ඇත්ත කතාව | දිනමිණ

ඇත්ත කතාව

ජනාධිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ජනගත කළ අදහස් හා මතවාද රටේ බුද්ධිමත් ප්‍රජාවගේ මෙන් ම සාමාන්‍ය ප්‍රජාව‍ගේ ද දැඩි අවධානයට ලක්වී ඇති බවක් පෙනෙයි. එම ප්‍රකාශනවලින් රටේ වර්තමාන දේශපාලනය, අනාගත සංවර්ධනය හා රට යා යුතු දිශානතිය ද පැහැදිලි කරයි. රටේ ආර්ථිකය , අන්තර්ජාතික සබඳතා, නීතිය හා සාමය ඇතුළු බොහෝ විෂය ක්ෂේත්‍රයන් පැවැතිය යුතු ප්‍රමිතිය ජනාධිපතිවරයා පැහැදිලි කර ඇතැ‍’යි සිතන්නට පුළුවන. මේ වන විට රටේ ජනතාව පසුවන්නේ සංවාදාත්මක පසුබිමක යැයි කීම නිවැරැදිය. එහි එක් අර්ථයක් වන්නේ නායකයන්ට කන්දීමත් ඔවුන්ගේ මතවාද විමර්ශනයට ලක් කිරීමත් දැන් සිදුවිය යුතු බවය.

අප උපුටා දක්වන මාධ්‍ය සාකච්ඡාවේදී රජය ජනතාව වෙනුවෙන් ඉටුකරන හා සැලැසුම් කරන වැඩසටහන් පෙන්වා දී ඇත. රටට අවශ්‍ය අන්තර්ජාතික සහයෝගය ලබාගන්නා ක්‍රමවේදය පැහැදිලි කර ඇත. තුන්වන ලෝකයේ රටවල ආර්ථිකය හා දේශපාලනය විනාශ කරනු ලබන මහා පරිමාණ දූෂණ - වංචා - හා අක්‍රමිකතා සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරයද විග්‍රහ කර ඇත. ඉන් නොනැවතී යහපත් හා පිළිගත හැකි දේශපාලන සංස්කෘතියක් ගොඩනඟන ආකාරයද ඉන් පෙන්වා දී ඇත. මෙබඳු සැලැසුමකින් තොරව රටක් ඉදිරියට ගෙන යා නොහැකි ය. ඒ බව ජනාධිපතිවරයා ඉතා හොඳින් වටහාගෙන ඇති බව පෙනෙයි.

තුන්වන ලෝකයේ රටවල ජනාධිපතිවරුන් හෙවත් ප්‍රධාන පුරවැසියන් ගැන සලකා බලන විට පෙනී යන යථාර්ථ දර්ශනයක් තිබේ. එනම්; මේ හැම කෙනකුම පාහේ හිතුවක්කාරී ලෙස මහජන ධනය වැයකර ඇති බව ය. අනෙක් අතට බලයෙන් උද්දාම වී ඇති බව ය. තවත් විටෙක මෙබඳු නායකයන් ප්‍රජාතන්ත්‍රවාදය තුට්ටුවකට සලකා නැත. එලෙස ම තමන්ගේ ප්‍රතිරූපය ස්ථාපනය කිරීම සඳහා බරපතළ ධනයක් වැය කර ඇත. ඇතැම් විට විසමාචාර ක්‍රියාවල ද යෙදී ඇත. ඉරාකය, ලිබියාව, උගන්ඩාව, පිලිපීනය ඇතුළු අප්‍රිකානු හා ආසියානු රාජ්‍ය ගණනාවක්ද, එම රාජ්‍යවල කටයුතු කළ නායකයන් ගණනාවක්ද නිදසුන් ලෙස දැක්විය හැකි ය.

මෛත්‍රීපාල සිරිසේන නම් වූ අපේ ජනාධිපතිවරයා සහතික වන්නේ ජනාධිපති නිල ඇස්තමේන්තුවලට අදාළ පැහැදමෙන් 90 %ක් පමණ ප්‍රමාණයක් තමන් කපා හැර ඇති බවය . සිරිසේන මහතා කියන ලෙස ඒවා අනවශ්‍ය වියදම් ය. නැතහොත් බොරු ශෝභන වියදම් ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යාපනයේ ද ජනාධිපති මන්දිරයක් ඉදි කළේය. ඒ සඳහා වැය කළ මුදල රුපියල් කෝටි 350 කට වැඩිය. එහෙත් අද එය නිෂ්කාරණේ පවතී. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අදහස එය හෝටලයක් කළ යුතු බව ය.

දුරදක්නා ඥානයක් හා රට පිළිබඳ පොදු හැඟීමක් නැති නායකයෝ ජනතාවට අවශ්‍යතා හා රටට අවශ්‍ය අනාගත සැලැසුම් ගැන නොසලකා ක්‍රියා කරති. ඇතැම් නායකයන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කල්පනා කර නැත. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන පමණක් නොව; තම පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ද සලකා බලා නැත. නිදසුනක් ගතහොත් මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු යැයි පෙන්වා දුන් ඇතැම් දේශපාලන නායකයන්ම පළාත් පාලන මැතිවරණයේ කොට්ඨාස ක්‍රමයට විරුද්ධ වූ බව අපට මතක ය. ඔවුන් හුරු - පුරුදු වී සිටියේ මනාප ක්‍රමයට යැයි කිව හැකි ය. කොට්ඨාස ක්‍රමය ඉල්ලා සිටීමටත් එය මතවාදයක් ලෙස ඉදිරියට ගෙන යෑමටත් ජනාධිපතිවරයා සැලැකිය යුතු සහයෝගයක් ලබාදී ඇත. එය යහපත් ක්‍රියාවකි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන ලෙස මේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ වංචා, දූෂණ හා අක්‍රමිකතාවලට කිසිදු ඉඩක් නැත. මෛත්‍රීපාල සිරිසේන මහතාම පෙන්වා දෙන අන්දමට පක්ෂ, පාට, ජාති හා වෙනත් සුදුසුකම් හා වටිනාකම් නොබලා දූෂණයට එරෙහිව ක්‍රියා කරන්නට රජය සූදානම් ය. ඒ අනුව තමන්ගේ ම පක්ෂ‍යේ කෙනකුට වුව දඬුවම් ලබාදීමට රටේ නායකයන් හිත හදා ගත යුතු ය. එබඳු සිද්ධි ගණනාවක් ද මෑතක දී වාර්තා විය. ඒවා එකිනෙක දැක්වීම පුනරුච්ඡාරණයක් වනු ඇත. එහෙත් එදා නායකයන්ගේ ඇත්ත වතගොත ද හෙළිදරව් කළාට කමක් නැත. සරල නිදසුනක් ගතහොත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හම්බන්තොටින් පමණක් සම්බන්ධීකරණ ලේකම්වරු සියයක් සිටියෝ ය. ඉතින් නාස්තිය නවත්වන්නේ කෙසේ ද?

මේවා වෙනස් කිරීම සඳහා ගත යුතු ප්‍රධාන ක්‍රියා මාර්ගය වන්නේ නීතිය හරි හැටි ක්‍රියාත්මක කිරීමය. නීතිය යන විෂයය ද මේ වනවිට ආන්දෝලනාත්මක ය. එක පැත්තකින් පෙනී යන්නේ නීතිය අකුරටම ක්‍රියාත්මක වන බවකි. තව අතෙකින් පෙනී යන්නේ නීතිය ක්‍රියාත්මක වීමට බොහෝ කල්ගතවන බව ය. බොහෝ කාලයක් ගත වී යුක්තිය ඉටුවීම යනු බරපතළ පාඩුවකි. එම පාඩුව ඇතැම්විට වින්දිතයා දරා ගත යුතුය. කුමන තත්ත්වයක් පැවැතියද නීතියට ස්වාධීන ලෙස ගලා යෑමට රජය ඉඩ දී තිබේ. එහි අවසන් අපේක්ෂාව වන්නේ යුක්තිය ඉටුවීම ය. රටේ ප්‍රධානීන් පොලිසියට හා අධි කරණයට බලපෑම් නොකරන නිසාම දැන් එම ක්ෂේත්‍රවල ප්‍රගතියක් දකින්නට ලැබේ. විනිසුරුවන් දෙනු ලබන තීන්දුවලින්ද එය පැහැදිලි වේ.

ජනාධිපතිවරයා රටේ ප්‍රධාන පුරවැසියා ලෙසද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍යේ සභාපතිවරයා ලෙස ද අනෙක් අතින් පාර්ලිමේන්තුවේ සිටින පැරැණිම මන්ත්‍රීවරයකු ලෙසද ආදර්ශවත් දේශපාලකයකුගේ භූමිකාව රඟ දක්වමින් සිටින බව පෙනෙයි. ජනාධිපතිවරයා ජනතාව වෙත කාරුණිකව දක්වා ඇත්තේ රටේ අනාගතය පිළිබඳ තර්කානුකූල ප්‍රතිපත්තියකට හා තීන්දුවකට යා යුතු බව ය.

නව අදහස දක්වන්න