හිතුවොත් ඕනැම දෙයක් කරන්න පුළුවන් | දිනමිණ

හිතුවොත් ඕනැම දෙයක් කරන්න පුළුවන්

ෂලිනි ප්‍රනාන්දු

2017 වර්ෂයේ දෙරණ අවුරුදු කුමරිය ලෙසින් කිරුළු පැලඳි ෂලිනි ප්‍රනාන්දු, එම වසරේදී ම රංගන වරම් ද හිමි කර ගත්තා ය. මේ දිනවල විකාශය වන ‘දෙවෙනි ඉනිම‘ හා ‘සංවේදනා' ඒකාංගික ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වන ඇය, තවමත් පාසල් සිසුවියකි.

*ඔබේ ගමන් මඟේ ආරම්භය පිළිබඳ කතා කළොත්?

රංගනයට පිවිසෙනවා කියා හීනයකවත් මට තිබුණෙ නැහැ. අහම්බයෙන්වත් මට රඟපාන්න ලැබෙයි කියලා හිතුණෙත් නැහැ. වාසනාවකට තමයි මට රඟපාන්න අවස්ථාව ලැබුණෙ. මගේ පුංචි අම්මාගෙ හීනයක් තමයි මේ හැබෑවෙලා තියෙන්නෙ. ඇයගේ බලාපොරොත්තුවක් තිබුණා මා මේ වගේ තැනකට ගෙන එන්න. මගේ හැම උපන් දිනයක් පහුවෙද්දිම පුංචි මගෙන් වයස ගැන අහ අහා හිටියා. මට අවුරුදු දාසය පිරුණට පස්සෙ එයා තමයි දෙරණ අවුරුදු කුමරිය තරගයට ඇතුළත් කරන ඉල්ලුම්පත් දැම්මෙ.

මේ තරගයට යන්න මම මුලින් ම කැමැති වුණේ නැහැ. මුලින් පුංචි එක්කත් හිත නොහොඳ කරගෙන හිටියා. ඒත්, එයාගෙ ආසාවක් නිසා මම තරගයට ගියා.

* අවුරුදු කුමරිය තරගයේ වේදිකාවට ගොඩවුණාට පස්සෙ මොනවද හිතුණෙ?

අපට කතා කරලා පළමු පරීක්ෂණයට එන්න කියද්දි, මට හිතුණෙ නැහැ මා තේරෙයි කියලා. එතැන තරගකාරියන් එකසිය ගාණක් හිටියා. ඉන් පසුව පැවැත්වුණ පරීක්ෂණවලදිවත් අවසන් දොළොස්දෙනාට මා තේරෙයි කියලා හිතුණෙ නැහැ. දොළොස්දෙනාට තේරුණාට පස්සෙවත්, මම පළමු වැනියා වෙයි කියලා හිතුවෙ නැහැ. මේ තරගයට ඉදිරිපත් වෙලා, විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ පෙනී සිටින එක, කැමරාවක් ඉදිරියේ පෙනී සිටින විදිහ ගැන අත්දැකීම් ලබා ගන්නවා කියලා විතරයි හිතුවෙ.

* බලාපොරොත්තු නොවුණු අවුරුදු කුමරියගේ කිරුළත් හිසට පැලඳිලා, ඊටත් පස්සෙ රංගන වරම ලැබෙනවා. ඒ ගැන කතා කළොත්?

අවුරුදු කුමාරි වුණාට, මට රඟපාන්න ලැබෙයි කියලා හිතුවෙ නැහැ. මම මුල ඉඳන් ම දෙවෙනි ඉනිමේ රසිකාවියක්. කොහොම හරි අවුරුදු කුමරිය වෙලා, මාස දෙක තුනකින් මට දෙවෙනි ඉනිමේ රඟපාන්න කතා කළා. ඒ වෙලාවෙ මට අදහා ගන්න බැරි වුණා. මේ ටෙලි නාට්‍ය ඉතාමත් ම කැමැත්තෙන් රසවිඳපු කෙනෙක් විදිහට, මම මේ ආරාධනාව නිසා බොහෝ සේ සතුටු වුණා.

*ඔබට, ශලිනියි, ළිහිණියි අතර වෙනස්කම් තෝරා බේරා ගන්න වෙහෙසෙන්න වුණාද?

අඩුවෙන් කතා කරන, බොහොම සංවරශීලී ගති පෙන්වන ගැමි යුවතියක් වන ලිහිණිගේ චරිතය, මට අභියෝගයක් වුණා. ශලිනියි, ලිහිණියි කියන්නෙ හාත්පසින්ම වෙනස් දෙන්නෙක්. ලිහිණි කියන්නෙ අඩුවෙන් කතා කරන කෙනෙක්. ශලිනි කියන්නෙ වැඩියෙන් කතා කරන කෙනෙක්. හැබැයි ශලිනියි, ලිහිණියි දෙන්නම අහිංසකයි.

* ලිහිණිගේ චරිතය අනාගතයේ අනුහස්ගේ පෙම්වතිය වෙනවා කියලා ඇතැමුන් පවසනවා.

එහෙම අනාවැකියක් මට කියන්න බැහැ. ඒක තියෙන්නෙ ටෙලි නාට්‍යයේ පිටපත් රචකයා අතේ. ඒ වුණාට ලිහිණි කියන්නෙ කාටවත් රිද්දන කෙනෙක්වත්, කාටවත් අයිති දෙයක් පැහැර ගන්න කෙනෙක්වත් නෙමෙයි. ඇය අහිංසක චරිතයක්. මම හිතන්නෙ ලිහිණිගේ ඒ ගතිගුණ ටෙලි නාට්‍ය අවසන් වන තුරු ම පවතියි කියලයි.

* ශලිනි සහ ලිහිණි පසුපස වගේම ආදර ආයාචනා හඹා එනවද?

ආදර ඇරියුම් නම් ලැබුණා. ඒත්, මම ඒවා බාර ගත්තෙ නැහැ. මම තවම උසස් පෙළ හදාරන නිසා, අධ්‍යාපනය හරියට කරගෙන ඉන්න ඕනැ. ඒකට බාධාවක් වෙන දේවලට මම හිත යොමු කරන්නෙ නැහැ.

*ලිහිණිගෙන් පසුව ශලිනිට වෙනත් චරිතවලට ඇරියුම් ලැබුණද?

ඔව්. මට ආරාධනා ලැබුණා. ඒත්, මේ අවුරුද්දෙ වාණිජ්‍ය අංශයෙන් මම විභාගයට පෙනී සිටින නිසා, වෙන වැඩ බාර ගත්තෙ නැහැ. එයින් පස්සෙ, මම හොඳ චරිත තෝරාගෙන රඟපානවා.

*අනාගත වෘත්තිය රංගන ශිල්පිනියක් වීමද?

නැහැ. මගේ කැමැත්ත තියෙන්නෙ මෝස්තර නිර්මාණකාරිනියක් වෙන්න. මේ වෙනකොට පාසලේ විෂයයක් විදහටත් මම ඒ විෂය හැදැරුවා. මෝස්තර නිර්මාණයට යොමු වෙන්න කියලා, මගේ ගුරුතුමිය තමයි මට ඒ අදහස දුන්නෙ. මට ඒක ගැළපෙනවා කියලා මම හිතනවා. එහෙම කියලා මම රඟපාන එක අත්හරින්නෙ නැහැ. ඉදිරියේ මේ ක්ෂේත්‍ර දෙකේම රැඳෙන්න හිතාගෙන ඉන්නෙ.

* ඔබ දෙවෙනි ඉනිමේ සෙසු නළු නිළියන් අතරට අලුතෙන් එක්වෙද්දි, ඔවුන්ගෙන් ලැබුණ ප්‍රතිචාර කොයි වගේද?

එයාලා බොහොම ආදරයෙන් මා ඔවුන්ගෙ කණ්ඩායමට බාර ගත්තා. ඔවුන් හරි ම මිත්‍රශීලී පිරිසක්. මම තමයි එතැන ඉන්න වයසින් බාල ම කෙනා. ඒ දේ ප්‍රායෝගිකව කරද්දි, අපි ගෙදර ඉඳන් සැහැල්ලු ඉදියව්වකින් ඉඳගෙන ටෙලි නාට්‍යයක් විඳිනවා වගේ නෙමෙයි. රඟපාන එක ලෙහෙසි අත්දැකීමක් නොවුණත්,හැමෝගෙම සහයෝගය නිසා මට ඒ බව දැනුණෙ නැහැ.

*ඔබගේ පෞද්ගලික තොරතුරු පිළිබඳ කතා කළොත්?

මගේ ගම මීගමුව. මීගමුවේ දෙමන්හන්දිය ප්‍රදේශයේ පදිංචි වෙලා ඉන්නෙ. මගේ පවුලේ ඉන්නෙ අම්මයි, අය්යයි, මමයි. අපේ තාත්ත මට අවුරුදු පහේදි නැති වුණා. එතැන ඉඳන් තාත්තගෙ තැන අරගෙන, අපේ පවුලේ වගකීම දරන්නෙ අයියා. මම අධ්‍යාපනය ලබන්නේ ශාන්ත නිකලස් ජාත්‍යන්තර පාසලේ.

* රංගන කටයුතුවලට අම්මාගෙන් සහ පවුලේ අනෙක් අයගෙන් ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරද?

රඟපාන්න එනවට අයිය කැමති වුණේ නැහැ. ඒත්, දැන්නම් ඒ අකමැත්ත ටිකක් විතර අඩු වෙලා. වෙලාවකට මගේ හරි වැරැදි තෝරලා දෙන්නෙත් අයියා.

* රංගනය හැරුණහම, ඔබගේ ලෝකය හැඩ කරන වෙනත් දේ මොනවද?

මම එක දෙයකටම සීමා වෙලා ඉන්න කැමැති නැහැ. පොත්පත් කියවනවා. චිත්‍රපට බලනවා. මම වැඩියෙන් ම කැමැති දමිළ චිත්‍රටවලට. දමිළ සිනමාවේ රඟපාන අල්ලු අර්ජුන්ට මම හරි ම කැමැතියි.

* ඔබගේ ප්‍රියත ම ලැයිස්තුවේ, අපේ රටේ නළු නිළියන් නැද්ද?

සිනමාවේ නම් විශේෂයෙන් කියන්න කෙනෙක් නැහැ. හැබැයි දෙවෙණි ඉනිමේ නම් මම චබීටයි, අනුහස්ටයි කැමැතියි. චබීගෙ චරිතය ගොඩනැගිලා තියෙන විහට වගේම, තාත්තා නැතිව අනුහස් යහපත් කෙනෙක් විද­ිහට උත්සාහයෙන් ජීවිතයට මුහුණ දෙන විදිහට මම හරි ම කැමැතියි.

* යොවුන් තරුණියගේ චරිතයෙන් වෙනස් චරිත පරාසයකට යන්න පුළුවන් කියලා ඔබට දැනෙනවද ?

අපට දෙයක් කරන්න පුළුවන් කියලා හිතුවොත්, ඒකට මහන්සියක් දරනවා නම්, ඒ දේ කරන්න පුළුවන්.

* ඔබට ‘චූටි මැණිකෙ‘ නමින් ආමන්ත්‍රණය කරන පිරිසකුත් ඉන්නවා නේද?

ඔව්. ලිහිණිට ගෙදරට කියන්නෙ ‘ චුටි මැණිකෙ‘ කියලනෙ. අපේ ගෙදර අයත් දැන් වෙලාවකට මට කතා කරන්නෙ ‘චුටි මැණිකෙ‘ කියලයි.

ධම්මිකා සුරංජි පතිරණ

නව අදහස දක්වන්න