යුද්ධ හමුදාව අවමානයට පත්කරන්න එපා - ViDEO | දිනමිණ

යුද්ධ හමුදාව අවමානයට පත්කරන්න එපා - ViDEO

යුද්ධ හමුදාව අවමානයට පත්කරනා කටයුතුවලින් වලකින ලෙස සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව පවසමින් යුද්ධ හමුදාව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යුද්ධ හමුදා නිළ වෙඩ් අඩවිය හරහා නිකුත් කර ඇති එම නිවේදනයේ සදහන් වන්නේ ද්වේශසහගතව පටු අරමුණු සඳහා සැඟවූ න්‍යාය පත්‍රවලට අනුකූලව ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටීම ඊට හේතුව බවයි.

අදාළ නිවේදනය පහත පරිදි දැක්වේ....  

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යහපත් ප්‍රතිරූපය කෙලෙසා දැමීමට සහ විශේෂයෙන්ම යුද්ධ හමුදා සාමාජිකයින්ගේ චිත්ත ධෛර්යය පහත හෙලමින් ඔවුන් නොමඟ යැවීමටත් ද්වේශසහගතව සිය පටු අරමුණු සඳහා සැඟවූ න්‍යාය පත්‍රවලට අනුකූලව සමහර පිරිස් කටයුතු කරමින් සිටිනා බව යුද්ධ හමුදාවට නිරීක්ෂණය වී ඇත.

ඉතා මෑතදී යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විදේශ ගමන් දීමනා, ආහාර සළාක, රණක්ෂිතයට පත් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ වැටුප් හා දීමනා වැනි කරුණු සබැඳිව විවිධ මාධ්‍ය හරහා අසත්‍ය හා ගොතන ලද පුවත් මවමින් සංවිධානත්මකව මෙම ප්‍රචාරයන් සිදුකරනා බව තහවුරුවී ඇත.ඩ

යුද්ධ හමුදාව විසින් විදේශීය පුහුණු අවස්ථා සඳහා යවනු ලබන යුද්ධ හමුදා නිලධාරීන් වෙනුවෙන් හිමිගන්වනු ලබන දීමනාවන් පිළිබඳව ප්‍රථමයෙන්ම පැහැදිලි අර්ථ කථනයක් ලබාදිම කලයුතුය. විදේශ පාඨමාලාවන් සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරින්ට හිමිගන්වනු ලබන දීමනා සහ වෙනත් ගෙවීම් ආයතනීය චක්‍රලේඛ වලට අදාලව කරනු ලබන සියලු දිමනා සිදුකරනු ලබන්නේ එවැනි පාඨමාලාවන් හිමිගන්වනු ලබන විදේශීය ආයතනය සහ ශ්‍රී ලංකා යුද්ධ  හමුදාව අතර පවත්නා සුහද අනෝන්‍ය අවබෝධතා ගිවිසුම් (MOU) හි කොන්දේසිවලට අනුකූලව අදාල නිලධාරියා දිවයිනෙන් පිටත්වීමට පෙරය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ත්‍රිවිධ හමුදා නිලධාරින්ට පාඨමාලා ප්‍රදානය කරන විදේශීය ආයතන බොහෝ අවස්ථාවලදි ආහාරපාන, නවාතැන් සහ අනෙකුත් පහසුකම් ඔවුන්ගේ අනුග්‍රහයෙන් සැපයීම හෝ අදාල කාලය සඳහා ප්‍රමාණවත් යැපුම් දීමනාවක් හිමිගන්වනුයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ විදේශීය ආයතනය සමඟ පවතින මිත්‍රශීලි සුහදත්වය සහ අනෝන්‍ය අවබෝධාත්මක සහයෝගය හේතුවෙනි.

වර්ෂ 2016/2017 වෙනුවෙන් එවැනි විදේශ දීමනා වශයෙන් මෙතෙක් හිමිගැන්වීම ප්‍රමාද වී තිබු රු. මිලියන 200 ක පමණ හිඟ මුදලක් ආරක්ෂක අමාත්‍යාංශ සම්බන්ධීකරණයෙන් අදාල නිලධාරින්ට හිමිගැන්වීමට 2018 ජනවාරි වන විටත් යුද්ධ හමුදාව අවශ්‍ය පියවර ගෙන ඇති බවද සඳහන් කිරීම වටි.

එසේම, සෙබලුන්හට රාජකාරින්හි නිරත අවස්ථාවලදි නව පෝෂ්‍යදායි දිවා ආහාරවේලක් ලබාදීමේ යහපත් අරමුණ පෙරදැරිව පසුගියදා අත්හදාබැලිමේ පදනමින් දියත් කරන ලද ව්‍යාපෘතියක් පිළිබඳවද විකෘති අර්ථ කථනයන් ජනගත කෙරෙමින් තිබෙන බැව් ද යුද්ධ හමුදාව නිරීක්ෂණය කරයි.

දැනට ක්‍රියාත්මක වන ‘නීරෝගී හමුදාවක් - නීරෝගී දැයක්’ යන සෞඛ්‍ය ව්‍යාපෘතිය මෙහෙයවන කොළඹ යුද්ධ හමුදා රෝහලේ සහ අනෙකුත් පෝෂණවේදින් ඉදිරිපත් කල වාර්තාවකට සුවිශේෂ අවධාණය යොමු කල යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් කඳවුරෙන් පිටතවාසි සහ තුලවාසි ලෙස සේවයේ නියුතු සෑම හමුදා සෙබලෙකු වෙනුවෙන්ම රාජකාරි නියුතු අවස්ථාවලදි පෝෂ්‍යදායි රසවත් දිවා ආහාරවේලක් ලබාදීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවය සලසන සියළු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් මෙම නව ක්‍රමවේදය හඳුන්වාදෙන ලෙස අදාල හමුදා බළධාරින්ට උපදෙස් ලබාදෙන ලදි.

මෙම නියමු ක්‍රමවේදය කඩිනමින් ක්‍රියාවට නැංවීමට තවත් මූලික වූ කරුණක් වූයේ රාජකාරින්හි නියුතු සෑම හමුදා සාමාජිකයකුගේම හෝ සාමාජිකාවකගේම ශාරීරික ශක්තිමත්භාවය පවත්වාගැනීමට දිනකට කැලරි 3500 – 4000 අතර පෝෂණ අගයක් තිබිය යුතු බවට අදාල පෝෂණවේදින් සහ වෛද්‍ය විශේෂඥයන් නිර්දේශකර තිබු බැවිනි.

ඒ අනුව, බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත හමුදා කඳවුරුවල සියලු නිලයින් වෙනුවෙන් වර්ෂ 2018 ජනවාරි මස 01 වන දින සිට සෞඛ්‍ය සම්පන්න ඉහළ පෝෂණ අගයකින් යුක්ත දිවා ආහාර වේලක් ලබාදීමේ මෙම පර්යේෂණාත්මක ව්‍යපෘතිය ක්‍රියාවට නැංවුණි. යුද්ධ හමුදා කඳවුරේ ‍නොරැදි තම නිවසේ සිට රාජකාරියට වාර්තා කරන ‘පිටතවාසි සෙබලුන්’ වෙනුවෙන් මෙම නව ආහාර සළාකය ලබාදීම සඳහා වන පිරිවැය ඔවුන් සෑම මසකදිම ලබාගන්නා දිවා ආහාර වේල ප්‍රමාණයන් මත පමණක් ගණනය කොට ඔවුන්ගේ සළාක අගයෙන් අඩු කිරීමට ඉතා සාධාරණ ක්‍රමවේදයක් ද හඳුන්වාදෙන ලදි. එසේ වුවද ‘පිටතවාසි’ කිසියම් හමුදා සාමාජිකයෙක් සිය දිවා ආහාරය නිවසින් රැගෙනවිත් අනුභව කිරීමට රුචියක් දක්වන්නේ නම්, ඒ සඳහා ද ඉඩ ප්‍රස්ථාව සලසා දෙමින් මෙම නව නියමු ක්‍රමවේදය ක්‍රියාත්මක කරන ලදි. කිසියම් යුද්ධ හමුදා සාමාජිකයෙකුට මෙම නව ආහාර සළාක ක්‍රමය පිළිබඳ වෙනත් කිසියම් හෝ ගැටළුවක් වූයේ නම් එයද ඔවුන්ගේ අණදෙන නිලධාරින් හරහා විසඳාදීමට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති අතර සාවද්‍ය ප්‍රචාර මගින් පතුරුවන මාසික වේතනය කපා දැමීමක් හෝ කිසිදු අඩු කිරීමක් පිළිබඳ ගැටළුවක් ඒ අනුව පැන නොනැඟෙන බවද පෙන්වාදෙනු කැමැත්තෙමි.

එසේම, පටු දේශපාලන අභිමතාර්ථ හා අවශ්‍යතා වෙනුවෙන් යුද්ධයෙන් ආබාධිත වූ ඇතැම් රණවිරුවන් සහ ඔවුන්ගේ ඥාතින් වීදි සටන්වලට පොළඹවා විටින්විට සංවිධානගත උද්ඝෝෂණ ක්‍රියාත්මකවනු දකිනුයේ අදාළ යුද්ධ හමුදා රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප සහ ආබාධිත ගෙවීම් 100% දක්වා වැඩිකර ඔවුන්ගේ ගැටළු බොහෝ දුරට විසඳා ඇති අවධියක බවද කණගාටුවෙන් වූවද සටහන් කරනු වටි.

එවැනි විවිධ දේශපාලන න්‍යායපත්‍ර අරභයා කටයුතු කරන එවැනි පිරිස් වර්තමානයේ යුද්ධ හමුදාව විසින් නව බඳවාගැනීම් හා යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමේ අරමුණින් යුද්ධ හමුදාව නිත්‍යානුකූල ලෙස හිමිකම් ඇතිව නිෂ්පාදිත විඩියෝ ප්‍රචාරක දැන්වීමක් ද ඔවුන්ට අවශ්‍ය පරිදි විකෘති කොට දේශපාලන අරමුණ සඳහා යොදාගෙන ඇති ආකාරයද ඉතා ශෝචනීය වන අතර දේශයේ ස්වෛරීභාවය ආරක්ෂා කොට සාමය ස්ථාපිත කරනු ලැබු දහස් ගණනක් වූ රණවිරුවන්ගේ කීර්තිනාමයට කරනු ලබන අවමානයක් බැව්ද වැඩිදුරටත් පෙන්වා දෙන අතර එමගින් යුද්ධ හමුදාව දේශපාලනීයකරණයට ලක්කර ඇති බවද ගම්‍ය කරනු ලබයි.

ජාතික ආරක්ෂාව සහ ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියේදි විශීෂ්ඨම සේවය සලසන්නා ලෙස ඉදිරිපත්වෙමින් අනභිබවනිය කාර්යභාරයක් ඉටුකරමින් රට තුල සංහිඳියාව හා සංවර්ධනය ප්‍රවර්ධනය කරමින් කටයුතු කරනා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් ප්‍රතිරූපය මෙලෙස කූඨ ලෙස හා පටු අරමුණු සඳහා යොදාගනිමින් හමුදා සාමාජිකයන්ගේ ගෞරවය, ජනතාව ඉදිරියේ සැහැල්ලු කර අවමානයටත් අපකීර්තියටත් පත් කෙරෙන කටයුතුවල නිරත නොවන ලෙස අදාල සියළු පාර්ශවයන්ගෙන් යුද්ධ හමුදාව ඉතා කරුණිකව ඉල්ලා සිටි. (නිමාව)

නව අදහස දක්වන්න