රාජපක්ෂ සමයේ ණයට ගත් ට්‍රිලියන 10ක් පොත්වල නෑ | දිනමිණ

රාජපක්ෂ සමයේ ණයට ගත් ට්‍රිලියන 10ක් පොත්වල නෑ

කමනී අල්විස්

රාජපක්ෂ පාලන සමයේ පොත්පත්වල සඳහන් නොවන ට්‍රිලියන දහයක ණය ලබාගෙන තිබෙන්නේ පුනරාවර්තන වියදම් (එදිනෙදා වියදම) සඳහා බව ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (1) අනාවරණය කළේය.

මේ ට්‍රිලියන ගණනක පොත්පත්වල නැති ණය ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා සිදුකළේ නිවැරැදි සත්‍ය ප්‍රකාශයක් බව පැවසූ නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා ජාතික වත්කම් රෙජිස්ටරයක් පවත්වාගෙන යාමට රාජපක්ෂ රජය අපොහොසත්වීම නිසා මෙම ණය සඳහන් නොවන බවත් කීය.

ජාතික වත්කම් රෙජිස්ටරයක් වසර 2015 ආරම්භ කර තිබෙන බවද නියෝජ්‍ය ඇමැතිවරයා මේ සා විශාල ට්‍රිලියන ණය ගැන පොත්වල සටහනක් නැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශය නිවැරැදි සත්‍ය ප්‍රකාශයක් බවත් නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය හෑල්ලුවට ලක්කරමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ ජනාධිපතිවරයා මිලියන බිලියන පැටලී එසේ ප්‍රකාශ කළ බවයැයි පැවසූ නියෝජ්‍ය ඇමැති ආචාර්ය ද සිල්වා මහතා අසත්‍ය ප්‍රකාශ සිදුකරන්නේ කබ්රාල් මහතා බවත් ප්‍රකාශ කළේය.

රාජ්‍ය මූල්‍ය වගකීම් පනත යටතේ වත්කම් රෙජිස්ටරයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය වසර 2003 දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන් බව පැවසූ නියෝජ්‍ය ඇමැතිවරයා එම අවශ්‍යතාවය ඉටුනොකර මුදල් භාගයක් සාක්කුවටත් තවත් සීයට දහයක් බැසිල් මහතා ඩුබායි සහ සීෂෙල්වල තැන්පත් කර තිබෙන බවත් කීය.

බැසිල්, ගෝඨා, මහින්ද වත්කම් රෙජිස්ටරය සකස් කර නැති බවත් අජිත් නිවාඩ් කබ්රාල්, පී. බී. ජයසුන්දර හොරකම් කිරීමට ඉඩ දී එදා බලාසිටිය බවත් පැවසීය. නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (1) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

එහිදී නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය.

උද්ධමනය අඩුකිරීමේ වෑයමක මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නිරතව සිටිනවා. ඔහු දේශපාලනය නොකර වෘත්තීමය ස්ථාවරයක සිටිමින් ගෞරවාන්විත වෘත්තීමය තීරණ ගැනීම ගැන ආචාර්ය කුමාරස්වාමි මහතාට ස්තූතිය පිරිනැමිය යුතුයි.

අගමැතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් සමඟ පවත්වන රැස්වීම්වලදී කුමාරස්වාමි මහතා ගනු ලබන තීන්දු තීරණ අගය කරනවා.

එදා සීයට අටයි දශම නවයට ඩොලර් මිලියන හත්සිය පනහක ණය ජාතික ඉතිරිකිරීමේ බැංකුවට මේ වසරේ ගෙවිය යුතුයි. ඩී. එෆ්. සී. සී. බැංකුවට සීයට නවයයි දශම නමයේ පොලියට ඩොලර් බිලියන ගණනක ණය රැගෙන තිබේ. විදෙස් සංචිත ඩොලර් බිලියන එකේ සිට දෙක දක්වා රැගෙන තිබේ. දෙදහස් විස්ස, දෙදහස් විසිඑක තුළ ගෙවීමට ඇති ණය කන්දට මේවා අයිතියි. මෙම ණය වගකීමක් නොමැතිව ගත් ණයයි.

‍පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා සඳහා නිමල් පෙරේරා, කබ්රාල්, නාමල් රාජපක්ෂ ඩාන්ස් දමමින් ගිය ආකාරය ජනතාවට මතක ඇති. ඩොලර් බිලියන ගණනින් වියදම් කළේ අප එපා කියද්දි. වඳුරන් දඟලන ක්‍රිකට් ක්‍රීඩාංගණ බල්ලන් ගැවසෙන සම්මන්ත්‍රණ ශාලාවක්. මිරිස් වේලන වැඩකට නැති ගුවන්පාලම් එදා හදලා රට ණය කන්දරාවකින් පිරෙව්වා.

වත්මන් ආණ්ඩුව මෙම සියලු ණය ගෙවීමට ණය කළමනාකරණ සැලැස්මක් සකස් කර තිබේ. එම සැලැස්මට ජාත්‍යන්තර මූල්‍ය ආයතනය, ලෝක බැංකුව, රේටින් ඒජන්තවරු විශේෂඥයින් කැමැත්ත පළ කර තිබෙනවා. රටේ සංවර්ධනය සිදුකරමින් මෙම ණය ගෙවීම් කරගෙන යනවා යැයි නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

ඡායාරූපය - රොෂාන් පිටිපන 

නව අදහස දක්වන්න