බැඳුම්කර වාර්තාව පිළිබඳ ඕනෑම අවස්ථාවක විවාදයක් ලබාදීමට සූදානම් | දිනමිණ

බැඳුම්කර වාර්තාව පිළිබඳ ඕනෑම අවස්ථාවක විවාදයක් ලබාදීමට සූදානම්

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
චමීර ඇල්ලදෙණිය

මහ බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව පිළිබඳ ඕනෑම අවස්ථාවක විවාදයක් ලබාදීමට රජය සූදානම් බව සභානායක උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කෙළේය.

විවාදයක් ලබාදිමට නොහැකි යැයි කිසිම අවස්ථාවක ආණ්ඩුව පවසා නොමැති බවත් අවධාරණය කළ සභානායකවරයා පාර්ලමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තාව සැබෑ බැඳුම්කර වාර්තාව බවට ඒකාබද්ධ මන්ත්‍රීවරුන් පිළිගත යුතු බවද පැවසීය.

කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (23) රැස්විය. නිවේදන, ලිපි ලේඛන හා මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සභා‍වේ කටයුතු ආරම්භ විය.

සැබෑ වාර්තාව යැයි පිළිනොගන්නේ නම් විවාදයක් ලබාදීමට නොහැකි බවද උසස් අධ්‍යාපනය හා මහා මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කෙළේය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බැඳුම්කර වාර්තාවේ පිටු ගණන අඩු බවට බන්දුල ගුණවර්ධන, චන්ද්‍රසිරි ගජදීර මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු වලට පිළිතුරු ලබාදෙමින් සභානායකවරයා එසේ පැවසීය.

බැඳුම්කර වාර්තාවේ නියමිත පිටු ගණන ඇතුළත් බවත් සම්පූර්ණ වාර්තාව සභාවට ඉදිරිපත් කළ බවත් කතානායක කරූ ජයසූරිය මහතා එහදී පැවසීය.

‍කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා (ජවි‍පෙ)

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මෙම වාර්තාව හා එළියට එන්නේ දේශපාලන මැදිහත්වීම්, බලධාරින්ගේ මුදල් ගසා කෑම් හා නිලධාරීන්ගේ දුබලතාවයන්. මේ සිද්ධිය හරහා සේවක අර්ථ සාධක අරමුදලට කෝටි 850කට අධික මුදලක් අවභාවිත වී තිබෙනවා. මේ මුදල් අය කරන්නේ වැඩ කරන පංතියේ ජනතාවගෙනියි. පහල තන්ත්‍රයේ මුදල් ඉහළ තන්ත්‍රයේ ප්‍රබලයින් විසින් කෙතරම් අපහරණය, වංචා, සොරකම් හා මංකොල්ල කා තිබෙනවාද යන්න මෙයින් පැහැදිළියි. අද බැඳුම්කර වාර්තාවෙන් පෙන්නුම් කරන්නේ අල්ලස නීථිපති දෙපාර්තමේන්තුව යම් දේශපාලන අධිපත්‍යයකට යටත් කර තිබෙන බවයි. මහා මංකොල්ලය සිදුකර පිරිසනට දඩුවම් ලබාදෙන බව මිත්‍යාවේ ජනතාව සිටිනවා. මෙය හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. එහෙමත් නැතිනම් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වැනි වැඩක් කියන්නේ දැන් පේනවා. මහ බැංකු අධිපතිවරයා පත්කළ කණ්ඩායම් ඉදිරිපිට අප කතා කරනවා. ‍මේ විවාදය එන්න ඕන අපරාධකරුවන් ඉදිරිපිටයි. මේ වාර්තාව පෙබරවාරි 10 වැනිදාට පෙර විවාදය කිරීම අවශ්‍යයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා (එජනිස)

මේ වාර්තාවේ පිටු ගණන අඩු බවට වාර්තා වුණා. නමුත් යම් යම් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරනවා මේ වාර්තාවේ කිසිදු දෙයක් සඳහන් වෙලා නැහැ කියා. නමුත් මෙහි වාර්තාවේ යම් යම් අඩුපාඩු තිබෙනවා නම් ඒ පිළිබඳ සොයා බලන්න. ජනාධිපතිවරයා කියා තිබෙනවා මංකොල්ලකරුවන් හිරේ දාන්නට ශක්තිය දෙන්න කියා. අපි ඒකාබද්ධ විපක්ෂය හැටියට මේ මංකොල්ලකරුවන් හිරේ දාන්නට අප සහාය දෙන බව කියන්න ඕන.

කතානායකතුමා

මේ වාර්තාව තමයි කොමිෂමෙන් ලැබුණේ කියා ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ සහතිකය මට දෙන්න පුළුවන්.

සභානායකතුමා

වාර්තාව පිළි ගන්නේ නැතිනම් විවාදයක් දෙන්නේ කොහොමද?

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ශ්‍රීධරන් මහතා (දෙජස)

මේ වාර්තාවේ සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙනවා. නමුත් දෙමළ භාෂාවෙන් වාර්තාව නැතිනම් අපට විවාදයකට යාමට අපට හැකියාවක් නැහැ.

පාර්ලිමේන්තුව අද (24) පස්වරු 1.00 යළි රැස්වේ. 

නව අදහස දක්වන්න