ගොරවන්නේ නැතිව වහින වලාකුළක් වෙන්න | දිනමිණ

ගොරවන්නේ නැතිව වහින වලාකුළක් වෙන්න

 

ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස නාහිමි කතරගම අභිනවාරාමාධිපති,
රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක

බුදුන් වහන්සේගේ දේශනාවට අනුව ජීවිතය සාර්ථක කර ගැනීමට පිළිපැදිය යුතු කාරණා මොනවාද?

සාරඤ සාරතෝ කත්වා

අසාරංච අසාරතෝ

තේ සාරං අධි ගච්ඡන්ති

සම්මා සම්කප්ප ගෝචරා

යනුවෙන් බුදුන් වහන්සේ ධම්මපදයේ දේශනා කර තිබෙන්නේ සරු දේ සරු දේ ලෙසටත්, නිසරු දේ නිසරු දේ ලෙසටත් කල්පනා කරලා තීන්දු ගෙන කටයුතු කරන අය එලොව මෙලොව දෙකෙහිම ජයගන්නා බවයි.

බෞද්ධයන් විදිහට අතීතයේ සිදු වූ විවිධ දුබලතා සිහිපත් කරමින් ඒවා නිවැරැදි කර ගැනීම බුදුන් වහන්සේ අනුමත කරළා. එය තවදුරටත් විග්‍රහ කර ගෙන යද්දී කියැවෙන්නේ ගිහි ජීවිතය උත්සාහ සම්පන්නව (උට්ඨාන සම්පඤ්ඤා) සාර්ථක කරගත හැකි බවයි. සිඟාලෝවාද සූත්‍රයේ අධි සීතං, අධි උත්තනං, අධි සාය මිධංසුනෝ යනුවෙන් ද දේශනාවක් තියෙනවා. එහි අදහස වන්නේ දැන් සීතලයි, දැන් ඌෂ්ණයි, දැන් අව්ව වැඩියි, දැන් වහින්නයි යන්නේ කියලා වැඩ නොකර, වැඩ කල් දමමින් පසුවීම එතරම් සුදුසු නොවන බවයි. තමාගේ ජීවිත දියුණුව සේම රටේ දියුණුව සඳහාත් කම්මැලිකමින් තොරව උත්සාහයෙන් ජීවත්විය යුතු බව සිඟාලෝවාද සූත්‍රයේ දේශනා කර තිබෙනවා.

සමාජයේ ජීවත් විය යුතු ආකාරය බුදුන් වහන්සේ පෙන්වා දී ඇත්තේ කෙසේද?

මනුස්ස ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා සමාජයේ ජීවත්විය යුතු ආකාරයත්, ඒ සඳහා ඇසුරු කළ යුතු සමාජයත් සහ ප්‍රතික්ෂේප කළ යුතු සමාජයත් පිළිබඳ බුදුන්වහන්සේ මෙසේ දක්වා සිටිනවා.

එනම්, අපාය සහාය මිත්‍රයෝ සහ කල්‍යාණ මිත්‍රයෝ යන අයයි. අප මෙතෙක් කල් නොමඟ ගිය අය ඇසුරු කළා නම්, ඒ පිළිබඳ සිතා බලා තමන්ගේ අගනා ජීවිතය සරු කර ගැනීමට අවවාද අනුශාසනා ගත හැකි අය ඇසුරු කිරීම අනාගතය සාර්ථක කර ගැනීම සඳහා සුදුසු බව දේශනා කර තිබෙනවා. වර්තමාන සමාජයේ මත්පැන්, මත්කුඩු වැනි දේ භාවිතා කිරීමෙන් තමන්ගේ ආර්ථික ශක්තිය හීන කරගෙන වටිනා කාලය අපතේ හැරීම නිසා මානසික වියරුවකට පත්ව ඇති බව දක්නට ලැබෙනවා.

ජීවිතය සරු කර ගැනීමට, මිත්‍ර සේවනය ඉතා වැදගත් බව අපට සමාජය තුළින්ම පැහැදිලි වෙනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ ද්වි චක්කු මිනිසෙක් විය යුතු බව දේශනා කර තිබෙනවා. ඉන් අදහස් කරන්නේ පෙනීම තියෙන ඇස් දෙකක් ඇති මනුෂ්‍යයෙක් විය යුතු බවය. එය විස්තර කරනු ලබන්නේ එක ඇසක් ආර්ථිකය, අනෙක ආධ්‍යාත්මික සංවර්ධනය ලෙසටයි. ආර්ථිකය ශක්තිමත් විය යුත්තේ සාධාරණ මිනිසෙක් ලෙසටයි. මත්ද්‍රව්‍ය, මත්පැන් සහ විවිධ දූෂණ වලින් මුදල් උපයා ගැනීමට අනාගත සැලසුම් සකස් කිරීම බුදු දහම අනුමත කරන්නේ නෑ. සාධාරණ සමාජයක් සඳහා ආර්ථිකය සහ ආධ්‍යාත්මික සංවර්ධනය යන අංශ අවශ්‍ය බව මින් පේනවා.

බුදු දහමට අනුව යහපත් ජීවිතයක් ගතකළ යුත්තේ කෙසේද?

බුදුරජාණන් වහන්සේ යහපත් ජීවිතයක් ගතකළයුතු ආකාරය වලාහක සූත්‍රයෙහි ඉතා ‍හොඳින් පැහැදිලි කරනවා. එයට අනුව මිනිසා වලාකුළු 04 කට උපමා කර තියෙනවා.

1. ගොරවන වහින වලාකුළ

2. ගොරවන්නේ නැති වහින වලාකුළ

3. ගොරවනවා වහින්නේ නැති වලාකුළ

4. ගොරවන්නෙත් නැති වහින්නෙත් නැති වලාකුළ ලෙසටයි.

මේ සතර පිළිබඳ විග්‍රහ කරන ආකාරය ඉතා වැදගත්.

මෙහි ගොරවන වහින වලාකුළ විදිහට සඳහන් කරන්නේ හෙට දවස සඳහා කතා කරන, වැඩ කරන මිනිස්සුය.

ගොරවන්නේ නැතිව වහින වලාකුළ යන්නෙහි අදහස තමාට පැවරෙන කාර්යභාරය හරියාකාරව ඉටුකරන සමාජය.

ගොරවන වහින්නේ නැති වලාකුළ කතාවට පමණක් සීමාවුණු, අනුන්ගේ වැරැදි පමණක් විවේචනය කරන වැඩ කරන්නේ නැති සමාජය.

ගොරවන්නේ නැති, වහින්නෙත් නැති වලාකුළ සමාජයට කිසිදු මෙහෙයක් නොකරන තමන් ගැන පමණක් සිතා කටයුතු කරන දැඩි ආත්මාර්ථකාමී සමාජය. බුදුරජාණන් වහන්සේ දේශනාකොට පෙන්වා දෙන්නේ මිනිස්සු ගොරවන්නේ නැති වහින වලාකුළක් සේ කටයුතු කළ යුතු බවයි. එසේ වුවහොත් රටක් සංවර්ධනය වනවා සේම තමා ජීවත්වන පවුල් සංස්ථාව ද වේගවත් සංවර්ධනයක් කරා පියනඟනවා. අනුන්ට බරක් නොවන,

 

මානව හිතවාදීව ජීවත්වීමේ ආනිසංස මොනවාද?

මෙත්තානි සංඝ සූත්‍ර‍ෙය් සඳහන් කරන්නේ හෙටක් ගැන සිතන මිනිසා දයා, කරුණා, මෛත්‍රී ගුණාංගයන්ගෙන් යුතුව ජීවත්විය යුතු බවයි. කු‍රිරු මිනිසෙකු ‍නොවී මානව හිතවාදීව කටයුතු කරන මිනිසාට ආයුෂ, වණ්ණය, සැපය, බලය හා ප්‍රඥාව ලැබෙන බවයි. ඔවුන් මරණින් පසු සුගතියක ඉපදීමට හැකි බවත් ඉතා පැහැදිලියි.

අන්තවාදී අදහස් දරන මිනිසුන් වගේම නොයෙකුත් අන්තවාදී, ව්‍යාපාරත් දක්නට ලැබෙනවා නේද?‍‍

කාලාම සූත්‍රයෙන් ද දේශනා කර ඇත්තේ උදාවන හෙට දවස වෙනුවෙන් ජීවිතය ගොඩනඟා ගත යුතු ආකාරය යි. එහි සඳහන් කරන්නේ අන්තවාදී මිනිසෙක් නොවී බුද්ධියෙන් සිතා මතා කටයුතු කරන මනුෂ්‍යයෙක් වීමට නම් අඩුපාඩු ඉවත් කර සමාජ දෙස බැලිය යුතු බවයි. වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන අන්තවාදී මානසිකත්වය මේ සූත්‍රයේ ප්‍රතික්ෂේප කර තියෙනවා. මේ අනුව ආගමික අන්තවාදය, ජාතීන් අතර අන්තවාදය, කුල මළ අන්තවාදය යන සියල්ලක්ම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා.

කාලාම රජතුමාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නරක දේ නරක දේ ලෙසත්, හොඳ දේ ‍‍හොඳ දේ ලෙසටත් සිතන ලෙස සහ. පරම්පරාවෙන් පැවත ආ නිසා කිසිවක් නොවිමසා පිළි නොගන්නා ලෙසයි. වර්තමාන සමාජයට ද මෙය ඉතා වැදගත්. වර්තමානයේ විවිධ ත්‍රස්තවාදී, අන්තවාදී ආගමික ව්‍යාපාර තියෙනවා. ඒවා ගොඩනැඟී ඇත්තේ ඒ අයගේ මතයට විරුද්ධ අය විනාශ කිරීම සඳහායි. පසුගිය කාලපරිච්ඡේදයේ අප රට තුළ ද සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් අතර විවිධ වර්ගයේ අරගල හා මිනිස් ඝාතන සිදුවුණා. විවිධ දේශපාලන පක්ෂ මුල්කරගෙන ඇතමුන් ජීවිත හානි කළ ආකාරය අපි දැක්කා ඒව දේශපාලන අන්තවාදීන්ගේ ක්‍රියා ලෙස සඳහන් කළ හැකියි.

මේ කිසිදු අන්තවාදී පුද්ගලයෙක් හෝ අන්තවාදී ව්‍යාපාරයක් සුබවාදීව අවසන් වුණාද? නැහැ නේද? විවිධ මතභේද, ගැටුම් හා විනාශයන් පමණයි සිදු වුණේ. කිසිම දෙයකට කිසිදු විටක කිසිවෙක් අන්තවාදීව සිතීම හෝ කටයුතු කිරීම හෝ බුදුදහම පිළිගන්නේ නැහැ. අනුමත කරන්නෙත් නෑ. ඒ අන්තවාදයෙන් කිසිදු යහපතක් නොවන නිසයි.

 

ශ්‍යාමා සමරසිංහ

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

නව අදහස දක්වන්න