පොහොට්ටුවේ නාමයෝජනා රීට් පෙත්සම් 06ක් අස්කරගනී | දිනමිණ

පොහොට්ටුවේ නාමයෝජනා රීට් පෙත්සම් 06ක් අස්කරගනී

නෙල්කා මැදගෙදර

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නගර සභා සහ ප්‍රාදේශීය සභා වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනාපත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම් 06ක් ඊයේ (24) අභියාචනාධිකරණයේදී ඉල්ලා අස්කරගන්නා ලදී.

ඒ අනුව එම පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභ කරන ලදී.

මහරගම, පානදුර, මහියංගණය, අගලවත්ත, තිරප්පනේ, වැලිගම යන මහනගර සභා සහ ප්‍රාදේශීය සභා වෙනුවෙන් ඉදිරිපත් කර තිබුණු පෙත්සම් මෙලෙස ඉල්ලා අස්කරගනු ලැබිණි.

මෙම නාමයෝජනාපත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් ‍ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිෂ්ප්‍රභ කරනු ලැබිණි.

එම පෙත්සම් විභාගයට ගැනීමට අවසරදීමට තරම් ප්‍රමාණවත් කරුණු නැත යන්න මත එම පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලදී.

ඒ අනුව එම නාමයෝජනාපත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහි මෙම පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යා යුතු බවට ප්‍රමාණවත් කරුණු නැති බැවින් පෙත්සම් ඉල්ලා අස්කර ගන්නා බව පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු දන්වා සිටියහ. අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූ‍රසේන සහ අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා තමන් හමුවෙහි ඉදිරිපත් කළ මෙම කරුණු සලකා බලමින් පෙත්සම් ඉල්ලා අස්කරගැනීමට අවසරදීමට තීරණය කෙළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, එක්එක් ප්‍රාදේශීය සභාවල අපේක්ෂකයන් සහ පක්ෂ නියෝජිතයන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි. ජනාධිපති නීතිඥවරුන් වන එම්. යූ. එම්. අලි සබ්රි, මනෝහාර ද සිල්වා යන මහත්වරු සහ නීතිඥ කණිෂ්ක විතාරණ මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය. 

නව අදහස දක්වන්න