රට බෙදන්න කිසිවකුට ඉඩ තබන්නේ නැහැ | දිනමිණ

රට බෙදන්න කිසිවකුට ඉඩ තබන්නේ නැහැ

කවුරු කොහොම චෝදනා කළත්

රට කැඩීමට සහ බෙදීමට කටයුතු කරන බවට ඇතැමුන් චෝදනා නැඟුව ද රට කැඩීමට හෝ බෙදීමට තමා කිසිවිටෙකත් සූදානම් නොමැති අතර, ඊට කිසිවකුට ඉඩ නොතබන බව ද ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ ඊෙය් (01) පෙරවරුවේ පොළොන්නරුව, සෙවණපිටිය ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි.

ජනහමුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ බොරු ප්‍රචාරවලට සහ අවස්ථාවදී දේශපාලන උපක්‍රමවලට අද මේ රටේ ජනතාව හසුනොවන බවත් රට ගමන් කරන දිසාව පිළිබඳ ජනතාව අවදියෙන් කටයුතු කරන බවත්ය.

අද රටට අවශ්‍ය රජෙක් පාලනය කරන ඒකාධිපති පාලනයක් නොව ජනතාව රට පාලනය කරන ක්‍රමයක් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා එම දේශපාලන මෙන්ම සමාජ පරිවර්තනය රටේ ඇති කිරීමට ඉකුත් වසර තුනේ තමන් කැප වූ බව සඳහන් කළේය.

අද දූෂිත දේශපාලනඥයන් එකම කණ්ඩායමක් ලෙස සන්ධානගතවෙමින් සිටින අතර මෙම වැඩපිළිවෙළ ජනතාව අවබෝධකරගත යුතු බව පැවසූ ජනාධිපතිතුමා ඔවුන් බොහෝ දෙනා බලය ඉල්ලන්නේ ජනතාවට සේවය කිරීමට හෝ රට සංවර්ධනයට කිරීමට නොව තම පුද්ගලික සංවර්ධනය උදෙසා බව ද කියා සිටියේය.

වංචා දූෂණ සිදුකරමින් ජනතාවගේ මුදල් කොල්ලකන සහ බලය අනිසි ලෙස භාවිතා කරමින් රාජ්‍ය සම්පත් විනාශ කරන දේශපාලනඥයන්ට එරෙහිව පසුගිය යුගයේ සිටි නායකයන් පියවර නොගත්තා මෙන්ම ඒ පිළිබඳ කථා කිරීමටවත් අකමැතිවීම හේතුවෙන් පසුගිය යුගයේ වංචා දූෂණ වැඩිවූ බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

තමා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කොළඹ මහබැංකු මූලස්ථානයේ පැවැති රජයේ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡාවකට සහභාගී වූ අවස්ථාවේ මැති ඇමැතිවරු සමඟ රජයේ වංචා දූෂණ පිළිබඳ කතා කළ විට පසු දා උදෑසනම තමා අරලියගහ මන්දිරය වෙත කැඳවූ හිටපු නායකයා ආණ්ඩුවේ ඇමැතිවරයෙක් සහ පක්ෂයේ ලේකම් ලෙස රජයේ වංචා දූෂණ පිළිබඳ කතා නොකළ යුතු බවටත්, වෙනත් ගමනක් යාමට සූදානම් වනවා දැයි තමාගෙන් ඇසු ප්‍රශ්නය පිළිබඳවත් මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ වංචා දූෂණවලට එරෙහිව කටයුතු කිරීම පමණක් නොව ඒ පිළිබඳව කතා කිරීමටවත් නොහැකි නම් අනිවාර්යෙන්ම තමන් ජනතාව වෙනුවෙන් වෙනත් ගමනක් යා යුතු යැයි එදා තීරණය කළ බවයි.

වංචාවට දූෂණයට එරෙහිව කටයුතු කිරීමේ දී පක්ෂ, පාට, තනතුරු, ඥාති මිත්‍රකම් කිසිවක් නොසලකන අතර අද රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ද තම සහෝදරයන්ට ද එය ක්‍රියාත්මක වන්නේ එක ලෙස බව තමා මේ වන විට පෙන්වා තිබෙන බව ජනාධිපතිතුමා කියා සිටියේය.

මේ අතර පොළොන්නරුව, කලහගල ශ්‍රී ධර්මරාජ විහාරස්ථානයේ ස්ථාපිත කළ ජල පිරිපහදු පද්ධතිය ද පෙරවරුවේ විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.

මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක්, ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සැමට සුවසෙත සැලසෙන නිරෝගී ජන සමාජයක් බිහිකිරීමේ අරමුණින් වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන සහ ජපාන සංසදයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය මිට්සුකි සුගී මහතාගේ ධන පරිත්‍යාගයෙන් මෙම ජල පිරිපහදු පද්ධතිය ඉදිකර තිබේ.

පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ කලහගල ශ්‍රී ධර්මරාජ විහාරස්ථානයේ ඉදිකෙරුණු නව දහම් පාසල් ගොඩනැගිල්ල ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.

විහාරාධිපති පොළොන්නරුව දිසාවේ ප්‍රධාන සංඝනායක කුරුවාඕයේ ධම්මසිද්දී නායක හිමිපාණන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමාට ආශිර්වාද කළහ.

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

අනතුරුව පොළොන්නරුව දිඹුලාගල ප්‍රාදේශීය සභාවට මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කර තිබූ ජනහමු කිහිපයකට ද ජනාධිපතිතුමා එක්විය.

ජනාධිපතිතුමා පළමුව එක්වූයේ දිඹුලාගල, ගල්තලාව ප්‍රදේශයේ පැවැති ජනහමුවකටය. අනතුරුව යාය 8 බෝධිය අසළ පැවති ජනහමුවකට ද ජනාධිපතිතුමා එක් විය.

ජනාධිපතිතුමා 1989 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්වීමෙන් අනතුරුව පොළොන්නරුව ජනතාව වෙනුවෙන් දියත් කළ පළමු සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදිකෙරුණු යාය 8 පාලම අසළ පැවැති මෙම ජනහමුවට එක් වූ ජනාධිපතිතුමාට එම ප්‍රදේශවසීන්ගෙන් හිමිවූයේ උණුසුම් ප්‍රතිචාරයකි.

ඉන් අනතුරුව යාය 5 ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානය අසළ පැවැති ජනහමුවකට ද ජනාධිපතිතුමා සහභාගී විය.

අරලගංවිල සහ විජයබාපුර කොට්ඨාස වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජනහමු සංවිධාන කර තිබුණි.

ඉන් අනතුරුව අරලගංවිල බෝගස් හංදිය ප්‍රදේශයේ පැවැති ජනහමුවකට ද ජනාධිපතිතුමා එක්විය. එහිදී ජනතාව අමතමින් ජනාධිපතිතුමා අවධාරණය කළේ තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ආරම්භ කළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩපිළිවෙළ කාර්යක්ෂම සහ කඩිනම් කිරීමට ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව විශේෂ වැඩකොටසක් ඉටුකළ බවයි.

දූෂණයට, වංචාවට සහ ඒකාධිපතිත්වයට එරෙහිව කටයුතු කළ ලෝකයේ රටවල නායකයන් සමඟ එම රටේ ජනතාව ද සෑම අවස්ථාවකම නැගී සිටී අතර, ජනතාව සමඟ එක්ව වංචාවට දූෂණයට සහ ඒකාධිපතිත්වයට එරෙහි සටන ඉදිරියටම ගෙනයන බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිත පිරිසක් මෙම ජනහමුවට එක්ව සිටියහ. 

නව අදහස දක්වන්න