සීතාවක සිසිලස කුමාරි ඇල්ල | දිනමිණ

සීතාවක සිසිලස කුමාරි ඇල්ල

ගිනියම් හිරු ගත දවමින් ය. එනමුදු රබර් වතු, කෙත්වතු සහ තුරු වදුළුවලින් පිරි ගම්මානය පිසගෙන එන මදනළ, ගතට සුවයක් ගෙන එයි. ඒ තුරු මත හිඳ නගන කුරුලු කෙවිල්ලන්ගේ හඬට සවන්පත් යොමා බැලූවිට, මිහිරි ගීයක් තරමට ම සවන් සනහාලයි. අපි කොළඹ සිට හයිලෙවල් මාර්ගයෙන් පැමිණ, පුවක්පිටිය පාරේ කිලෝ මීටර් දෙකක් පමණ දුරක් ගමන් ගත්තේ, කුඩා වුව සුන්දරත්වයෙන් පිරිපුන් කුමාරි ඇල්ල නමින් ප්‍රකට දිය ඇල්ල නැරැඹීමට ය. මේ ඇල්ල නැරැඹීමට එන්නන්ට, තුන්මෝදර පැරැණි පාලම ළඟ සිට පුවක්පිටිය පාරේ කිලෝ මීටර් පහක් පමණ ගියවිට, මේ ස්ථානය වෙත ළඟා වීමට පුළුවන.

කොළඹ දිස්ත්‍රික්කයට අයත් දියඇලි හතරකි. ඒ, කුමාරි ඇල්ල, තුම්මෝදර දඹෝර ඇල්ල, ඇල්ල උඩ ඇල්ල සහ රන්මුදු ඇල්ල ය. කුමාරි ඇල්ල අඹන්ගම ඔයේ සිසිලස පිරි දිය දහරින් පෝෂණය වුණු , මීටර් හතරක් පමණ උසින් යුතු කුඩා දිය ඇල්ලකි. පිට්ටුකන්දෙන් ගලා එන දිය දහරකින් සහ දුන්කොළහේන කඳු මුදුනින් ගලා එන දිය කඳකින් පෝෂණය වන අඹන්ගම ඔයට, හේවාහිඳ සිට ගලා එන අතු ඇළක් එකතු වේ. මෙසේ ගලායන ඔයට, පුවක්පිටිය ප්‍රදේශයේදී ඉළුක්ඕවිට සිට ගලා එන තවත් අතු ඇළක් හමුවේ. මේ අනුව මේ දියඇල්ල නිර්මාණය වන්නේ, ඇළවල් සහ ඔයවල්වල සිසිලසින් පිරි දිය දහරාවලිනි. ඇල්ල පිහිටි අවට පරිසරය ද අතිශයින් ම සුන්දර ය. බට, උණ, කැන්ද, කොස්, නා, පුවක්, රබර්, අඹ, සිංහල දෙල් ඈ නෙක් ගහකොළවලින් අවට පරිසරය වසාගෙන අැත. වරින් වර රාව නංවන කුරුලු කොබෙයියන්ගේ හඬින් නිහඬ පරිසරය හැඩගන්වයි. කහකුරුල්ලා, දෙමලච්චා,පොල්කිච්චා, පැණිකුරුල්ලා, බට්ටිච්චා, මයිනා, ගිරවා, ඇටිකුකුළා, කවුඩා, බස්සා වැනි පක්ෂීන් බොහොමයක් ම මේ ආශ්‍රිතව ජීවත් වේ. අවට පරිසරය, වන සතුන්ට සුවසේ විසුමට නිවහන් සදාලයි.

ජනප්‍රවාදයකට අනුව සීතාවක රාජසිංහ රජුගේ දියණියක් නිසා මේ ඇල්ලට 'කුමාරි ඇල්ල' යන නම ලැබී තිබේ. එක්තරා දිනක කුමාරි නම් වූ රජුගේ දියණිය මේ දිය ඇල්ලෙන් දිය නෑමට ගොස් ඇත. ඇය එම ස්ථානයේ පිහිටි දිය වළක වැටී මරුමුවට පත්ව තිබේ. ඒ නිසා ම මේ ඇල්ල කුමාරි ඇල්ල වූ බව පැවසේ. කලකට පෙර ලේල්වල ඇල්ල නමින් ද හැඳින් වූ මේ ඇල්ල, සිරිසඳ ගමට සමීපයෙන් පිහිටියකි. සීතාවක රාජධානිය පැවැති සමයේදී මේ අසල උමඟක් පැවැති බවට ද ජනතාව අතර විශ්වාසයක් පවතී.

ජලයෙන් පිරී ඇති කාලවලදී, ඇල්ල අතිශයින් ම චමත්කාරජනක ය. මෙහි ඇති කුමාරි වළ නමැති ස්ථානය එම කාලවලදී අතිශයින් ම දැකුම්කළු ය. කුමාරි වළ, නාන තටාකයක් බඳු අපූර්ව පිහිටීමකි. එහෙත්, එම ස්ථානයේ නානවා නම්, අනතුරු සිදුවීමේ අවදානමක් ද පවතින බව සිහි තබාගත යුතු ය.දිනකට බොහෝ ‍පිරිසක් මේ ස්ථානයෙන් දිය නෑම සඳහා, වෙලාවක් අවේලාවක් නැතිව පැමිණෙන බවත්, දිය ඇල්ල කුඩා වුවත්, පරෙස්සම අත්‍යවශ්‍යම බවත් ගම්වාසීහු පවසති.

බ්‍රිතාන්‍ය පාලන කාලයේදී තේ වතු යායක්ව පැවැති, මේ වනවිට රබර් වතු යායක් බවට පරිවර්තනය වී තිබෙන සෙල්වකන්ද වතු යායේ ජනතාවගේ සාපිපාසා දුරු කරන්නට ද, ඔවුන්ගේ විවිධ ජල අවශ්‍යතා සපයන්නට ද අවශ්‍ය ජලය ලබා ගන්නේ අඹන්ගම ඔයෙනි. එම ඔය නිසා ම අලංකාර ඇල්ලක්ව උපත ලබන කුමාරි ඇල්ල, මේ ප්‍රදේශය තුළ ඇති කුඹුරු, එළවළු කොරටු සශ්‍රීක කරමින්, ගම්බිම්වල වෙසෙන ජනතාවට විවිධාකාරයෙන් ජල අවශ්‍යතා සපුරාලමින් ගලා යයි. එසේ ගලා යන අඹන්ගම ඔය, රණාලේදී කැලණි ගඟට එකතු වේ.

මේ ස්ථානය අධ්‍යාපන වටිනාකමක් සහිත සුන්දර ස්ථානයක් වනවා සේ ම, පරිසරය පිළිබඳ අධ්‍යයනය කරන්නන්ට, ස්වභාදහමේ සුන්දරත්වය අගයන්න, සොඳුරු බව විඳගන්න කැමැති සැමට අතිශයින් ම වැදගත් ය.

ඉරෝෂිණී දීපිකා
ඡායාරූප නුවන්ත දිනිඳු ප්‍රභාත් 


නව අදහස දක්වන්න

Or log in with...