ඉබ්බන්කටුව මහශිලා සුසානය | දිනමිණ

ඉබ්බන්කටුව මහශිලා සුසානය

අතීතයේ දී ශ්‍රී ලාංකිකයන් දියුණු ශිෂ්ටාචාරයකට හිමිකම් කියා ඇති බව මාතලේ දිස්ත්‍රික්කයට අයත් දඹුල්ල ඉබ්බන්කටුව මහශිලා සුසාන භූමියෙන් මතු කරගෙන ඇති සොහොන් කොත්වලින් සනාථ වේ.

1970 වර්ෂයේ සිට අසූව දශකයේ අග භාගය දක්වා කාලය තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය සමඟ ජර්මනියේ කාවා ආයතනය ද එක් ව සිදුකළ පරීක්ෂණවල දී සොහොන් කොත් විසිඑකකින් සමන්විත පොකුරක් සොයාගැනීමට හැකිව ඇත.මෙහිදි සොයාගත් අඟුරු නියැදි කාලනිර්ණය කිරීමේදි අනාවරණය කර ගැනීමට හැකිව ඇත්තේ මෙම සුසානය ක්‍රි.පූ.600ට පෙර ඉදිකර ඇති බවය.

මෑතක දී එම ස්ථානයට නුදුරින් තවත් සොහොන් කොත් හතළිස් හතක් සොයාගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරින් කණ්ඩායමකට හැකි වී තිබේ.

හෙක්ටයාර් 13ක් පුරා විහිදී ඇති සුසාන භූමියේ මේ වනවිට පවුල් විස්සක් පමණ පදිංචිවී සිටින බැවින් දැනට මෙම භූමිය මීටර 700-400 ප්‍රමාණයේ බිම් කඩකට සීමාවී ඇත.

මෙම යුගයට අයත් යැයි සැලකෙන සොහොන් කොත් සීගිරිය සහ යටිගල්පොත්ත පෙදෙසින්ද මීට පෙර හමුවී ඇතත් ඉබ්බන්කටුව මහශිලා සුසානයෙහි විශේෂත්වය වන්නේ එහි ඇති විශාලත්වයයි.තවද මෙම සොහොන් බිමට මීටර් තුන්හාරසියයක දුරකින් ඇති භූමි භාගයේ අතීතයේ ජනකොටසක් විසූ බවට එහි සිදුකරන ලද විද්‍යාත්මක පරීක්ෂණවලින්ද ඔප්පුවේ.

බරණි සුසානය නමින් හැඳින්වෙන මෙම සුසාන භූමිය මෙරටින් සොයාගත් මෙකී සම්ප්‍රදායට අයත් විශාලතම සුසානය බව පුරාවිද්‍යා නිලධාරීන්ගේ මතය වී ඇත.දැනට දිවයිනේ විවිධ පළාත්වලින් මෙවැනි සුසාන භූමි සියයක් පමණ හමුවී ඇතැයි ද නිලධාරිහූ පවසති.එබැවින් ඉබ්බන්කටුව මහශිලා සුසානය අතීත මානවයාගේ තවත් පැතිකඩක් විදහා දැක්වීමක් බව නොඅනුමානය.

මෙම සොහොන් කොත් තුළ භෂ්මාවශේෂ බහාලන ලද මැටි බරණි තැන්පත්කර එය ගල්පතුරු හතරකින් වටකර පියන් ගලකින් වසා ඇත.ඇතැම් සොහොන් කොත් වැසීම සඳහා පියන් ගල් යොදා නොමැත.තවද මෙහි සිදුකළ කැණීම්වල දී පුර්ව ඵෙතිහාසික යුගයේ මානවයා විසින් භාවිතා කළ මැටි බඳුන් ද සොයාගැනීමට හැකිවීමෙන් එහි පැවති තාක්ෂණය මැනවින් පිළිබිඹු වේ. එසේම එදා පැවති සංස්කෘතික ලක්ෂණ ද එයින් විදහා දැක්වේ.

මොවුන් විසින් භාවිතා කර ඇති තඹ,යකඩ සහ පබළු වැනි දෑද මෙම සොහොන් කොත්වල තිබී සොයාගෙන ඇත. එබැවින් එම අවධියේ දියුණු තාක්ෂණයක් ශ්‍රී ලාංකිකයන් සතුව තිබූ බව මැනවින් සනාථවේ. එහෙත් කාලයාගේ ඇවෑමෙන් අප සතුව පැවති මෙම වටිනා තාක්ෂණය මෙන්ම සංස්කෘතීන්ද විවිධ හේතුන් නිසා සමාජයෙන් අතුරුදහන්ව ගොස් තිබේ. පසුගිය සියවසේ මැද භාගයේ පවා ඇතැම් ග්‍රාමීය පෙදෙස්හි බිලිඳු මළ සිරුරු කිසිදු මිහිදන් කිරීමකින් තොරව කැලයට දමා ඒමේ සිරිතක්ව තිබූ බව මෙම ප්‍රදේශයේ වයෝවෘද්ධ ගැමියෝ පවසති.

මෙකී ඵෙතිහාසික මහාශිලා සුසානයෙන් සොයාගත් තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයන් පූර්ව ඵෙතිහාසික යුගයේ දියුණු තාක්ෂණයකින් හෙබි දියුණු සංස්කෘතියකට නෑකම් කී මිනිස් කොට්ඨාසයක් බව නිගමනය කළ හැකිය.

මෙම ඵෙතිහාසික සුසානය සොයාගැනීමත් සමඟම දිවයිනේ දැනට සොයාගෙන ඇති වටිනා ඵෙතිහාසික ස්ථානවලට මෙම නව සොයාගැනීම ද එක්වේ. මේ ස්ථානය කේන්ද්‍රකර ගනිමින් තවදුරටත් පර්යේෂණ සිදුකළහොත් මානවයා පිළිබඳ සැඟවී ඇති අතීත තොරතුරු සමුදායක් හෙළිකර ගැනීමට ද හැකිවනු නොඅනුමානය.

මෙම නව සොයාගැනීමත් සමඟම දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලෝක උරුම දෙකක් වන ඵෙතිහාසික සීගිරිය සහ රන්ගිරි දඹුලු ලෙන් විහාරයට තවත් එක් ඵෙතිහාසික ස්ථානයක් එක්වේ.

මධ්‍යම සංස්කෘතික අරමුදල මෙහෙයවීමෙන් ඉකුත්දා මෙම මහශිලා සුසානය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස විවෘත කරන ලදී.මේ වනවිට දෙස් විදෙස් සංචාරකයින් සෑහෙන සංඛ්‍යාවක් මෙම ඵෙතිහාසික ස්ථානය නැරඹීමට පැමිණෙමින් සිටී.

මහාශිලා සුසානය නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයකුගෙන් ඩොලර් දෙකක ගාස්තුවක් අයකරනු ලැබේ. දේශීය සංචාරකයකුට ඒ සඳහා ගෙවීමට සිදුවනුයේ රුපියල් විස්සක ගාස්තුවක් බව කළමනාකාරිත්වය පවසයි.

මෙසේ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට ඉබ්බන්කටුව මහශිලා සුසානය පත්වීමත් සමඟම ප්‍රදේශවාසින්ගේ ආර්ථික තත්ත්වයේ ද කැපී පෙනෙන වෙනසක් ඇති වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.මෙම ඵෙතිහාසික ස්ථානය හරහා සංචාරක ව්‍යාපාරයේ දියුණුවට ද මඟ සැලසේ.මේ වනවිට මෙම ඵෙතිහාසික මහශිලා සුසාන භූමිය ආශ්‍රීතව ගම් වැසියන් විසින් වෙළෙඳ කුටි ද ආරම්භ කර ඇති අතර එය ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ද ඉමහත් ශක්තියක් ව ඇත.

ඒ.ඒ.එල්.ඩයස්
මාතලේ දිස්ත්‍රික් සමූහ

නව අදහස දක්වන්න