බැඳුම්කර පෙරළිය | දිනමිණ

බැඳුම්කර පෙරළිය

වසන්ත ප්‍රිය රාමනායක

බැඳුම්කර කොමිසම වැදගත් වන්නේ සිදුවී තිබෙන අලාභය නැවත අයකර ගැනීම, වරදකරුවන්ට දඬුවම් දීම වැනි කාරණාවලට අමතරව යළි මෙවැන්නක් සිදු නොවන ආකාරයට නීතියේ ඇති හිල් වසා දැමීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට ද සමත් වී තිබීම නිසාය.

නිදහස් ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණයට එරෙහිව බලාත්මක ප්‍රථම පනත ඉදිරිපත් වන්නේ 1954 වසරේ එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය සමයේය. එවකට අගමැතිවරයාව සිටි සර් ජෝන් කොතලාවල මහතාගේ අනුදැනුම මතය.

ඉන් අනතුරුව 1956 දී එක්සත් ජාතික පක්ෂයට අන්ත පරාජයක් හිමිකර දෙමින් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයන්ගේ නායකත්වයෙන් මහජන එක්සත් පෙරමුණු රජය බිහි විය. එම දේශපාලන වෙනස ‘56 පෙරළිය’, ‘පොදුජන යුගය’ ආදී විවිධ නම්වලින් හැඳින්වීමට එදා ජනතාව පෙළඹුණහ.

1956 බණ්ඩාරනායක රජය බිහි වී ටික කලක් ඇවෑමෙන් එම රජයේ මැති ඇමැතිවරුන්ට එරෙහිව විවිධ දූෂණ චෝදනා එල්ලවීමට පටන් ගැනුණි.

විශේෂයෙන්ම එවන් චෝදනා එල්ල වූයේ එක්සත් ජාතික පක්ෂය හා එදා විපක්ෂයේ සිටි සමසමාජ පක්ෂය වැනි වමේ බලවේගවලිනි. නව රජයට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් රජයත්, තමාත් නිර්දෝෂී විය යුතු බව බණ්ඩාරනායක අගමැතිවරයා කල්පනා කළේය. ‘තල්ගොඩ පිටිය කොමිසම’ බණ්ඩාරනායක අගමැතිවරයා විසින් පත් කරනු ලබන්නේ අදාළ චෝදනා විභාග කිරීමටය. එය අධිකරණමය බලයක් සහිත ප්‍රබල කොමිසමක් විය. ඊට පාදක කරගනු ලැබුවේ 1954 එක්සත් ජාතික පක්ෂ රජය යටතේ ස්ථාපිත කරනු ලැබූ මුලින් සඳහන් කළ පනතයි.

දූෂණ චෝදනා

මෙහිදී බණ්ඩාරනායක අගමැතිවරයා 1956 පසු යුගය පමණක් නොව 1948 සිට වර්තමානය දක්වා සියලු අල්ලස් හා දූෂණ චෝදනා විභාග කිරීමේ බලය තල්ගොඩ පිටිය කොමිසමට පවරා දෙනු ලැබීය. මේ නිසා තම ආණ්ඩු සමය පමණක් නොව සේනානායක, කොතලාවල රාජ්‍ය සමයන් ද ඊට අයත් විය.

එහෙත් තල්ගොඩපිටිය කොමිසමේ දැලට වැඩිපුරම හසු වූයේ මහජන එක්සත් පෙරමුණු රජයේ මැති ඇමතිවරුන්ය. ඊට ඉහත එක්සත් ජාතික පක්ෂ පාලනය යටතේ සිටි මැති ඇමතිවරුන්ගෙන් එක් අයෙක් හැරෙන්නට අන් කිසිවෙක් දඬුවම් විඳි බවක් අසන්නට නොලැබේ.

එහෙත් බණ්ඩාරනායක රජයේ මැති ඇමතිවරුන් කීපදෙනෙකුට මෙම කොමිසම නිසා දඬුවම් විඳීමට පමණක් නොව දේශපාලනයෙන් ඉවත් වීමට ද සිදුවිය. ඒ අය අතර පතාක ශ්‍රී ලංකාකාරයෝ ද වූහ. එසේම වරදකරුවන් වූ සමහරුන්ගේ අක්‍රමිකතාවය රු.1000/-ක් පමණ වන සුළු මුදලකට සීමා විය. ඉන් එක් ඇමතිවරයෙක් කළ වරද තැපැල් දෙපාර්තමේන්තුවේ පත්වීමක් ලබාදීමය. යම් ආණ්ඩුවක පාලන කාලය තුළම එම ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරු කොමිෂන් සභාවක් ඉදිරියට ගෙනැවිත් වරදකරුවන් කළ ප්‍රථම අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසගත වේ. මේ නිසා තල්ගොඩපිටිය කොමිසම නිදහස් ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයක් ඇති කළ කොමිසමක් සේ අදත් කාගේත් කතාබහට ලක් වේ.

එදා මෙදා තුර ආණ්ඩුවක බලය පවතින කාලවකවානුවක කොමිෂන් සභාවක් මඟින් වරදකරුවන් බවට පත් වූ දේශපාලනඥයෙක් හෝ දේශපාලන කණ්ඩායමක් ගැන අපට අසන්නට නොලැබේ.

එහෙත් තල්ගොඩපිටිය කොමිසමෙන් පසු මහත් ආන්දෝලනයකට ලක්ව ඇති කොමිසම ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ බැඳුම්කර කොමිසම මේ වන විට මේ රටේ ඉතිහාසයට එක්වී හමාරය. බැඳුම්කර කොමිසමේ පරීක්ෂණයට ලක්වූයේ වත්මන් යහපාලන රජය යටතේ සිදුවූ මහ බැංකු බැඳුම්කර මිලදී ගැනීමේ දී සිදුවූ අක්‍රමිකතාවකි. මෙය දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවක් ලෙසින් මේ වන විටත් ජනතාව අතර තහවුරු වී හමාරය. ඉතිරි වී ඇත්තේ සිදුවී ඇති අලාභය අයකර ගැනීම හා අදාළ පුද්ගලයන්ට දඬුවම් කිරීම පමණි. පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ රඳවා තබාගෙන තිබෙන මුදලින් අලාභය අඩුකර ගැනීම පමණක් වරදකරුවන්ට දඬුවමක් වන්නේ නැත. ස්වර්ණාභරණ හොරකමකදී අදාළ රත්‍රං බඩු ටික අයිතිකරුට ලබාදීමෙන් පමණක් හොරා නිදහස් වන්නේ නැත.

තල්ගොඩපිටිය කොමිසමට මෙන් ජනාධිපතිවරයා බැඳුම්කර කොමිසමට නීතිමය බලයක් ලබා දී තිබුණි නම් මේ වන විටත් ඊට අදාළ චූදිතයන්ගේ නවාතැන වීමට ඉඩ තිබුණේ සිරගෙදරයි. එමඟින් නිර්දේශ පමණක් ඉදිරිපත් වීම නිසා අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලය නීතිපතිවරයාට හා අල්ලස් හා දූෂණ කොමිසමට පැවරී ඇත. එසේම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකු හා හිටපු විගණකාධිපතිවරයකු ලබා දී ඇති බැඳුම්කර කොමිසමේ නිර්දේශ මේ රටේ යුක්තිය පසිඳිනු ලබන කිසිදු ආයතනයකට ලෙහෙසියෙන් බැහැර කළ නොහැකිය.

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයන් ලෙසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම පාලන කාලය තුළම තමන් නායකත්වය දරන රජය යටතේ සිදු වූ වංචාවක් පිළිබඳව අපක්ෂපාතීව සොයා බලා නිර්දේශයක් ලබාගැනීමට එඩිතර වීම ‘‘ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට” යන පැරණි කියමන සනාථ කිරීමක් සේ සැලකේ. ඒ නිසා වත්මන් රජය පෙර ආණ්ඩුවලින් සිදුවූ වැරැදි සොයනවාට අමතරව තමන්ගේ රජය යටතේම දෙනු ලබන මෙම ආදර්ශය යහපාලනයට ගැළපෙන විශේෂත්වයකි. මීට අමතරව පසුගිය පාලනයට අදාළ සිදුවීම් 32ක් සම්බන්ධයෙන් ද නව නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා පත්කරන ලද විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම සමත්ව ඇත. බැඳුම්කර නිර්දේශ සමඟම එම නිර්දේශ ද මේ වන විට ප්‍රකාශයට පත්ව තිබේ.

බැඳුම්කර කොමිසමේ ප්‍රධාන නිර්දේශ කීපයක්ම රටේ අනාගතයට ද වැඩදායකය.

1. වැඩිදුර විමර්ශන පැවැත්වීම
2. ඇතැම් තැනැත්තන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම
3. පවතින නීති සංශෝධනය කිරීම හා නව නීති නිර්මාණය කොට පැනවීම
4. යහපාලනය සුරක්ෂිත කිරීම සහ අනාගතයේ දී මෙවැනි සිදුවීම් වැළැක්වීමට ගත හැකි වෙනත් ක්‍රියාමාර්ග යනුවෙන් ප්‍රධාන නිර්දේශ කීපයක්ම වේ.

මීට අමතරව සිදුකර තිබෙන අපරාධ සම්බන්ධයෙන් වගකිවයුතු අයට එරෙහිව අපරාධ නඩු පැවරීම, රජයට හා සේවක අර්ථසාධක අරමුදලට සිදුවී ඇති අලාභය පියවා ගැනීම පිණිස හා වන්දි ලබාගැනීම පිණිස නීතිවිරෝධී හා නීත්‍යානුකූල නොවන ක්‍රියාවන්හි නිරත වූ අයට එරෙහිව සිවිල් නඩු පැවරීම හා විවිධ රාජ්‍ය ආයතනවල සේවය කරන ලද නීත්‍යානුකූල නොවන ක්‍රියාවල නිරත වූ අයට එරෙහිව විනය පියවර ගැනීම ආදී වශයෙන් කොමිසම මඟින් නෛතික ක්‍රියාමාර්ග යෝජනා කරයි.

මේ නිසා බැඳුම්කර කොමිසම වැදගත් වන්නේ සිදුවී තිබෙන අලාභය නැවත අයකර ගැනීම, වරදකරුවන්ට දඬුවම් දීම වැනි කාරණාවලට අමතරව යළි මෙවැන්නක් සිදු නොවන ආකාරයට නීතියේ ඇති හිල් වසා දැමීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට ද සමත් වී තිබීම නිසාය. ඒ අනුව මෙය කලකට පසු මේ රටේ යහපාලනය පැත්තට තැබූ හොඳ ඉදිරි පියවරකි; අංගසම්පූර්ණ කොමිසමකි.

මේ සම්බන්ධයෙන් සෘජු දේශපාලන නායකත්වයක් සැපයීමේ පූර්ණ ගෞරවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමි විය යුතුය. එතුමා නොසිටින්න මේ ආණ්ඩුව යහපාලන වුවද මෙවන් සෘජු ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙලඹීමක් බලාපොරොත්තු විය නොහැක. මේ නිසා යහපාලනය යනු බලයට පැමිණීමට පාවිච්චි කරනු ලබන දේශපාලන වචනයක් නොව ප්‍රායෝගිකව සිදුවන්නක් බවට පත්ව ඇත. එය 2015 ජනවාරි 8 වැනිදා මේ රටේ ජනතාව තැබූ බලාපොරොත්තු හා ජනතාව හමුවේ ඊට සම්බන්ධ දේශපාලනඥයන් වූ පොරොන්දු ඉටුකිරීමකි.

බරපතළ අවදානම

තමා නිරතව සිටින්නේ බරපතළ අවදානම් කාර්යයක බව පසුගියදා ජනාධිපතිවරයා සඳහන් කර තිබුණි. එසේම පසුගිය රජයෙන් ඉවත් වී අලුත් ආණ්ඩුවක් පිහිටුවාගනු ලැබුවේ ඒ වැරදි නැවත සිදුකිරීමට නොවේ. පසුගිය රජය කළ වැරදි මේ රජය යටතේ සිදුවන්නේ නම් කරබාගෙන ඒවා අනුමත කරන්නේ නම් ඇයි මේ රජය පිහිටුවා ගත්තේ යන කාරණය ප්‍රශ්නයක් සේ මතුවේ. ජනාධිපතිවරයා පිළිතුරු සපයමින් සිටින්නේ එම ප්‍රශ්නයට බව පැහැදිලිය. ඒ ආණ්ඩුව කළ වැරදි මේ රජය යටතේ සිදුවෙනවා නම් හෝ ඊට දඬුවම් කිරීමේ ක්‍රියාමාර්ගවලට නොයන්නේ නම්, 2015 ජනවාරි 8 පෙරළිය ආණ්ඩුවක් වෙනස් කිරීමක් පමණක් වන්නේය.

එසේම ආණ්ඩුවේ හා 2015 ජනවාරි 8 පරාජිත කණ්ඩායමේ ප්‍රහාරයට මේ වන විට ජනාධිපතිවරයා ලක්වීමෙන් පැහැදිලි වන්නේ ඔහු යන ගමන නිවැරදි බවයි. එසේ නම් ඔහු යමින් සිටින්නේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂවල ව්‍යූහයන් තුළට වඩා මේ රටේ සාමය සංහිඳියාව හා යහපාලනය අපේක්ෂා කරන ජනයාගේ ගොඩට බව පැහැදිලිය.

දේශපාලනඥයෙක් තමන්ට හිතවත් නිලධාරීන් ගැන වුවද පදනම් විරහිත අසීමිත විශ්වාසයකින් කටයුතු කිරීම කොතරම් අනතුරුදායක ද යන්න මින් ගම්‍ය වන තවත් සත්‍යයකි.

බැඳුම්කර කොමිසම පමණක් වුවද මේ රටේ දේශපාලනය කරන මෙන්ම රාජ්‍ය පාලනයට සම්බන්ධ නිලධාරි පැලැන්තියේ කාගෙ කාගෙත් තම ක්‍රියාකලාපයන්හි පූර්ණ වෙනසක් ඇති කිරීමට දැනටමත් සමත්ව ඇත. මෙතනින් වත් මේ පිරිස පාඩමක් ඉගෙන නොගන්නේ නම් එය රටේ ජනතාවගේ අවාසනාවකි.


නව අදහස දක්වන්න

Or log in with...