් හරිහැටි ඔප්පු කර ගැනීමට තරම් පොලිසිය උත්සාහ කර තිබුණේ නැත.

මෙම වකවානුව තුළ සිදුවූ මෙවැනි අභිරහස් ඝාතන කිහිපයක් සිදුවිය. තාජුඩීන්, ලසන්ත ඝාතන මෙම වැලිකඩ බන්ධනාගාර ප්‍රහාරය සහ එක්නැලිගොඩ සිද්ධිය එසේ අභිරහස් සිද්ධීන් ගොන්නට එක්විය. ඒ සෑම එකකම පරීක්ෂණ මෙහෙයවීම සිදුවූයේ එවකට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා යටතේ ය. අද වන විට එම සෑම සිද්ධියක් පිළිබඳවම යළි පරීක්ෂණ ආරම්භ වෙද්දී විශේෂයෙන් අනුර සේනානායක මහතාට එරෙහිව පරීක්ෂණද, ආරම්භ වෙයි. ඔහු අත්අඩංගුවට ගැනීමේ ප්‍රකාශ සටහන් කර ගැනීම තුළින්ම එම පරීක්ෂණ ආරම්භ වෙයි. තාජුඩීන්ගේ සිද්ධියේදී සිදු වූයේ එවකට නාරාහේන්පිට පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපති වරයකු බැවින් ඔවුන් එම කර්තව්‍යයේ පැවරුන සියලු තොරතුරු හෙළි කළහ. ඒ අනුව අනුර සේනානායක මහතාටද වැරදිනි. යම් නිලධාරියකුට එවැනි පරික්ෂණ වෙනත් අතකට හැරවීමට හෝ වෙනත් උපදෙසක් ක්‍රියාත්මක කිරීමට සිදු වෙන්නේ ඉහළින් එන උපදෙස් නිසාය. එම උපදෙස් ක්‍රියාත්මක නොකළහොත් ඔහුට එදා වරදින්නේය. ක්‍රියාත්මක කළහොත් පසුව වරදින්නේය. මෙවැනි උපදෙස් ක්‍රියාත්මක කිරීමට ගිය පොලිසියේ නිලධාරීන්කොයි තරම් නම් අද නීතියට හසුවී සිරකූඩුවල ගත කරන්නේද? එහෙත් උපදෙස් දුන් කිසිවකුත් අද ඔවුන්ට පිහිටවීමට එනවාද? මේ ආකාරයෙන් දේශපාලන උපදෙස් ක්‍රියාත්මක කිරීමට සිදුවූ ‍ෙපාලිස් නිලධාරීන් විශාල පිරිසක් කාලයක් තිස්සේ සිර ගෙවල්වල ලගිති.

වැලිකඩ බන්ධනාගාර අපරාධය සිදුවූයේ කෙසේද යන්න අද වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්හෙළිකරගෙන අවසන්ය. එය සිදුවී ඇත්තේ කෙටියෙන් කිවහොත් එම පාතාල සිරකරුවන් සියල්ල ඝාතනය කිරීමේ මෙහෙයුමක් පැවැති නිසාය. එය ක්‍රියාත්මක විය. උපදෙස් දුන් අය කළ අය කවුදැයි දනිති. එහෙත් අත්අඩංගුවට ගැනීම් තවමත් ප්‍රමාද සිද්ධිය. ඒ ආකාරයෙන්ම දැනගත්තද එය ඒ ලෙසටම ඔප්පු කර ගැනීමට ඇති දුෂ්කරතාවය නිසාය. ‍එ‍ෙහත් අද හෙට මේ පරීක්ෂණ හරහා යම් පැහැදිලි යමක් සිදුවී උපවාස කරමින් මීට සම්බන්ධ අපරාධකරුවන් අත් අඩංගුවට ගන්නැයි සිරකරුවන් කරන ඉල්ලීමට හොඳ පිළිතුරක් ලැබෙනු ඇත.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...