යකඩ යකා නවීකරණයට | දිනමිණ

යකඩ යකා නවීකරණයට

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය හැඳින්විය හැක්කේ කෙසේ ද? මහජන මත කිහිපයක් ඔස්සේ ඒ ගැන විමසමු. එක ‍මතයකට අනුව අපේ දුම්රිය සේවය යනු ඉල්ලුමට අනුව සැපයුම ලබාදිය නොහැකි සේවාවකි. අපේ කාර්යාලයීය දුම්රියක් දෙස බලන විට ද, දුර සේවා දුම්රියක් දෙස බලන විට ද තත්ත්වය වටහාගත හැකි ය. තව මතයකට අනුව දුම්රිය සේවය යනු ආණ්ඩුවට නැතහොත් රජයට බලවත් පාඩුවක් සහිතව ගෙන යන මහජන සේවාවකි. එය ද සංඛ්‍යා දත්ත අනුව පිළිගත හැකි ය. තවත් මතයකට අනුව මගියා තුට්ටුවකට නොසලකන සේවාවක් ලෙස ද එය ගත හැකිය. දුම්රිය සේවාවට එරෙහිව නැ‍ඟෙන මහජන පැමිණිලිවලින් ඒ බව සනාථ කරගත හැකි ය.

දුම්රිය සේවය සම්බන්ධයෙන් විවිධ විවේචන පවතින බව සත්‍යයෙකි. එය රජයට බරක් ලෙස පවතින බව ද සත්‍යයෙකි. එහෙත් දුම්රිය සේවය පැය කිහිපයකට අකර්මණ්‍ය වුවහොත් ඉන් රටේ ආර්ථිකයට සිදුවන හානිය ගණනය කළ නො හැකි තරම් ය. රාජ්‍ය සේවය සඳහා වාර්තා කරන පිරිසගෙන් සැලැකිය යුතු කොටසක් දුම්රියේ ගමන් කරති. මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර කරන අයගෙන් සැලැකිය යුතු පිරිසක් ද දුම්රිය භාවිත කරති. මහජනයාගෙන් සැලැකිය යුතු පිරිසක් ද එදිනෙදා කටයුතු සඳහා දුම්රිය පාවිච්චි කරති. මේ හැරෙන්නට ජනී - ජනයාගේ විනෝද චාරිකා, අධ්‍යාපන චාරිකා හා වන්දනා ගමන් සඳහා ද දුම්රිය යොදාගන්නා බව පැහැදිලිය. මෙහි අර්ථය වන්නේ රටේ ප්‍රවාහනයේ සැලැකිය යුතු කොටසක් දුම්රිය සේවාව විසින් ඉටුකරනු ලබන බව ය.

ඉංග්‍රීසි ජාතිකයා සිය ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ආරම්භ කළ මෙරට දුම්රිය සේවාව අද පොදු ජනයාගේ ප්‍රවාහන මාධ්‍යයක් බවට පත්වැ තිබේ. එහි නොයෙක් දුර්වලතා පවතින්නේ වුව අදටත් මහජනයාට ලාභදායී හා ආරක්ෂාකාරී ප්‍රවාහන සේවයක් සපයන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව යැයි කියන්නට පුළුවන. දිනකට කොළඹට ඇදී එන දුම්රිය මගීන්ගේ සංඛ්‍යාවෙන් ඒ බව පැහැදිලි කර ගත හැකි ය. මේ වන විට දුම්රිය යනු මහජනයාගේ දෛනික අවශ්‍යතාවකි. දිනක හෝ පැයක හෝ දුම්රිය වර්ජනයකින් සමාජය තුළ මතුවන කැලඹීමෙන් දුම්රිය සේවයේ වර්තමාන අවශ්‍යතාව වටහාගත හැකිය. ඇතැම් විශේෂඥයන්ගේ මතය වන්නේ අපේ රටේ ප්‍රවාහනය දියුණු කරන්නේ නම්; පළමුව දුම්රිය සේවය ප්‍රවර්ධනය කළ යුතු බව ය. තවත් මතයකින් කියැවෙන්නේ අධිවේගී මාර්ග ඉදිකිරීම නවත්වා දුම්රිය සේවය දියුණු කළ යුතු බව ය.

දුම්රිය සේවයේ නූතන තත්ත්වය කෙබඳු ද? එය සතුටුදායක නැත. දුම්රිය මාර්ග බොහොමයක් අබලන් ය. ඒ සියල්ලට වඩා දුම්රිය එන්ජින් පිළිබඳ ගැටලුවක් පවතී. දුම්රිය එන්ජින් ඇත්තේ ස්වල්ප ප්‍රමාණයකි. ඒවා ද බෙහෙවින් පරණ ය. මීට වසර පනස් ගණනකට පෙර කොළඹ ක්‍රමය යටතේ අපට ලැබුණු දුම්රිය එන්ජින් තවම ධාවනය කෙරේ. අලුතින් ගෙන්වනු ලැබූ බලවේග කට්ටලවලින් බොහොමයක් අබලන් ය. ඒවා අපේ මාර්ගවලට ඔරොත්තු නොදෙන තත්ත්වයක් ද පවතී. ඉන්දියාව සමඟ ඒකාබද්ධ වී අපේ දුම්රිය සේවය නැංවීමට පියවර ගැනිණි. එහෙත් එය මුළුමනින් ම සාර්ථක වූයේ නැත. චීනයේ සහාය ලබාගනිමින් අපේ දුම්රිය සේවය නැංවීමට පියවර ගැනිණි. එය ද මුළුමනින් ම සාර්ථක වූයේ යැයි කිව නො හැකිය. දැන් අලුත් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. ඒ ඉන්දුනීසියාවේ සහයෝගය මත අපේ දුම්රිය සේවය වැඩිදියුණු කිරීම ය. එය අලුත් අදහසක් සේ සැලැකිය හැකිය.

ඉන්දුනීසියාව යනු ගිනිකොණදිග ආසියාවේ දියුණු රාජ්‍යයෙකි. දූපත් විශාල සංඛ්‍යාවකින් සමන්විත මේ රාජ්‍යය ඉන්දියාව, චීනය හා ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධතා පවතින්නේ ඈත අතීතයේ සිට ය. ජකර්තා නුවර සම්බන්ධයෙන් පළවන ලෝක වාර්තාවලට අනුව ඉන්දුනීසියාවේ දියුණුව හා ස්ථාවරත්වය ගැන සලකා බැලිය හැකිය. ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර අගමැතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය නැංවීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට ඔවුන් සූදානම් බව ය. එරටට දියුණු ගුවන් සේවයක් මෙන් ම දුම්රිය සේවයක් ද තිබේ. එම ආදර්ශ ශ්‍රී ලංකාව වැනි රටකට බෙහෙවින් වැදගත් වීමට පුළුවන.

ඊයේත් යම් පමණක දුම්රිය වර්ජනයක් පැවැතිණි. එය බලපෑවේ දුර ගමන් සේවා සඳහා ය. වර්ජකයන්ගේ තර්කය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ දැනට පවතින ඇතැම් එන්ජින් මෙන් ම මැදිරි ද අපේ රටේ ගමනාගමනයට සුදුසු නැති බව ය. එය දේශපාලන තර්කයක් වන්නටත් පුළුවන. කුමක් වුව වර්ජකයන්ගේ අදහස් මුළුමනින්ම බැහැර කළ නො හැකිය. ඔවුන් පෙන්වා දෙන අන්දමට අප දැනට භාවිත කරනු ලබන චීන එන්ජින් එනම්; බලවේග කට්ටල රටට නොගැළපෙයි. එම බලවේග කට්ටල නිතර ලෙඩ වන බව ද කියති. මේවා හොඳින් විමර්ශනය කළ යුතු සාධක ලෙස පෙන්වා දිය හැකි ය. කුමක් වුව අපේ දුම්රිය සේවය ප්‍රතිසංස්කරණය කළ යුතු ය. ඒ සඳහා විදේශීය විශේෂඥ කණ්ඩායම්වල සහයෝගය පැතීම නිරන්තරයෙන් ම සිදුවිය යුත්තකි. එසේ නොවුණහොත් දුම්රිය සේවය පරිහානියට යනු ඇත.

ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය කෙරෙහි සිය විශේෂ අවධානය යොමුකර තිබේ. එය ද අතිශය වැදගත් ය. ඒ අනුව ලබන සතිය වන විට එරට ප්‍රවාහනය පිළිබඳ විශේෂඥ කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිතය. ඔවුන්ගේ ශක්‍යතා වාර්තාවලට අනුව වැඩසටහනේ ඉදිරි පියවර ගනු ඇත.

යාපනය, කන්කසන්තුරේ, තලෙයිමන්නාරම, මඩු පාර යන ප්‍රදේශවලට කොළඹ සිට දුම්රිය ධාවනය සිදුවන්නේ අලුතෙන් ය. එම ප්‍රදේශවල දුම්රිය මාර්ග පද්ධතිය ඉතා හොඳින් පවතින්නේ වුව; විශ්වාසයක් තැබිය හැකි දුම්රිය එන්ජින් හෝ පෙට්ටි හෝ අප සතුව නැත. ඒවා රට තුළ නිෂ්පාදනය කිරීම ද පහසු කටයුත්තක් නොවේ. 1991 දී මෙරටට ගෙන්වන ලද කොරියා/ ජපන් බලවේග කට්ටල එනම්; S/8 වර්ගයේ දුම්රිය හොඳින් දුවන අතර ඒවායෙහි මැදිරි ජරාවාස වී ඇත. මේවාට විසැඳුම් මාර්ගයක් තිබිය යුතු ය. එය කළ හැක්කේ ඉන්දුනීසියාව වැනි රාජ්‍යයකින් සහයෝගය ලබාගෙන දුම්රිය සේවය දියුණු කිරීමෙන් ය. දැන් ඊට අවස්ථාව ලැබී තිබේ.

නව අදහස දක්වන්න