හිටපු ජනපති දූෂණ චෝදනා 3කට කොමිසම වැරැදිකරු කර තිබෙනවා | දිනමිණ

හිටපු ජනපති දූෂණ චෝදනා 3කට කොමිසම වැරැදිකරු කර තිබෙනවා

චමීර ඇල්ලදෙණිය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දූෂණයට කුමන්ත්‍රණ කිරීම හා අනුබල දීම යන කාරණ තුනටම වැරදිකරු බවට බරපතළ වංචා, දූෂණ අපරාධ පිළිබඳ ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ස්වාධීන රූපවාහිනයට පමණක් රුපියල් කෝටි 20කට ආසන්න ප්‍රමාණයක් අලාභ සිදු කර ඇති බවට ඔප්පුවී තිබෙන බවත් පෙන්වා දුන් නියෝජ්‍ය ඇමැතිවරයා හිටපු ජනාධිපතිවරයකුට ඕනෑම අවස්ථාවකදී නඩු පැවරිය හැකි බවද කියා සිටියේය.

විදුලිබල අමාත්‍යාංශයේදී ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ කී අජිත් පී පෙරේරා මහතා ජනාධිපති මුක්තිය ඉතා සීමා සහිත බවත් සිය ධුරයේ කළ ඕනෑම වැරැද්දක් සඳහා නඩු පැවරිය හැකි බවත් සඳහන් කළේය.

ජනාධිපති මුක්තිය සිය ධුරයේ වැඩකටයුතු කරන සීමාවේදී පවතින බවත් එහිදී සිදුවන ඕනෑම චෝදනාවක් සඳහා එම ධූරකාලයෙන් පසුව නඩු පැවරිය හැකි බවත් හෙතෙම අනාවරණය කළේය. එහිදී අදහස් දැක්වූ විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා - බරපතළ දූෂණ අපරාධ පිළිබඳ ජනාධිපති කොමිසම මඟින් ස්වාධින රූපවාහිනී සේවයට සිදුවූ පාඩුවට අදාළ පරීක්ෂණ සිදු කළා. එහි පළමු වගඋත්තරකරුවා වශයෙන් ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති අනුර සිරිවර්ධන, දෙවන වගඋත්තරකරුවන් අරුණ මූර්ති විජේසිංහ, තුන්වන වගඋත්තරකරු උපාලි රංජිත්, සිව්වන වගඋත්තරකරු දිලිප් ප්‍රියන්ත පස්වන වගඋත්තරකරු කෙහෙළිය රඹුක්වැල්ල, සයවන වගඋත්තරකරු වන පර්සි මහින්ද රාජපක්ෂ හෙවත් හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ යන අයට දූෂණය, දූෂණයට කුමන්ත්‍රණය කිරීම හා දූෂණයට අනුබල දීම වැනි කරුණු යටතේ වැරැදිකරුවන් කර තිබෙනවා.

මෙහි මහින්ද රාජපක්ෂට එල්වී ඇති චෝදනා වන්නේ ස්වාධින රූපවාහිනයේ පුරප්පාඩුවක් නොමැතිවිට පත්වීම ලබාදී, 2015 ජනාධිපතිවරණය සමයේදී ස්වාධින රූපවාහිනියට රුපියල් දස කෝටි දහහත් ලක්ෂයක් පාඩු සිදු කිරීම, ජනාධිපතිවරණ සමයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් රුපියල් ලක්ෂ 86ක වටිනා දැන්වීම් ලබාගෙන පළ නොකිරීම නිසා ඇති කළ පාඩුව, වෙනත් අපේක්ෂකයින්ට දැන්විම් පළකිරීමේදී දැන්වීම් සඳහා අදාළ මුදලට වඩා දෙගුණයක් ලබාගනිමින් රුපියල් කෝටි 11ක අලාභයක් සිදුකිරීමයි. මෙම කරුණු සලකාබැලූ ජනාධිපති කොමිසම වගඋත්තරකාර මහින්ද රාජපක්ෂ වරදකරු වශයෙන් නිගමයන කර තිබෙනවා.

එහිදී ඔවුන් නිගමය ලෙස අල්ලස් පනතේ 70 වන වගන්තියට අනුව දූෂණය, දූෂණයට කුමන්ත්‍රණ කිරීම හා දූෂණයට අනුබලදීම කර ඇති බව තහවුරු කර තිබෙනවා. ස්වාධීන රූපවාහිනියට පමණක් රුපියල් කෝටි 20කට ආසන්න මුදල් අලාභ කිරීම හේතුවෙන් අධිචෝදනා ගොනු කර මහාධිකරණය නඩු පැවරීමට කොමිසම කියා තිබෙනවා. මේ අපි කතා කරන්නේ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවයි. එයයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. මීට පෙර අතුරු වාර්තා ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබෙනවා.

නමුත් මේ අවසන් වාර්තාවේ 148 හා 149 පිටුවල මෙසේ සඳහන් වෙනවා. ‘ස්වාධින රූපවාහිනියට අදාළ සිදුවීමේදී සයවන වග උත්තරකරු සියයට සියයක් රාජ්‍ය දේපළ පෞද්ගලික දේපළ ලෙස සලකා කටයුතු කිරීම කර තිබෙනවා. එමඟින් සයවන වග උත්තරකරු වරදක් කර තිබෙන බව පෙනීයනවා. මෙවැනි වරැදි සිදුකළ අය රටේ ජනතාව වෙනුවෙන් සේවයක් කළ හැකියැයි අපේක්ෂා කළ නොහැකියි. මෙවැනි අය දේශපාලනය කිරීම හෝ අපේක්ෂකත්වයක් දැරිම ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කිරිම නුසුදුසු යැයි කොමිෂන් සභාවේ අදහසයි. ඒ අනුව මහාධිකරණයක නඩු පවරා වසර හතක් ප්‍රජා අයිතිය අහෝසි කිරීම ප්‍රමාණත් නොවේ. මේ අයට ජීවිත කාලයට ප්‍රජා අයිතිය අහෝසි කිරීමට අදාළව නීතිය සංශෝධනය කළ යුතුයි.‘

ගම්මන්පිල මන්ත්‍රීතුමාටත් ලබාදුන්නේ මේ අවසන් වාර්තාවමයි. ඇයි එතුමා ඔයතරම් පක්ෂපාතී වෙලා තිබෙන්නේ. මහින්ද රාජපක්ෂගේ වංචා දුෂණ මේවනවිට ඔප්පු වී තිබෙනව. අපි හිතනවා ජනාධිපතිතුමා අතුරු වාර්තාටිකත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි කියා. ජනාධිපති මුක්තිය තිබෙන නිසා නඩු පවරන්න බැහැ කියා කියන්නේ අසත්‍යක්. ජනාධිපති ධුර කාලයේදී පමණයි එම මුක්තිය හිමි වන්නේ. ජනාධිපති ධුරයෙන් ඉවත් වූ පසු නඩු පැවරිය හැකියි. ඊට හොඳම උදාහරණය චන්ද්‍රිකා මැතිණියගේ වෝටර්ස් ඒජ් නඩුව. එතුමිය ජනාධිපති ධුරයෙන් ඉවත් වූ පසුව එම නඩුව විභාගයට ගත්තා. ඊට අදාළ තින්දු දුන්නා. ජනාධිපති ධුරයේ සිටන විටදි දෝෂාභියෝගයක් ගෙනැවිත් ජනාධිපතිවරයා ඉවත් කළ හැකියි. ඔය ඕනෑම රටක තිබෙන පොදු කාරණාවක්. ඒවා සීමිත මුක්තියක් පමණයි. ගම්මන්පිල තමයි ගීතා කුමාරසිංහ මහත්මියටත් නීති උපදෙස් දුන්නේ. එතුමියගේ තනතුරත් නැති වුණා. මහින්ද රාජපක්ෂටත් කියන්න තිබෙන්නේ ගම්මන්පිල වැනි අයගෙන් උපදෙස් ගත්තොත් හිරේ යන්න වෙනවා. මොකද අපි කියන්නේ මේ නඩු ළඟ ළඟ එනවා. ඒ නිසා හොඳ නීතිඥයකුගෙන් උපදෙස් ගන්න. නිතියට හැමෝටම සමානයි. දූෂණ විරෝධී මහාධිකරණයෙන් මෙම නඩුව කඩිනමින් විමසනවා. 

චන්දිමා කරුණාරත්න

අදහස් 3ක් ඇත

yako korapu lokuma dusanaya aru ,,, aru,, wa nathi bangasthana korapu ekane, ada thopi pare bahala yana ekata uwa keliyane wade meka awurudu kalpayak ada gena yanna nodiiiiii!

Now Mahinda Rajapaksha is a private citizen so he cold be charged in court. The commission must find out how he became so rich after becoming the President.

නව අදහස දක්වන්න