දේශපාලන කැටපත...! | දිනමිණ

දේශපාලන කැටපත...!

 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට දින දෙකකට ඉහත දී අපූරු කතාවක් කියා තිබිණි. එය ඔහුගේ ම වචනවලින් කිවහොත් සම්මුතිවාදී රජයේ පාලනය කැටපතක් වගේ ය. එහි සැඟවීමට දෙයක් නැත. විනිවිදභාවය, විවෘතභාවය මෙන්ම ඇත්ත යථාර්ථය ද කැටපත මත සටහන් වේ. අපට හැ‍ඟෙන පරිදි කැටපතේ කතාව වච‍නයෙන් පමණක් නො ව; ක්‍රියාවෙන් ද සනාථ වී ති‍ෙබ්. ආණ්ඩුවක් පළමුවරට තමන්ගේ පාර්ශ්වයේ වැරැදි සොයන්නට කොමිසමක් පත් කළේ ය. ඒ හැරෙන්නට පක්ෂ මට්ටමින් තවත් විමර්ශනයක් ද සිදුකළේ ය. මේවා අලුත් දේශපාලන සංස්කෘතියකට පාර කපන බව කිව යුතු ය.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් බැඳුම්කර සිද්ධියට සම්බන්ධ දැයි සොයා බැලීම සඳහා තිලක් මාරපන කමිටුව පත් කළේ ය. මේ කමිටුව පත් කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ උපදේශනය මත ය. කමිටුව කාර්යක්ෂම ලෙස සිය විමර්ශන නිමාවට පත් කළ අතර සති දෙකක් තුළ වාර්තාව අගමැතිවරයාට ලබා දී ඇත. දැනට පවතින ආරංචිවල හැටියට රවී කරුණානායක මහතා එජාප උප නායක පදවියෙන් ඉවත් කළ යුතු බව කමිටු නිර්දේශවල සඳහන් ය. මේ සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බව ද වාර්තා වී ඇත.

බැඳුම්කර සිද්ධිය පිළිබඳ උණුසුම් සංවාදය ආරම්භ වීමත්; ඊට අදාළ විමර්ශන ආරම්භවීමත් සිදුවූයේ එකවර යැයි කියන්නට පුළුවන. මෙහි සමාරම්භයත් සමඟම රවී කරුණානායක මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. ඔහු සිය ඉල්ලා අස්වීම සිදුකරන්නේ ලෝකයේ හොඳම මුදල් අමාත්‍යවරයකු ලෙස ජගත් සම්මානයට පාත්‍ර වී වැඩි කලක් යන්නට පෙරාතුව ය. රවී කරුණානායක මහතාගේ මහත්මා ගතිය ද, රාජ්‍යතාන්ත්‍රිකභාවය ද මේ සිද්ධියෙන් ඉස්මතු වෙයි. එලෙස ම පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ ඇති විනයගරුක බව ද එයින් සනාථ වෙයි.

රවී කරුණානායක මහතාට සිය ධුරයේ රැඳී සිටීමට ඕනෑතරම් නෛතික ප්‍රතිපාදන තිබිණි. අදට වුව ඔහු වරදකරුවෙක් නො වේ. කරුණානායක මහතා ඉල්ලා අස්වූයේ විමර්ශනවලට සහයෝගය පළකිරීමක් වශයෙන් ය. අනෙක් අතට දේශපාලන සදාචාරයට ගරුකරමින් ය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට ගියේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙමින් ය. මෙලෙස සාක්ෂි ලබාදීමේ අර්ථය වන්නේ ද බැඳුම්කර විමර්ශනවලට සහයෝගය දැක්වීම ය. අගමැතිවරයා මේ වනවිටත් කියා සිටින්නේ මේ නඩු විභාග ඉක්මනින් අවසන් කොට වරදකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බව ය. විශේෂ අධිකරණ තුනක් ස්ථාපිත කිරීමට ද රජය කටයුතු කරගෙන යයි.

බැඳුම්කර සිද්ධියට අදාළව කරුණු සෙවීම සඳහා එක්සත් ජාතික පක්ෂය පත් කළ තිලක් මාරපන කමිටුව ඒ සම්බන්ධයෙන් නිර්දේශ ගණනාවක් ලබා දී ඇති බව වාර්තා වී තිබේ. එහෙත් එම නිර්දේශ සියල්ල ජනගත වී නැත. පක්ෂයක විමර්ශන වාර්තා ජනගත කළ යුතු ද යන්න ගැටලුවකි. කෙසේ වුව රවී කරුණානායක මහතා පක්ෂයේ උපනායක පදවියෙන් ඉවත් කළ යුතුය යන නිර්දේශයට ප්‍රචාරයක් ලැබී ඇත. ඒ පිළිබඳ තීන්දුවක් ගත යුත්තේ පක්ෂය මිස රටේ ජනතාව නො වේ. රවී කරුණානායක මහතා එජාපයේ ජනප්‍රිය නායකයකු බව ද මන්ත්‍රීවරයකු බව ද පමණක් අපට ලියා තැබිය හැකි ය. ඔහු වරදකරුවකු යැයි අපට කිව නො හැකි ය.

වංචා, දූෂණ හා අක්‍රමිකතා ගැන ප්‍රබල සංවාදයක් දැන් පවතී. මේ සංවාදය ආරම්භ වූයේ ද රජය දූෂණයට එරෙහිව ක්‍රියා කරන්නට පටන් ගත් නිසා ය. මීට පෙර ආණ්ඩු සිදුකළේ පසුගිය ආණ්ඩුවේ වැරැදි සොයමින් කොමිසන් පත්කිරීම ය. දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට බලයේ සිටින රජයක් තම පාර්ශ්වයේ වැරැදි සොයන්නට පටන්ගෙන තිබේ. බැඳුම්කර සිද්ධිය රටේ ආන්දෝලනාත්මක දෙයක් බවට පත්වන්නේ විමර්ශන නිසා ය. මේ විමර්ශන නිසා අතීත දූෂණ වැලක් ද එළියට එනු ඇත. ඇතැම්විට ඒවා වඩාත් බරපතළ දූෂණ විය හැකි ය. තර්කයක් ලෙස ගතහොත් වැරැද්ද කවුරු කළත් එක ය. ඊට දේශපාලන පක්ෂයක්, පාටක්, පුද්ගලයෙක් ප්‍රධාන විය යුතු නැත. ජනාධිපතිවරයා හා අගමැතිවරයා අනුදත් පිළිවෙත ද එය යැයි සිතන්නට පුළුවන.

නිදහසින් පසු ගෙවී ගිය වසර හැත්තෑවකට ආසන්න කාලය තුළ රාජ්‍ය තන්ත්‍රයෙහි නොයෙක් ආකාරයේ වංචා, දූෂණ හා අක්‍රමිකතා සිදුවී ඇත. ඇතැම් බරපතළ වංචා හා දූෂණ හෙළිදරව් වී ඇත්තේ ඊට වසර ගණනාවකට පසුව ය. එවිට ඒ ගැන විමර්ශනය කිරීමෙන් ද පලක් නැත. තවත් දූෂණ හා වංචා එහෙම පිටින් ම යට ගසා ඇති බව දැනගන්නේ ද කාලයකට පසුව ය. සැලැකිය යුතු කාලයක් තිස්සේ නීතිය පවා හරිහැටි ක්‍රියාත්මක වී නැති බව ඉතා පැහැදිලි ය. ඇතැම් වංචා දේශපාලන බලය මත යට ගසා තිබිණි. තවත් දූෂණ නොදැනුවත්භාවය නිසා යටගොස් තිබිණි. අදත් ඒ කිසිවකට ඉඩක් නැත.

බැඳුම්කර වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය නිසි ලෙස පැවැත්වූ‍ෙය් නම්; ඒ පිළිබඳ හොඳ විචාරයක් ජනගත වීමට ඉඩ තිබිණි. එහෙත් පිරිසක් එය කඩාකප්පල් කළහ. ඉන් පෙනී යන්නේ මේ සිද්ධිය පිළිබඳ සම්පූර්ණ සත්‍යය හෙළිදරව් වීම වළක්වන බලවේග ද ඇති බව ය. දැන් එම විවාදය ලබන හයවනදා පැවැත්වීමට තීන්දු කර තිබේ. බැඳුම්කර වාර්තාව පමණක් නො ව; බරපතළ වංචා හා දූෂණ පිළිබඳ කොමිසන් වාර්තාව ද එදින විවාදයට ගනු ඇත. එය හොඳ අවස්ථාවක් ලෙස සැලැකිය හැකි ය. රටේ පැවැති සියලු දූෂණ හා වංචා ගැන සංවාදයක් පැවැත්වීම අනාගතයට වැදගත් ය. අපේ ඉලක්කය විය යුත්තේ දූෂණයෙන් තොර අනාගත ශ්‍රී ලංකාවකි.

දූෂණය හා වංචාව කවුරු සිදුකළත් එය වැරැදි ය. ඊට අදාළ දඬුවම් වැරැදිකරුවන් වෙත නොපමාව ලබාදීම ශිෂ්ටත්වයට එකඟය.

 

නව අදහස දක්වන්න