දරුවන් මතින් බේරාගනිමු | දිනමිණ

දරුවන් මතින් බේරාගනිමු

අද වනවිට අප රටේ දුම්වැටි භාවිතය ඉතාමත් සුළු ප්‍රමාණයකින් අඩුවී ඇතත් මද්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතයේ ප්‍රතිශතය දිනෙන් දින ඉහළ යන බව සමීක්ෂණ වාර්තා පෙන්වා දී ඇත. දුම්වැටි හා මත්ද්‍රව්‍ය ගැන කතා කිරීමේදී හා ලිවීමේදී ඉතාමත් ප්‍රවේසම් විය යුතුය. මක්නිසාදයත් මත්ද්‍රව්‍ය හා දුම්වැටි හඳුන්වාදීමෙන් පාසල් වයසේ ළමයින්ට මේවා සම්බන්ධයෙන් කුතුහලයක් ඇතිවිය හැකි බැවින් එයින් සිදුවන්නේ දරුවන් ඒවාට ඇබ්බැහිවීමයි.

දුම්වැටි, මද්‍යසාර හා මත්ද්‍රව්‍ය පරිහරණය කිරීම පිළිබඳව ඇති අපේක්ෂාවන් වෙනස් කිරීමෙන් ළමා පරපුර එයින් මුදාගත හැකිය. ශ්‍රී ලංකා අමද්‍යප මහ සභාවේ 104 වෙනි වාර්ෂික වාර්තාවේ පෙන්වා දී ඇත්තේ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතා කරන්නන්ගෙන් 15.7%ක් වයස අවුරුදු 13 – 15ත් අතර පිරිමි දරුවන් හා 4.1%ක් ගැහැනු ළමයින් බවයි. එමෙන්ම පහත සඳහන් හේතූන් මතද දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතයට ළමයින් පෙලඹෙන බව පෙන්වාදිය හැක.

1. අභියෝගාත්මක අත්දැකීමක් ලබාගැනීම

2. මිතුරු බලපෑම්

3. සමාජයේ පවතින ආකල්ප

4. මාධ්‍ය මඟින් පෙලඹවීම

5. පහසුවෙන් ලබාගැනීමට හැකිවීම

මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය තුළින් දුම්වැටි හා නොයෙකුත් මත්ද්‍රව්‍ය රජයේ ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධි මෙන්ම රූපවාහිනී නාට්‍ය හා චිත්‍රපටවලින් දුම්වැටි හා මද්‍යසාර භාවිතා කිරීමේ දර්ශන දැකිය හැක.

මෙම මාධ්‍ය ප්‍රචාරය තුළින් මත්ද්‍රව්‍ය සමාජගතවීමක් මෙන්ම ළමයින් දුම්වැටි හා මද්‍යසාර කෙරෙහි යම් අපේක්ෂාවක් ඇතිකර ගැනීමේ ප්‍රවණතාවයක් ඇති වෙයි.

ඉතාමත් කනගාටුදායක තත්ත්වය වන්නේ මත්ද්‍රව්‍ය පාසල් ළමුන් ඉලක්ක කරගෙන පාසල් ආශ්‍රිතව ව්‍යාප්ත කිරීමේ ප්‍රයත්නයක සමහර මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් යෙදී සිටීමයි. එයින් දරුවන් මුදාගැනීමට නම් දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවන භයානක ප්‍රතිඵල පිළිබඳව සියලුම පාසල් ළමුන් දැනුවත් කළ යුතුය.

පිළිකා, පෙණහලු රෝග, හදවත් රෝග ඇතුළු නිදන්ගත රෝග රැසක් ඇතිවීමට ප්‍රධාන හේතුව දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතය බව ඔවුන් අතර තහවුරු කළ යුතුය. එසේ නැතහොත් මෙයින් පීඩාවිඳින ජනතාව වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර කිරීම, ‍ඒ සඳහා වැඩමුළු පැවැත්වීම හා සමාජ හානිය වෙනුවෙන් අතිවිශාල මුදලක් වැයකිරීමට රජයට ද සිදුවේ.

මව්පියන්ගේ මූලික වගකීම විය යුත්තේ දුව හෝ පුතා ගැන වඩාත් අවධානයෙන් සිටීමයි. මීට පෙර දැක්වූ අවධානයට වඩා වැඩි අවධානයකින්, දරුවන් යන එන තැන් ඇසුරු කරන මිතුරන්, මෙන්ම ළමයාගේ අධ්‍යාපන කටයුතු සහ ළමයාගේ වෙනස්වීම් පිළිබඳව ද දැඩි අවධානයෙන් සිටීම ඉතා වැදගත්ය. පෞද්ගලික අධ්‍යාපන පන්තිවලට යන දරුවන් කෙරෙහි ද දැඩි අවධානයෙන් සිටිය යුතුය.

ළමයින් කෙරෙහි අවධානය දැක්වීමේදී ක්‍රමවත්ව, සුපරීක්ෂාකාරීව රිදවීමක් නොවන අයුරින් කිරීමට මව්පියන් වගබලාගත යුතු ය.

දරුවකු පාසල තුළදී හෝ පන්ති කාමරයේදී හැසිරීම් රටාවේ යම් වෙනසක් ගුරුතුමා හෝ ගුරුතුමිය දකින්නේ නම් ඒ බව දරුවාගේ මව්පියන්ට පෞද්ගලිකව දැන්වීම වඩාත් සුදුසු වන අතර, වෙනදාටත් වඩා ගුරුවරුන් පාසල් දරුවන් කෙරෙහි අවධානයෙන් සිටිය යුතු කාලය එළඹී ඇතැයි මා අදහස් කරමි.

බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි සියලු ආගම්වල දහම් පාසල් අධ්‍යාපනයෙන් ළමයින්ට දහම් දැනුම මෙන්ම සාරධර්ම පිරි යහපත් සමාජයක් කරා යාමට මාර්ගය පෙන්වා දෙන බැවින් කුඩා කාලයේ සිටම දහම් පාසල් අධ්‍යාපනය ලබාදිය යුතුය. මෙයද දුම්වැටි හා මද්‍යසාර භාවිතයෙන් වැළැක්වීමට යම් පිටිවහලක් විය හැකිය.

මේ වනවිටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මත් නිවාරණ ජාතික වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කිරීම ප්‍රශංසනීය කටයුත්තකි.

දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය මෙරටට ඒම වැළැක්වීමට දැඩි පියවර ගත යුතුය.

මත්ද්‍රව්‍ය මෙරටට ඒම වැළැක්වීම අසීරු කටයුත්තක් වුවත්, රජයේ ආරක්ෂක අංශ දුම්වැටි හා මද්‍යසාර ඇතුළු මත්ද්‍රව්‍ය රට තුළ ඒම වැළැක්වීමට ගන්නා උත්සාහය ඉතාමත් අගය කළ යුතු මෙන්ම රට තුළ නිෂ්පාදනය කර විවිධ ප්‍රදේශ තුළ ව්‍යාප්ත වී යන විෂ මත්පැන් වර්ග විනාශ කිරීම් හා ඒවා අත්අඩංගුවට ගැනීම ද පැසසිය යුතුයි.

මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතය ව්‍යාප්ත කිරීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කරයි. මෙම උපක්‍රම ඍජු හා වක්‍රව සිදුකරන උපක්‍රම ලෙස පෙන්වාදිය හැක. මෙහි ප්‍රධාන අරමුණ වනුයේ කුඩා දරුවන් අනාගත පාරිභෝගිකයින් බවට පත්කර ගැනීමයි. එබැවින් අනාගතයේදී රට බාරගැනීමට සිටින බාල පරපුර මද්‍යසාර දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදාගැනීමට කටයුතු කිරීම සියලු රටවැසියන්ගේ වගකීමයි.

 

 

ඇස්. ටී. ජිනදාස
ශ්‍රී ලංකා අමද්‍යප මහ සභාවේ සාමාජික
විශ්‍රාමලත් බන්ධනාගාර නිලධාරී

නව අදහස දක්වන්න