මෙතැනින් කොතැනටද? | දිනමිණ

මෙතැනින් කොතැනටද?

ශීලාචාර සමාජයක් පිළිබඳ සංවාදය ඉතා සාර - ශෝභාවට සිදු වෙයි. ඒ අතර ශිෂ්‍යයෝ ගුරුවරුන්ට පහර දෙති. පුටු කැඩෙන්නට පහර දෙති. වෛද්‍යවරු ගුටි ඇනගෙන රෝහල් ගත වෙති. දේශපාලකයෝ විදුහල්පතිවරුන් දණ ගස්වා ‍පොලිසියට භාර වෙති. මේ අයුරින් තවත් ලස්සන දේවල් දිගින් දිගටම සිදුවෙයි. අතීතයේ ශ්‍රී ලංකාව හැඳින්වූයේ ධර්මද්වීපය හැටියට ය. ඊළඟට ශ්‍රී ලංකාව හැඳින්වූයේ ධර්මිෂ්ඨ රාජ්‍ය හැටියට ය. නිතර සිනහමුසු මුහුණින් යුතු කරුණාබරිත මිනිසුන් වසන පුංචි රාජ්‍යයක් ලෙසද පිටරැටියන් අතර අපේ රට ප්‍රකට විය. දැන් ඒ කිසි දෙයක් නැත. සමාජය ගමන් කරමින් සිටින්නේ කොතැනකට ද ?

අප මේ පූර්විකාව ලියා තැබුයේ කිලිනොච්චියේ හින්දු විද්‍යාලයේ සිද්ධියක් පිළිබඳ කිසියම් විවරණයකට යෑමට ය . සිද්ධිය ඇසූ සැණෙන් අපේ සිත් කම්පාවට පත්වෙයි. ඉහත විද්‍යාලයේ විනය භාර ගුරුතුමා සිසුන්ගේ විනය විරෝධී ක්‍රියාවකට දඬුවම් කර තිබේ. ශිෂ්‍යයන් ඒ දඬුවමට වාඩුවක් හෙවත් පළියක් ගෙන ඇත්තේ පුදුමාකාර ලෙස ය. ගුරුතුමා විවේකාගාරයේ සිටි අතර ශිෂ්‍යයෝ ඊට කඩා පැන පුටු ඔසොවා ඒවා කැඩෙනතුරු ගුරුවරයාට පහර දී ඇත. රට භාර ගැනීමට සිටින දරු පරපුරේ හැසිරීම මෙය නම්; අනාගතය ගැන සුබවාදීව සිතන්නේ කෙලෙසද? ශ්‍රී ලංකාව චිකාගෝ නුවරක් හෝ මැක්සිකෝවක් හෝ වීමට ඉඩ තිබේ.

පහර කෑ ගුරුවරයා රෝහල් ගත කර ඇත. ඔහුට සැලැකිය යුතු තුවාල සිදුවී ඇති බව වාර්තා වෙයි. පොලිසිය පරීක්ෂණ පවත්වන අතර පහර දුන් ශිෂ්‍යයන් හය දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් හා නඩු විභාගයක්ද සිදුවන්නට පුළුවන. එයින් මේ සිදුවීම සමථයකට පත්වනු ඇත. එ‍හෙත් මේ ආදර්ශය කොළඹට, නුවරට, යාපනයට හා තවත් ප්‍රදේශවලට ගිය කල සිදුවන්නේ කුමක්ද? කිසිම ගුරුවරයකුට දරුවකුට දඬුවමක් දීමට බැරිවනු ඇත. දඬුවමක් දුන් සැණෙන් ශිෂ්‍යයන් පෙරළා ගුරුවරයාට පහරදීමට පුළුවන. ඉතින් අපේ දරු පරපුර සුමඟට යොමු කරන්නේ කෙසේ ද ?

ගුරුවරුන් ශිෂ්‍යයන්ට දඬුවම් කිරීම ආදිකාලයේ පටන් පැවැත එන උපාය මාර්ගයකි. දඬුවම වෛරයකින් සිදු කරන ක්‍රියාවක් නොවේ. එය ශිෂ්‍යයාට ලබාදෙන පාඩමක් නැතහොත් මතක හිටින පාඩමක් ලෙස හඳුන්වා ඇත. ඒ දඬුවමෙහි සම්පූර්ණ අර්ථය වන්නේ දරුවා නිවැරැදි කිරීම ය. ඇතැම්විට දරුවාගේ ගමන් මඟ වෙනස් කිරීම ය. නැතහොත් දරුවාගේ ජීවිතයට අර්ථවත් ‍දෙයක් එකතු කිරීම ය. ශිෂ්‍යයකුට වේවැල් පහර කිහිපයක් දීමට නෛතික ප්‍රතිපාදනයක් ද ගුරුවරයාට ලබා දී ඇත. එහෙත් ඒ කිසිවක් දැන් සැලැකිල්ලට ලක්වන්නේ නැත. දරුවකුට දඬුවමක් දුන්විට මාපියෝ ද කලබල වෙති. කලබල වී ගුරුවරයාට එරෙහිව ක්‍රියා කරති.

වෛද්‍ය සභාවේ නිලවරණයක් 23 හා 24 යන දෙදින තුළ දී පැවැත්විණි. එහි අවසන් දිනයේ සන්ධ්‍යාවේ වෛද්‍යවරුන් දෙදෙනකු ගුටි ඇනගෙන දෙදෙනාම රෝහල් ගතකර තිබේ. දැන් ඒ ගැන ද විමර්ශනයක් පැවැත්වේ. වෛද්‍යවරුන් යනු රටේ පිළිගත් - උගත් පිරිසකි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළම සුදුසුකම් ලබන පිරිසක් යැයිද පිළිගැනීමක් තිබේ. අපේ අධ්‍යාපනයේ සුපිරිම බුද්ධිමතුන්ගේ හැසිරීම මෙය නම්; අධ්‍යාපනය ගැන නැවත සිතා බලන්නට සිදුවනු ඇත. එහි කුමක් හෝ අඩුවක් තිබෙන්නට පුළුවන. වෛද්‍ය සභාවට නිලවරණයක් හෝ සාමකාමී ලෙස පවත්වා ගත නොහැකි බවක් මෙයින් පෙනී යයි. රටේ වෙනත් ප්‍රශ්න ගැන වෛද්‍යවරුන් කතා කරන්නේ කෙලෙසදැ’යි සිතේ.

ඌව මහ ඇමැතිගේ සිද්ධියෙන් වුව පෙනී යන්නේ රටේ ඉහළම තනතුරු දරන අය පවා ගුරු ගෞරවය ‍නොසලකා හැර ඇති බව ය. ‍දේශපාලකයන් ආදර්ශවත් චරිත ගත කළ යුතු යැයි කියති. පහළින් ඉහළට නොව ඉහළින් - පහළට ආදර්ශය කාන්දු විය යුතු යැයිද කියති. එහෙත් මේ සියල්ලම කතාවට හා විවේචනයට පමණක් සීමා වී ඇත. මේ දිනවල දේශපාලකයන්ගේ වේදිකා කතා අසන විට ද පැහැදිලි වන්නේ සදාචාර සම්පන්න සමාජයක් නොව ප්‍රජාතන්ත්‍රවාදී ‍දේශපාලන සම්ප්‍රදායක් ඇති කිරීමට පවා අපට තව බොහෝ කාලයක් බලා සිටීමට සිදුවන බවය. මෙය කනගාටුවට කාරණයකි. මේ සිදුවීම්වලින් පෙනී යන්නේ ජාතියක් වශයෙන් අප පිරිහීමට ලක්වෙමින් සිටින බව ය.

සමාජය දෙස ආපසු හැරී බැලුව‍හොත් සෑම ක්ෂේත්‍රයක්ම පිරිහී ඇතැ’යි සිතන්නට පුළුවන. එක අතෙකින් වංචාව, දූෂණය හා අක්‍රමිකතා ඉහ - වහා ගොස් ඇත. තව අතෙකින් අනෙකාට ගෞරව කිරීමක් ඇත්තේ ම නැත. පාර්ලිමේන්තුවේ කතා දෙස බලනවිට ද මේ තත්ත්වය පැහැදිලි වෙයි. එහි සාර්ථක විවාදයක් කාලෙකින් සිදු වී නැත. ඇතැම් විවාද අවසන් වන්නේ ගුටි ඇනගැනීමෙන් ය. සමහර විටෙක සතුන්ගේ නම් වලින් අනෙකා ආමන්ත්‍රණය කිරීම ද සිදුවේ. සදාචාරය හා විනය සමාජය කෙරෙන් ඈත්වෙමින් පවතී. එහෙත් රටක ඉදිරි ගමන තීන්දු කරන එක් ප්‍රධාන සාධකයක් ලෙස ජාතියක විනයගරුක බව සටහන් වී ඇත. විනය හදන හොඳම තැන පාසලය. අද වන විට පාසලත් ඉන් බැහැර වී ඇත.

ශ්‍රී ලංකාවේ සදාචාරය හා විනය නැවත ගොඩනඟන්නේ කෙසේද යන ප්‍රශ්නයට විවිධ විද්වතුන් මත පළ කර තිබේ. එක මතයකින් කියැවෙන්නේ නීති - රීති අකුරටම ක්‍රියාත්මක කිරීම ඔස්සේ එය සිදු කළ හැකි බව ය. තව මතයකින් කියැවෙන්නේ පළමුව දරුවන්ගේ හිත් හැදිය යුතු බව ය. තවත් මතයකින් කියැවෙන්නේ මුළු මහත් සමාජයම චින්තන විප්ලවයකට හසු කර ගත යුතු බව ය. මේ සියලු අර්ථවලින් මතුවන්නේ මිනිසාගේ ඔළුව හැදිය යුතු බවකි. නැතහොත් ඔවුන්ගේ ආකල්ප වෙනස් කළ යුතු බවකි. ගුරුවරුන්ට පුටු කැඩෙන තුරු පහර දෙන දරුවන් සිටින සමාජයක ඔළුව හදන විද්‍යාත්මක ක්‍රමය සොයා ගත යුතුව තිබේ.

මේ සියලු සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ අනාගතය පිළිබඳ භයානක චිත්‍රයකි. එකිනෙකා නුරුස්සන හා එකිනෙකාට ගරු නොකරන සමාජයක් වෙතින් යුක්තිය හා සාධාරණත්වය අපේක්ෂා කළ නොහැකි ය. මහ පාරේ රථවාහන ධාවනය දෙස බලන විට සමාජය අනෙකාට දක්වන ගෞරවය හා සැලැකිල්ල පිළිබඳ තීරණයක් ගත හැකි ය. මහ පාරේ ඇත්තේ පිස්සන් කොටුවක ඇති දර්ශනයකි. මේවා වෙනස් කිරීමට සිටින අය ද පෙරළා මඩ ගොහොරුවේ ගිලෙති. දැන් අපට අසන්නට තිබෙන්නේ සමාජය මෙතැනින් - කොතැනටද යන්න පමණි. එක්කෝ අප මේවාට එරෙහිව නැඟී සිටිය යුතුය. නැතහොත් ඒ මත්තේ ගොස් විනාශ විය යුතුය. 


නව අදහස දක්වන්න

Or log in with...