විධායකය අහෝසි කරන පොරොන්දුව පක්ෂ දෙකටම අමතක වෙලා | දිනමිණ

විධායකය අහෝසි කරන පොරොන්දුව පක්ෂ දෙකටම අමතක වෙලා

සාධාරණ සමාජයක් උදෙසා ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු
මහාචාර්ය සරත් විජේසුරිය

සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයෙන් ඉවත් වු බවට පළවු පුවත, ආණ්ඩුවේ වසර තුනක කාලය , ආණ්ඩුව පිළිබඳ මතුව ඇති විවේචන, යහපාලනයේ ඉදිරි ගමන ආදිය ගැන අදහස් දක්වමින් සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය එහා ඉවුරට එක් වේ.

පසුගියදා බොහෝ සමාජ මාධ්‍ය වාර්තා කළේ ඔබ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයෙන් ඉවත් වුණා කියලයි. ඇත්ත ද ඒ කතාව?

සමාජ මාධ්‍ය ජාලා ඒ අයට හිතුණ හිතුණ දෑ වාර්තා කරනවා. මා ගැන වාර්තා කරලා තියෙන කාරණා සත්‍යතාවයක් නෑ. මේ ගැන තවත් මට කියන්න දෙයක් නෑ. ඇතැම් කණ්ඩායම්වලට අවශ්‍ය වෙලා තියෙනවා සිවිල් සමාජය දුර්වල කරන්න. ඒ නිසා අපිට ඔය කියන සමාජ මාධ්‍ය කිව්වා, ඩොලර් කාක්කෝ, රාජ්‍ය නොවන සංවිධාන කියලා. අපි බෙදුම්වාදයට උඩගෙඩි දෙන අය කිව්වා. හැබැයි ඒ කිසිවක් ඒ අයට සනාථ කරන්න බැරි වුණා. මේ කාරණා ජනතාව පිළිගන්නේ නෑ. මේවා කරන්නේ මහින්ද රාජපක්ෂ වටේ ඉන්න වහල්ලු වගේ පිරිසක්. අපි එක දෙයක් කියනවා, සෝභිත හාමුදුරුවෝ දිවි හිමියෙන් කැපවුණ කාරණා වෙනුවෙන් තවදුරටත් අපි ඇප කැප වෙනවා.

වත්මන් ආණ්ඩුව පසු කළ වසර තුනක කාලය තුළ අත්කර ගෙන ඇති ප්‍රගතිය ගැන හා ආණ්ඩුවේ ක්‍රියා කලාපය ගැන සාධාරණ සමාජයක් වෙනුවෙන් කැපවුණ ඔබලා දරන මතය කවරක් ද?

ජනවාරි 8 වෙනසත් සමඟ මේ රටේ සිවිල් පුරවැසියන් රාජ්‍ය පාලනයේ වෙනසක් බලාපොරොත්තු වුණේ දේශපාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කරමින්. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිදු වුණේ ඒ අනුව. ඒ තුළින් මේ රට නීතිය මත පාලනය කිරීමට අවශ්‍ය යම් යම් වැදගත් සිදුවීම් සිදුවණා. අනෙක් පැත්තෙන් ජනවාරි 8 ජයග්‍රහණයේ ඉලක්කය වුණේ නීතිගරුක පුරවැසියන්ට තිබුණ මර බිය ඉවත් කිරීමයි. කොටින්ම කියනවා නම් එදා ජනතාවට නිදහස් අදහස් පළ කිරීමේ අවස්ථාවක් තිබුණේ නෑ. ඒ භීෂණය අද තුරන් වෙලා ගිහින්.

මේ රටේ සිවිල් සමාජ ක්‍රියාධරයන් හා ශිෂ්‍ය ක්‍රියාධරයන් මෙන්ම වෘත්තීයවේදීන් ආණ්ඩුවට ප්‍රබල ලෙස බලපෑම් කළා. ඒ ඔබ කියන මර්දනය නොමැති නිසා ද?

අද ඒ කාරණය හොඳටම පේනවා. ඕනෑම වෙලාවක මහජනතාව මහා පාරේ විරෝධතා කරනවා. සමහර විරෝධතා සීමාව ඉක්මවා ගියපු අවස්ථාත් තියෙනවා. අනෙක් පැත්තෙන් මාධ්‍ය ආයතන හැසිරෙන ආකාරයෙන් විධායක ජනාධිපතිවරයා මාධ්‍ය හැසිරවීමට මැදිහත් වෙලා නෑ කියලා පෙනී යනවා . අද මාධ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක් වත්මන් ආණ්ඩුව විවේචනය කරමින්, ජනාධිපතිවරයාට, අගමැතිවරයාට විරුද්ධ බලවේග එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා. මේ ඒ දේ ලංකා ඉතිහාසයේ දකින්න ලැබුණ පළවෙනි අවස්ථාව.

මීට කලින් මාධ්‍ය ආණ්ඩුවලට හොඳටම හීලෑ වුණ ආකාරයක් තමයි පෙනෙන්න තිබුණේ. මොන තරම් විවේචනවලට, දෝෂ දර්ශනයන්ට ආණ්ඩුව ලක් වුණත්, මේ වෙනස ඇති වුණේ ජනවාරි 8වැනිදා. මේ තත්ත්වය ඇති කරන්න මේ රටේ ජනමාධ්‍යවේදීන් විශාල කැප කිරීමක් කළා. අද මහජනතාව යම්කිසි නිදහසක් භුක්ති විඳිනවා නම්, ඒ සඳහා ජනමාධ්‍යවේදීන්, සිවිල් පුරවැසියෝ, කලාකරුවෝ නොමසුරු දායකත්වය දක්වලා තියෙනවා.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත වුණා.ඇතැමෙක් චෝදනා කරන්නේ ඒවා තවත් හුදු ස්වාධීන කොමිෂන් සභා පමණක් බවයි?

අද අපේ රටේ අධිකරණය ස්වාධීන වෙලා තියෙනවා. ඒ ආයතනයට පවතින රජය බලපෑමක් කරන්නේ නෑ. ඒ සඳහා ගන්න පුළුවන් හොඳම කාරණය තමයි වත්මන් ජනාධිපතිවරයා තම ධුර කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවා. ශ්‍රේෂ්ඨාධිකරණ මතය වුණේ වසර පහක් කියලයි. මහින්ද රාජපක්ෂ පාලනය තුළ මෙවැනි දෙයක් කවදාවත් අපට බලාපොරොත්තු වෙන්න බැහැ.

වත්මන් ජනපතිවරයාට ලබා දුන් මතයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ කාර්යය කිරීමට උපරිම නිදහසක් ඇති බව පෙන්නුම් කරනවා. පසුගිය වසර තුන දිහා ආපහු හැරිල බලනකොට මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් යම් යම් සාධනීය පියවරවල් අරගෙන තියෙනවා. අභාග්‍ය සම්පන්න කාරණය තමයි මේ කරපු දේවල් ගැන ජනතාව තුළ අවබෝධයක් ගොඩනඟන්න වත්මන් ආණ්ඩුවට හැකියාවක් නෑ. ඒ නිසා තමයි විරුද්ධ දේශපාලන මතධාරීන් මේ රටේ තියෙන නිදහස, ස්වාධීන ක්‍රමවේදයට පහර දෙන්නෙ.

අධිකරණය ස්වාධීන නැහැ කියලා බොහෝ දෙනෙක් චෝදනා කරනවා. ඒ ගැන ඔබේ අදහස මොකක් ද?

අධිකරණයේ සමහර කටයුතු සිදුවන ආකාරය පිළිබඳ නීතිගරුක පුරවැසියන්ගේ ගෞරවයක් නෑ. ඒකට හේතුව තමයි, සමහර කටයුතුවලදී බලය හා ධනය තියෙන අයට මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ එක විදිහකට, ඒ වගේම කිසිම බලයක් නොමැති අයට නීතිය ක්‍රියාත්මක කරන්නේ තව විදිහකට. මේ අවුරුදු තුන තුළම එහෙම දේවල් දකින්න ලැබෙනවා. මෙන්න මේ දේවල් යහපාලනයක් ඇති කිරීමට ප්‍රතිඥා දුන්නු ආණ්ඩුවකට ගැලපෙන්නේ නෑ. අපි ආණ්ඩුව පත්වුණාට පස්සෙ දිගින් දිගටම කිව්වේ, අධිකරණය පිළිබඳ සොයා බලන්න කොමිසමක් පත් කරන්න කියලයි. අද වෙනතුරුත් ඒක ඉටු වුණේ නෑ. දීර්ඝ කාලයක් අපේ රටේ අධිකරණ දේශපාලනීකරණය වෙලා තිබුණා. ඒවා නිවැරැදි කර ගැනීම තමයි යහපාලනය ප්‍රතිෂ්ඨාපනය කියලා කියන්නේ.

රජය කරපු වැඩ යටපත් කරලා ආණ්ඩුවට අයහපත් සමාජ මතයක් ගොඩනඟන්න විරුද්ධ දේශපාලන ක්‍රියාකාරිකයන් හා දේශපාලනඥයින් ක්‍රියා කරනවා කියලද ඔබ කියන්නේ?

ඊයෙ පෙරේදා ජනාධිපතිවරයා මේ රටේ විශාලතම වාරි ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කළා. හැබැයි ඒ සතිය පුරා පළ වූ ලංකාවේ පුවත්පත් අරන් බැලුවොත්, පුවත්පත් දෙකක විතරයි මොරගහකන්ද ජලාශය ගැන කතු වැකි ලියවෙලා තිබුණේ. ආණ්ඩුවට සම්බන්ධතා තියෙන මාධ්‍යවත් මේ ගැන නියම අවධානයක් යොමු කළේ නෑ.

මේ කාරණයෙන් පැහැදිලිව පෙනෙන දේ තමයි ආණ්ඩුවට තමන් කරපු දේවල් ජනතාව අතරට අරන් යන්න ක්‍රමවේදයක් නෑ. ඇත්තටම ආණ්ඩුව මේ කාරණයේ දී දුර්වලයි. මෙහෙම වෙත්දී, අනෙක් පැත්තෙන් ආණ්ඩුවට එරෙහි මාධ්‍ය ආයතන ආණ්ඩුව දෝෂදර්ශනයට ලක් කරන්න පුළුවන් කාරණා අතිශෝක්තියෙන් වාර්තා කරනවා. මේක ආණ්ඩුවේ දුර්වලකමක් ලෙස මම දකිනවා. රාජ්‍ය පාලනය කරනකොට ආණ්ඩුව තම ගමන වෙනුවෙන් නිසි මාවත සකස් කරගන්න ඕන. එහෙම නොවුණාම තමයි විරුද්ධ දේශපාලන ක්‍රියාකාරිකයින් අනවශ්‍ය මතයක් ගොඩනඟන්නෙ.

පසුගිය රජයට දූෂණ චෝදනා එල්ල කරලා, ගොඩනඟපු ආණ්ඩුව මේ රටේ භාණ්ඩාගාරය හිස් කළා කියලත් බොහෝ දෙනෙක් චෝදනා කරනවා. ඒ ගැන ඔබේ මතය මොකක් ද?

දූෂණ, වංචා, අක්‍රමිකතා පිටු දකින්න කියලා දින 100යේ වැඩපිළිවෙළකට ගියපු ආණ්ඩුවට බැඳුම්කර වංචා පිළිබඳ චෝදනා එල්ල වුණා. ඒ නිසා පසුගිය රජයේ ගිටපු අන්ත දූෂිතයන්ට පුළුවන් වුණා, මේ රජයට දූෂණ චෝදනා එල්ල කරන්න. අද මේ ආණ්ඩුවට දූෂණය ගැන අපවාද කරන්නේ ඉතාමත් දූෂණයට ලක් වුණ පුද්ගලයෝ. අද කේශර සිංහයෝ වගේ ආණ්ඩුවට එරෙහිව කෑ ගහන්නේ, අධිකරණවල නඩු පැවරිලා තියෙන අය. ඒ අයට එහෙම කෑ ගහන්න පුළුවන් වෙන විදිහට මේ ආණ්ඩුව කටයුතු කළේ ඇයි. ජනාධිපතිවරයා නිතරම කියනවා, තරාතිරම නොබලා වැරැදිකරුවන්ට දඬුවම් කරනවා කියලා. හැබැයි ඒක යථාර්ථයක් කරන්න ජනාධිපතිවරයා දැනගන්න ඕන. සමාජයට එහෙම නොදැනීම මේ ආණ්ඩුවේ වරදක්

එදා යහපාලන ආණ්ඩුව බිහි කරන්න මේ රටේ මහජනතාවට සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ එහෙමත් නැත්නම්, සෝභිත හාමුදුරුවන්ගේ බලපෑම තිබුණා. ආණ්ඩුව උන්වහන්සේගේ බලාපොරොත්තු ඉෂ්ට කරයි ද?

එදා සෝභිත ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන ඉල්ලීම වුණේ, විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න ඕන කියන එකයි. ඊට අනුව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඕන කියලා මතයක් ගොඩනැඟුණා. එදා ශ්‍රීලනිපය මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එකඟ වෙලා හිටියා. ඒත් අද පේනවා ශ්‍රීලනිපය ඒකට විරුද්ධ වෙලා ඉන්නවා කියලා. ඉතිහාසය පුරාම විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න ඕන කියලා හඬ නැඟුවේ ශ්‍රීලනිපය. ඒ පක්ෂයෙන් විධායක ජනාධිපතිවරු දෙන්නෙක් පත් වුණේ මේක අහෝසි කරනවා කියලයි.

78 ව්‍යවස්ථාවෙන් මේ රට නීතිය මත පාලනය වීමට තිබූ අවස්ථාව අහිමි වෙලා ගියා කියලා කිව්වේ ශ්‍රීලනිපය. ඒත් අද ශ්‍රීලනිපය හැසිරීම කණගාටුදායකයි. අනෙක් පැත්තෙන් එජාපය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ගෙනාපු අලුත් ව්‍යවස්ථාවක් යන යෝජනාව ගිනි තිබ්බා. ඒත් අද ඔවුන් ගෙනාපු 78 ව්‍යවස්ථාවට විරුද්ධව ඉන්නවා. ඒත් ඔවුන්ගේ මන්දගාමී උත්සාහයක් තමයි අලුත් ව්‍යවස්ථාවකට තියෙන්නේ. එතකොට සෝභිත හාමුදුරුවන්ට හා සිවිල් සමාජයට දුන්නු ප්‍රතිඥාව අතහැරලා දාපු තත්ත්වයක් මේ පක්ෂ දෙකෙන්ම පෙන්නුම් කරනවා. මෙන්න මේවා තමයි පසුගිය වසර තුන තුළ ආණ්ඩුවට විවේචනාත්මකව ඉදිරිපත් කරන්න තියෙන්නේ.

වත්මන් ජනපතිවරයාට තවත් වසර දෙකක ධුර කාලයක් තියෙනවා. ඔහු වත්මන් ශ්‍රීලනිප සභාපතිවරයා. ඒ නිසා සෝභිත හාමුදුරුවන් ඇතුළු සිවිල් සමාජයේ ඉල්ලීම් ඉටු කරන්න පෙළඹෙයි කියලා විශ්වාස කරන්න බැරිද?

ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයාට ඉදිරි වසර දෙක තුළ ජනවාරි 8 ජනතාවට දුන්න ප්‍රතිඥා ඉටු කරන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයක් අපට තියෙනවා. කෙනෙකුට තර්ක කරන්න පුළුවන්, වසර තුනක් තුළ කරන්න බැරි වුණ දේවල් ඉදිරි වසර දෙකකින් කොහොම ද කරන්නේ කියලා. අපි කියනවා කරන්න පුළුවන් කියලා. ගත වු වසර තුන ගත්තම, ඒ වසර තුන සම්පූර්ණයෙන්ම යහපාලන ආණ්ඩුව විනාශ කිරීමේ ක්‍රියාවලියක් මහින්ද රාජපක්ෂ මහත්තයා කළා. එතුමා දන්නවා, නැවත වරක් මේ රට පාලනය කරන්න තමන්ට බලයක් නොලැබෙන බව. ඒ වගේම එතුමා යම්කිසි ආකාරයකට තමන්ගේ පරපුරම දේශපාලනය කළ ශ්‍රීලනිපය විනාශ කර දැමීමේ අවලස්සන ක්‍රියාවලියකට නායකත්වය දෙනවා.

ශ්‍රීලනිපයේ සභාපති ජනපතිවරයා. පක්ෂය සමඟි කරන්න බැරි ජනපතිවරයා රටේ ජනතාව සමගියෙන් තියෙන්න කොහොම ද කියලත් සමහරු අහනවා?

මහින්ද රාජපක්ෂගේ ඒකායන අරමුණ ශ්‍රීලනිපය දෙකඩ කරලා ජනාධිපතිවරයාව දුර්වල කිරීමයි. ජනාධිපතිවරයා මුලදිම පොරොන්දු වුණා ජනපති වූ පසු රනිල් වික්‍රමසිංහ මහත්තයාට අගමැතිකම දෙනවා කියලා. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් තමයි තිබුණේ. ඒ නිසා එතුමාට සිද්ධ වුණා ශ්‍රීලනිපයේ සහය අරගෙන දින සියයේ වැඩපිළිවෙළ අරන් යන්න. එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා මැතිවරණයෙන් පස්සේ ජාතික ආණ්ඩුවක් පිහිටුවනවා කියලා.

මැතිවරණය වෙලාවෙත් එජාපයට ගන්න පුළුවන් වුණේ මන්ත්‍රී ආසන 105යි. එතන්දී සම්මුතිවාදී ආණ්ඩුව ගොඩනඟන්න ශ්‍රීනිපයේ සහය ගන්න වුණා. මේ හැම දෙයක්ම බලාගෙන හිටපු මහින්ද රාජපක්ෂ , මේ ජනාධිපතිවරයා යම්කිසි ඉදිරි ගමනක් සැලැසුම් කරනවා කියලා දකිනවා.

ඒ ගමන වළක්වන්න මහින්ද රාජපක්ෂ තමන්ගේ මුළු ශක්තියම වැය කරලා වැඩ කළා. මහින්ද රාජපක්ෂ ළඟ ඉන්නෙ ශ්‍රීලනිප පාක්ෂිකයෝ නෙවෙයි. ශ්‍රීලනිපයට එකතු වුණ වෙනත් කණ්ඩායම් හා පක්ෂවල අය තමයි එතන ඉන්නේ. ඒ අය අන්තවාදී, ආගම්වාදී පුද්ගලයොයි , නායකයොයි. මේ අය කරන දේවල්වලට එරෙහිව පක්ෂයේ විනය ආරක්ෂා කරන්න ජනාධිපතිවරයා පියවර ගත්තේ නෑ. ඒ නිසා ජනාධිපතිවරයා බිත්තියටම හේත්තු වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයාට අවශ්‍ය වෙලා තියෙන්නේ, තමන්ගේ පවුලේ උදවිය ආරක්ෂා කරගන්න ක්‍රමයක් හොයන්න. නීතිය ක්‍රියාත්මක වන මොහොතකම තමන්ගේ සියලු ඥාති හිතෛෂීන් සිරගත වෙනවා කියලා මහින්ද මහත්තයා දන්නවා.

ඒ තත්ත්වය පාලනය කරගැනීමට යම් බල අරගලයක් නිර්මාණය කරගන්න ඕන. ඒ කුමන්ත්‍රණය තමයි මහින්ද රාජපක්ෂ කරන්නෙ. ඒ නිසා මේ ප්‍රධාන පක්ෂ දෙක නැවත වරක් රාජපක්ෂවරුන්ට බලය නොදෙන්න කටයුතු කරන්න ඕන. එහෙම නොවුණොත් මේ රට තවදුරටත් අදුරෙන් අදුරට තල්ලු වෙනවා.

ජනාධිපතිවරයාට එල්ල වෙන චෝදනාවක් තමයි, පරාජිත දේශපාලනඥයින්, ජනතාව ප්‍රතික්ෂේප කරපු පුද්ගලයන් නැවත වරක් පාර්ලිමේන්තුවට ගැනීම. ඒ ගැන ඔබේ මතය මොකක් ද?

මහජනතාව ප්‍රතික්ෂේප කරපු අය පාර්ලිමේන්තුවට යළිත් ගැනීමට දැඩි සේ විරුද්ධ වුණේ සෝභිත හාමුදුරුවෝ. එදා ස්වාමීන් වහන්සේ කිව්වා, විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන නරක දේවල් ආයෙත් පේන්න ගත්තා කියලා. ඒවා නැති කරන්න කියලා ගෙනාපු කෙනාම ඒවා කරනවා කියලා එදා උන් වහන්සේ කිව්වා. ජනාධිපතිවරයා මේකට කිව්වේ ආණ්ඩුව කරන්න විශ්වාසවන්ත පුද්ගලයෝ අවශ්‍යයි කියලයි.

හැබැයි මෙතැනදී දූෂිතයන්ට දඬුවම් දීම වෙනුවෙන් විශාල තාප්පයක් ඉදිවුණා. දූෂණ, වංචා, අපරාධ පිළිබඳ විමර්ශනය කරනකොට ඒවාට සම්බන්ධ පුද්ගලයෝ මතු වෙන්නේ ශ්‍රීලනිපයෙන්. දූෂණ චෝදනා එල්ල වුණ බොහෝමයක් ශ්‍රීලනිපයේ අය. එතකොට ජනාධිපතිවරයාට පෙනුණේ ශ්‍රීලනිපයේ අයට විතරක් නීතිය ක්‍රියාත්මක කරනවා කියලයි. අවුරුදු 20ක් රට පාලනය කළේ ශ්‍රීලනිපයේ අය. ඒ අය තමයි මේ වංචා, දූෂණ, අපරාධවලට සම්බන්ධ. ඒ කාරණය මේ ජනාධිපතිවරයාට අමතක වෙලා.

අද මේ රටේ ප්‍රගතිශීලී අදහස් තියෙන අයට යන්න තැනක් නෑ. රටේ දේශපාලනයේ ව්‍යාකූලභාවයක් ඇති බවයි පෙනෙන්නේ?

දීර්ඝකාලයක් තිස්සේ කාඩා වැටුණු දේශපාලන සංස්කෘතියක් තමයි අපට තියෙන්නේ. අපි හොඳටම දන්නවා මහජනතාව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී තෝරා පත්කරලා එවලා තියෙන්නේ දූෂිතයෝ. මේ කාරණාවලට මහජනතාව වගකියන්න ඕන. පසුගිය මැතිවරණ ක්‍රමයම දූෂිතයි. හැබැයි අලුත් මැතිවරණ ක්‍රමය නිසා ඒ තත්ත්වය දකින්න ලැබෙන එකක් නෑ.

දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප - සිරිපාල හල්වල 

නව අදහස දක්වන්න