ජා-ඇල වෙළෙඳ පොළ කමකට නැත | දිනමිණ

ජා-ඇල වෙළෙඳ පොළ කමකට නැත

ජාඇල පොදු වෙළෙඳ පොළ අද ඉතාමත් අබලන් වී ඇතුළත කානු පද්ධතිය කාලයකින් ශුද්ධ පවිත්‍ර කර නොමැති නිසා මැසි මදුරුවන්ගෙන් ගහනය වෙළෙඳ කුටිවල වර්ණවත් දැන්වීම් පුවරු නිසා පිටතට ශෝභමානව පෙනුණද ඇතුළතින් අපායක් බඳුය. උඩින් ඔපේ යටින් හපේය.

කාලාන්තරයකින් ප්‍රතිසංස්කරණයක් සිදු වී නැති බැවින් ගොඩනැගිලි වහල දිරාපත් වී ඇත. විදුලි කම්බි එල්ලෙමින් පවතින අතර බැලූ බැලූ අත මකුණු දැලින් පිරී බිත්ති පුපුරා ගොස් ඇත.

වෙළෙඳුන් පවසන අන්දමට වර්ෂාව පවතින කාලයට මුළු වෙළඳ පොළ තුළ වතුර දෝරෙ ගලා යයි. දැඩි අප්‍රසන්න පෙනුමකින් සමන්විත වෙළෙඳ පොළේ කුටි සෙල්ලම් ගෙවල් බඳුය. වෙළෙඳ පොළේ දීර්ඝ කාලයක් වෙ‍ළඳාම් කරන යක්කඩුවේ

පී. ඊ. ඩී. නොයෙල් මහතා -

අපි දුර බැහැර පොළවල්වලින් එළවළු ගෙනාවට අලෙවි කරගන්න හරි අමාරුයි. මං ලෑලි බිමක පොඩි ඉඩ ප්‍රමාණයකට ජාඇල නගර සභාවට දවසට රුපියල් 50 බැගින් බදු මුදල් ගෙව්වාට පාරිභෝගිකයන් දැන් එළවළු ගන්න එනවා අඩුයි. ඇති ලාභයක් නැහැ. දැන් අවුරුදු 30 ක් තිස්සේ මේ රැකියාව කරන්නෙ. මං තිදරු පියෙක්. කරුමයට එළවළු අලෙවි කරන රැකියාවට ආවට වෙනත් තැනක කම්කරු රැකියාවක් කළා නම් අඩුතරමේ අර්ථසාධක අරමුදලවත් ලැබෙනවා. මේ ලැබෙන සොච්චම් ලාභයෙන් ජීවත්වෙන්න හරි අමාරුයි. දැන් එළවළු වැඩි හරියක් විකිණෙන්නෙ වෙළෙඳ පොළට පිටින්. නගර මධ්‍යයේ වෙළෙඳපොළ නිසා මාකට් එක ඇතුළේ වෙළඳාමක් නැහැ. අද මාකට් බැහැල වෙළඳ සංකීර්ණ ඉහළට ඇවිත් හැමතැනම ෆුඩ් සිටි. මේ නිසා අපේ දරු පවුල් අසරණවෙලා.

මේ වෙළඳ පොළ ආරම්භ කළේ එදා 1978 නොවැම්බර් මස 11 වෙනිදා එවකට කම්කරු ඇමැති ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ ආරාධනයෙන් දිවංගත අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා. අද වෙනකොට අවුරුදු 40 ක්.

මෙම වෙළඳ පොළ පටන් ගන්නත් ප්‍රථම වෙළඳාමෙන් ජීවිතය ගැටගසා ගත් දරු මුනුපුරු මිනිපිරියන් 10 දෙනෙක් ඉන්න මේ වෙළෙඳ පොළේ තවත් පැරැණි සාමාජිකාවක් වන

ජී. කරුණාවතී මහත්මිය -

මේ වෙළඳ පොළ බිහිවෙන්න ඉස්සරත් මං එළවළු වෙළඳාම කරපු කෙනෙක්. එදාත් මං පලා වර්ග අලෙවි කෙළේ. අදත් එහෙමයි. එතකොට අද පොලිසිය පිටුපස සෙක්කුවත්ත කියන ප්‍රදේශයේ තමයි. මං වෙළඳාම කරගෙන ගියේ. දැන් මේ වෙළෙඳපොළේ කාලය ඉවරයි කියලා මටත් හිතෙනවා. ඒ තරමටම පොදු වෙළෙඳ පොළ අද හරියට අබලන්. වැස්සට මුළු වෙළඳ පොළම තෙමෙනවා. වෙළඳාමත් අඩුයි.

ඉස්සර සවස එක දෙක වෙනකොට එළවළු ඔක්කොම විකිණෙනවා. අද ඇඳිරි වැටෙනකම් පලා ටික විකුණගන්න කෑගහන්න ඕනෑ. අවුරුදු 40 ක සිට පවතින මේ වෙළෙඳපොළේ මම පැරණිම වෙළෙන්දියක්. නගර සභා පාලනය යටතේ පැවත්වෙන මෙම වෙළඳ පොළේ පරිපාලනය දුර්වලයි. පොළ දියුණු කරන්න උනන්දුවක් නැහැ. බදු ගන්න තමයි උනන්දුව.

යූ. ඩී. රංජිත් අප්පුහාමි (45) -

මේ වෙළඳ පොළේ මම වෙළඳාම් කරන්නේ ලෑලි කොටුවක. නගර සභා පාලනය යටතේ කෙරෙන වෙළඳ පොළට මං දවසකට රුපියල් 50 ක් බදු ගෙවන්න ඕනෑ. මං, කොල්ල කාලේ ඉඳන් මේකෙ එළවළු දාගෙන වික්ක. ජීවත්වෙන්න ක්‍රමයක් නැති නිසා තමයි උදේ හිටන් ඇඳිරි වැටෙනකම් බඩු විකුණන්නෙ. අපෙ ජීවිතයේ හොඳ කාලය මාකට් එකට තමයි ගෙවල ගියේ.

මොන කරුමයක්ද මන්ද දැන් ඉස්සර වගේ බඩු ගන්න එන අය අඩුයි. ඊට හේතුවක් තමයි වාහන නවත්වන්න තැනක් නැහැ. අද වෙළඳ පොළට පිටින් හුඟ දෙනෙක් බඩු විකුණනවා. මේ ක්‍රමය නවත්වන්න අපිට බැහැ. නමුත් නගර සභාවට ඒ දේ කළ හැකියි. එමනිසා ජාඇල නගර සභාව ඉදිරිපත් වෙලා මේ පරණ ගොඩනැගිල්ල වෙනුවට නව ගොඩනැගිල්ලක් ඉදිකළොත් හොඳයි. ජාඇල නගර සභාවේ උඩ තට්ටුවේ ද තත්ත්වය කනගාටුදායකය. වෙළඳාමක් නොමැති නිසා කඩ කාමර බොහොමයක් වැසී ඇති බව ජනතාව පැවසූහ.

ලෙස්ලි පෙරේරා
ජාඇල මධ්‍යම

නව අදහස දක්වන්න