මම වෙමි මගේ ඉරණමේ ස්වාමියා | දිනමිණ

මම වෙමි මගේ ඉරණමේ ස්වාමියා

ලේ වැකුණු මුත් නොනැමුණු හිසින් ඉරණම වෙනස් කළ නායකයා

මම වෙමි 
මගේ ඉරණමේ ස්වාමියා
මම වෙමි 
මගේ ආත්මයේ නියමුවා

රගර් තරගයක ජයග්‍රහණයට කවියකින් කළ හැක්කේ කුමක්ද? එසේ ම රගර් තරගයකින් රටක සංහිඳියාව ඇති කරන්න පුළුවන්ද? ශ්‍රේෂ්ඨත්වය වෙනුවෙන් බඩගින්නේ සිටිය රටකට රගර් තරගයකින් ශ්‍රේෂ්ඨත්වය ගෙන ආ හැකිද ? බැලු බැල්මට මේ සියල්ල කළ නොහැකි දේ සේ පෙනුනද නෙල්සන් මැන්ඩෙලා හෙවත් දකුණු අප්‍රිකානු කළු ජාතිකයින් ආදරයෙන් ඇමතූ "මඩීබා" නම් දකුණු අප්‍රිකානු නායකයා මේ සියල්ල කළේ ය. වසර 27ක් තිස්සේ අඳුරු සිර මැදිරියක දුකත්, වේදනාවත්, කොන් කිරීමත්, වෙනස් කොට සැලකීමත්, අපහාසයනුත් උපහාසයනුත් විඳගනිමින්...ඒ සියල්ල වෛරයකට නොව ආදරයකට පෙරළා තම ආත්මීය සාරය, මානව දයාවෙන් යුතු ශ්‍රේෂ්ඨ ජාතියක් ගොඩනැගීම වෙනුවෙන් කැප කළේ ය.

සිරකඳවුරක අඩි හයක සෙල් මැදිරියක හුදකලා රාත්‍රීන් 9855ක් සීතල සිමෙන්ති පොළොව මත වැතිරෙන සෑම මොහොතක ම දලු ලා වැඩෙන වෛරයේ ගිනිදැල් නිවා දැමිය හැක්කේ විශිෂ්ඨ මනසක් හිමි මානවයෙකුට පමණි. ඒ සියල්ල තුළ කවියකට කරන්නට බොහෝ දේ තිබිණි. සාහිත්‍යය කලාව මිනිසුන් වෙනස් කරන බව අපි දනිමු. එහෙත් කවියකින් මෙතරම් වෙනසක් කළ හැකි වෙතැයි අපි නොදැන සිටියෙමු. කවියාට වඩා කවිය බලවත් වන්නේ ඒ නිසාවෙනි. ඒ "ඉන්වික්ටස්" නම් කවියයි.

මැන්ඩෙලා නිර්මාණය කළ කවිය අවසානයේ දකුණු අප්‍රිකාව ලේ වැගිරවීමකින් ආරක්ෂා කළේ ය. මැන්ඩෙලාට වඩා ඔහුගේ ආදර්ශය බලවත් විය. නායකත්වය යනු ආදර්ශයයි. සිරගත මැන්ඩෙලා මෙන් ම ජනාධිපති මැන්ඩෙලා ද නායකත්වයේ ප්‍රතිමූර්තියක් වන්නේත් අනාගතය වෙනුවෙන් පරමාදර්ශයක් වන්නේත් මේ නිසාවෙනි. ජීවිතය අපි විසින් අඳින චිත්‍රයකි. වර්ණයන්, හැඩතල සියල්ල පරෙස්සමෙන් සියුම් ලෙස භාවිත නොකළහොත් විශිෂ්ට චිත්‍රයක් නිර්මාණය නොවන්නාක් මෙන් ජීවිතය ද විශිෂ්ටත්වයෙන් බැහැර වනු ඇත. මැන්ඩෙලාගේ ජීවිතය පුරා ඔහු විසින් ඇඳි සියලු පින්සල් පහරවල් පිටුපස කවියක් විය. ඒ කවිය දේදුනු ජාතියක් උදෙසා මාවත විවර කරනු ලැබී ය.

මේ තුළ මැන්ඩෙලා අසහාය නායකයෙකු ලෙස ඉතිහාසයට එක් විය.

සුදු ජාතියකගේ අණසකට යටත්ව බෙදා වෙන්කර, වර්ණ භේදවාදය පතුරවමින් සුදු ජාතිකයින් තම රට තුළ ගෙන ගිය අත්තනෝමතික පාලනයට එරෙහිව කළු ජාතික බුද්ධිමතුන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද අරගලයක නිරත විය.

ඒ අතරින් සමහරුන් මරාදමන ලදි. ඒ අතර ස්ටීවි බිකො වැනි තරුණ නායකයින් විය. මැන්ඩෙලාට සිදු වූයේ රැගෙන ගිය කිසිවෙක් ආපසු නොඑන රොබින් දූපතේ අඳුරු සිර කුටියක රාත්‍රිය ගත කරමින් දහවල ගිනියම් වූ මධ්‍යහනේත් කළු ගල් දෙපලු කිරීමට ය. ජීවිතය වෙනුවෙනුත් රට වෙනුවෙනුත් අපේක්ෂාවන් දල්වා තබන්නට තමා ළඟ සිටි කවිය මැන්ඩෙලාගේ ඉරණම විසඳීමට මැන්ඩෙලාට සහය විය. කුණාටුව විසින් නාවිකයින් ශක්තිමත් කරන්නාක් මෙන් ම දක්ෂ නාවිකයින් බිහිකරයි. මැන්ඩෙලා තම දුක් කම්කටොලු මැද ජීවිතය වෙනුවෙන් කවිපද කිහිපයක් තොල් මතුරමින් කළු ගල් දෙපලු කළ බව පසු කලෙක පවසා ඇත. ඒ "ඉන්වික්ටස්" නම් කවියයි.

"රුදුරු ග්‍රහණයන්ට අසුවී

ඇද වැටුණු විට

වේදනාවෙන් නොහැකුළුනෙමි

හඬනගා නොහැඬුවෙමි

බලහත්කාරයේ මුගුරු පහර මැද උනිමි

ලේ වැකුණු මුත් නොනැමුණු හිසින්

අරමුණු වෙත ළඟා වීම

අසීරු වුවද කොතරම්

ලියවුණු චෝදනා හා දඬුවම්

කම් නැත කුමක් වුවත්

මම වෙමි මගේ ඉරණමේ ස්වාමියා

මම වෙමි මගේ ආත්මයේ නියමුවා"

සැම කලෙක ම බිහි වූ යුග පුරුෂයින් නොවන්නට ලෝකයේ ඉරණම මෙතරම් ලස්සන එකක් නොවිය හැකි ය. තම සාරය කැප කරමින් ලෝකයට මඟ පෙන් වූ මිනිසුන් කිහිප දෙනා අතරට මැන්ඩෙලා ද එකතු වන්නේ ඒ නිසාවෙනි.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කෑමොර දෙන එක තරම් ප්‍රජාතන්ත්‍රවාදය ජීවිතයට එක් කර ගැනීම පහසු නොවේ. යුද්ධයක් ඇති කිරීම හෝ පවත්වා ගැනීම තරම් පහසුවෙන් සාමය ඇති කිරීම හෝ සාමය පවත්වා ගැනීම කළ නොහැක.

දේශපාලනික, භාෂාමය, ගෝත්‍රික සමාජ පංතිය පමණක් නොව...තමන් ගිය පාසලත් බෙදී වෙන්වීමේ රේඛාවක් කරගත් මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රවාදය කියා දිය හැක්කේ කෙසේදැයි මැන්ඩෙලාගෙන් ඉගෙනගත හැක. සමාව දීම තුළින් බිය තුරන් කර ගැනීමටත් විශ්වාස කීරිම තුළින් ගෞරවය ලබා ගැනීමටත් ආත්මයත් ඉරණමත් හැසිරවිය යුත්තේ වෙනකෙකු නොව තමාම බවත් මැන්ඩෙලා ලෝකයට ඔප්පු කර පෙන්වීය.

නායකත්වය යනු බලය හැසිරවීමට එහා ගිය කලාවක් බව ඔහු අපට පෙන්විය. 1994 වසරේ අප්‍රිකානු මහද්වීපයේ එක් පසෙක රුවන්ඩාව රාජ්‍යයේ පාලකයා මහා ගස කපන්නට අණ දෙමින් බහුතරයක් වූ ටුට්සි ගෝත්‍රිකයින් දින සියයක් තුළ සුළුතරය බවට පත්කරමින් ලක්ෂ දහයක් පමණ වූ මිනිසුන් ඝාතනය කරද්දි දකුණු අප්‍රිකාවේ රගර් තරගයකින් ජාතීන් එකතු කරන්නට මැන්ඩෙලා උත්සාහ ගනිමින් සිටියේ ය. නායකයින් පත් කිරීමට වඩා නායකයින් නිර්මාණය කර ගැනීම රටකට වැදගත් වන්නේ ඒ නිසාවෙනි.

 ඒ දකුණු අප්‍රිකාව තුළ මිලියන විසි දෙකක් වූ සුදු කළු ජාතිකයින්ට තම දරුවන්ට සේ ඇමතිය හැකි වන, තමා සිරගත කළ සුදු ජාතිකයින්ට සමාව දී පොදු ජාතියක් ගොඩනැඟීමේ අසීරු ගමනට මැන්ඩෙලා පළමු පියවර තබා තිබිණි. නායකයින්ගේ ආත්මයත් ඉරණමත් ඔවුන්ගේ අණසකට ගත නොහැකි සෑම විට ම ජනතාවට සිදු වනුයේ නායකයින්ගේ ඉරණම තීන්දු කිරීමටයි.

 

 

 

නව අදහස දක්වන්න