නිදහසට අරුතක්..! | දිනමිණ

නිදහසට අරුතක්..!

1814 දී ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරයා එංගලන්තයේ යටත් විජිත ලේකම්වරයා වෙත ලිපියක් යවා තිබේ. එහි සටහන් ව තිබී ඇත්තේ මහ මාළුවා අපගේ දැලට වැටී සිටිනවා. අපි දැල උස්සමු ද? යන්න ය. යටත් විජිත ලේකම්වරයා ආණ්ඩුකාරයාට පෙරළා ලිපියක් එවා ඇත. එහි සටහන්ව තිබී ඇත්තේ කරදර වෙන්න එපා! සිංහලයන් ම අපට දැල උස්සා මහ මාළුවා අල්ලා දෙනු ඇත යන්න ය. එම අදහස ඉතා නිවැරැදි විය. මහ මාළුවා පමණක් නොව:  මාළුවාගේ සෙසු පිරිස ද අල්ලාගත හැකි විය. අවසන් ලෙස 1815 මාර්තු 02 දා උඩරට ගිවිසුම මඟින් රට ඉංග්‍රීසිකාරයා වෙත පැවැරිණි. මේ සිද්ධිදාමයෙන් පෙනීයන්නේ පාවාදීම්, පළිගැනීම් හා තවත් බොහෝ දේවල් නිසා අපට නිදහස අහිමි වූ බව ය.

හෙට 70 වන නිදහස් සමරුව මහ ඉහළින් සැමරීමට නියමිත ය. එංගලන්ත රජ පවුල නියෝජනය කරන පිරිසක් ද ඊට සහභාගී ‍වෙති. වසර හැත්තෑවක් දෙස ආපසු හැරී බලන්නට ද, ඉන් ඔබ්බට ගොස් ඉතිහාසයේ යුග කිහිපයක් විමසා බලන්නට ද සුදුසු අවස්ථාව එළෑඹී ඇතැ’යි අපට සිතේ. නිදහස ගැන කියන විට 1505 සිට 1948 දක්වා යුගය එක අතෙකින් වැදගත් වෙයි. තව අතෙකින් 1505 න් අතීතයට යන රජවරුන්ගේ යුගය වැදගත් වෙයි. තවත් අතෙකින් ගෙවී ගිය වසර හැත්තෑවක කාලයෙහි ‍දේශපාලන, ආර්ථික හා සාමාජික තත්ත්වයන් ද වැදගත් වෙයි. මේ සියල්ල පිළිබඳ කෙටි සමාලෝචනයක යෙදීම අදට වැදගත් ය.

1505 යනු බටහිර නැතහොත් යුරෝපීය ජාතීන් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරන්නට පටන්ගත් වර්ෂය ලෙස සැලැකිය හැකි ය. එවකට යුරෝපය තුළ වෙළෙඳ තරගයක් පැවැතිණි. එම වෙළෙඳ තරගයේ එක් අභිප්‍රායයක් වූයේ සම්පත් සහිත රාජ්‍යයන් කොල්ලකෑම ය. මේ කොල්ලකෑමට ශ්‍රී ලංකාව මෙන් ම ඉන්දියාව ද හසුවිය. අප්‍රිකාවේ බොහෝ රටවල් ද හසුවිය. පෘතුගීසි, ලන්දේසී හා ඉංග්‍රීසි ශ්‍රී ලංකාවට බලපෑම් කළ ප්‍රධාන යුරෝපීය ජාතීන් තුන ලෙස සැලැකිය හැකි ය. මෙයින් වැඩිම බලපෑම සිදු කර ඇත්තේ ඉංශ්‍රීසි ජාතිකයන් බව ද කිව යුතුය. මේ බලපෑම්වල අහිතකර තත්ත්ව විශාල ප්‍රමාණයක් තිබූ අතර හිතකර තත්ත්වයන් ද සුළු ප්‍රමාණයක් තිබිණි. කෙසේ වුව නිදහස උදෙසා වූ අරගල ගණනාවක් තිබිණි. 1948 දී දේශපාලනික නිදහසක් අප වෙත ලැබෙන්නේ එම අරගලවල ප්‍රතිඵලයක් හැටියට ය.

නිදහස යන්න අර්ථගන්වන විට නාමමාත්‍රික දේශපාලන නිදහස යන්න සම්පූර්ණ නිදහසක් ලෙස සලකන්නේ නැත. ජීවත්වීමේ නිදහස, දේපොළ භුක්ති විඳීමේ නිදහස පමණක් නොව; ජාතියක් ලෙස ආර්ථික නිදහසක් ද ලැබිය යුතු බව කියති. ආර්ථික නිදහස යන්නෙන් අපේක්ෂා කරනුයේ ආර්ථික සංවර්ධනයකි. නැතහොත් සමෘද්ධිමත්භාවයකි. 1948 නිදහස ලබන විට ආසියාවේ ආර්ථික සමෘද්ධිය අතින් ජපානය පෙරමුණ ගෙන තිබිණි. ඊට සමාන ආර්ථික සමෘද්ධියක් ශ්‍රී ලංකාවද ගොඩනඟා‍ගෙන තිබූ බව සඳහන් වේ. එම ආර්ථික සමෘද්ධියට සිදුවූයේ කුමක්ද? අද වන විට ශ්‍රී ලංකාව ණය භරිත රාජ්‍යයකි. තව අතෙකින් ජගත් සංවිධානවල විවේචනයට හසුවන රාජ්‍යයකි. ආර්ථික කළමනාකරණය, නව නිෂ්පාදන, මූල්‍ය විනය යන සාධකවලින් ප්‍රසාදජනක තත්ත්වයක් අපට නැත.

1948න් පසු රටේ ආර්ථිකය ගලා ගියේ කෘෂිකර්මය පදනම් කරගෙන ය. දේශීය කෘෂිකර්මාන්තය, ‍ගොවි ජනපද ව්‍යාපාර, නිර්යාත අපේ ආර්ථිකය ‍පොහොසත් කළේය. එහෙත් ලෝක ආර්ථික චලනවලට හා රටේ වැඩිවන ආර්ථික අවශ්‍යතාවලට මේවා ප්‍රමාණවත් වූයේ නැත. ඒ අනුව වරින් - වර ආර්ථික උපාය මාර්ග වෙනස් විය. 1956, 1971, 1977 ආදී වශයෙන් ඒවා සලකුණු වී ඇත. පසුකාලය වන විට ආර්ථිකයේ කැපී පෙනෙන ලක්ෂණයක් බව පත්ව තිබුණේ බරපතළ වංචා, දූෂණ හා අක්‍රමිකතා ය. මේවා පශ්චාද් යටත්විජිත රාජ්‍ය බොහෝමයකට පොදු ලක්ෂණ බව පෙනී යයි. එහෙත් ආර්ථිකයේ ස්ථාවරත්වයක් හා ශීඝ්‍ර වර්ධනයක් හිමිකරගත් රටවල් තිබේ. ඒ සෑම රටක්ම වංචා, දූෂණ හා අක්‍රමිකතා පිටුදැක ලෝක දර්ශනයකට අනුව ආර්ථිකය හසුරුවාගැනීමට සමත් වී ඇත. අප සිදු කළ යුත්තේ ද එයම යැයි කිව හැකි ය.

2015 ජනවාරිය ශ්‍රී ලංකා දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් ලෙස සනිටුහන් වී ඇත. එදා ඇතිවූ වෙනස හැඳින්වූයේ දේදුනු විප්ලවය ලෙස ය. දේදුනු විප්ලවයේ අර්ථය වන්නේ ඒකාධිපතිවාදයෙන් මිදුණු නිදහස් රටක් හා පුරවැසියන් වෙත ද සමාන ලෙස ආර්ථික ප්‍රතිලාභ බෙදී යන රටක් යන්න ය. විශේෂයෙන් පුරවැසියාගේ ජීවත්වීමේ නිදහස මේ මඟින් සහතික විය යුතු බව දේදුනු විප්ලව හටගත් වෙනත් රටවල අත්දැකීමෙන් පෙනීයයි. මේ වන විට අපේ රටේ පුරවැසියාට ජීවත්වීමේ නිදහස පූර්ණ වශයෙන් ලැබී තිබේ. ජනමාධ්‍ය මර්දනය නැත. විවේචනය කිරීමේ අයිතිය ඇත. සුදු වෑන් සංස්කෘතිය නැත. නීතිය හා අධිකරණයේ කාර්යක්ෂමතාවක් ඇත. දේශපාලන බලපෑමකින් තොරව පොලිසිය වැනි ආයතන කටයුතු කරයි. මැතිවරණ පැවැත්වීමේ වගවීම මැතිවරණ කොමිසම වෙත පැවැරී ඇත. මේ සියල්ල යහපත් දේවල් ලෙස සැලැකිය හැකි ය.

යුරෝපීය ජාතීන් ශ්‍රී ලංකාව යටත් කර ගැනීමට පෙර රජවරුන් 186 දෙනකු රට පාලනය කර තිබේ. එදා ජනතාවට නිදහස පිළිබඳ හැඟීමක් තිබුණේ යැයි කිව නො හැකි ය. එදා රාජ්‍ය පාලනයට ජනතාවගේ සහභාගිත්වයක් පැවැතියේ ද නැත. එහෙත් යටත් විජිත සමයේද ඉන්පසු පශ්චාද් යටත් විජිත සමයේ ද නිදහස පිළිබඳ හැඟීම ජනතාව වෙතින් ප්‍රකට වන්නට විය. ඒකාධිපති පාලන යුගවලදී ද නිදහස පිළිබඳ හැඟීම පුපුරා ගියේය. අදත් නිදහස පිළිබඳ පුළුල් සංවාදයක් පවතී. එම සංවාදය පවතින්නේද නිදහස් පරිසරයක් තුළය. නිදහස ගැන කතා කළ යුතුය. එය විවරණය කළ යුතුය. සැමරිය යුතුය. අවම තරමින් නිදහස සිහිකොට ජාතික කොඩිය ඔසවා තබන්නට හෝ සෑම පවුලක් ම පෙලැඹිය යුතුය.

70 වන නිදහස් සමරුව වෙනුවෙන් රටේ පාලක පන්තියෙන් එක ඉල්ලීමක් කළ හැනි ය. එනම්: ජනතාව විසින් ඔබ වෙත පවරන ලද පාරිශුද්ධ අයිතිය හොඳින් භාරගන්න. ඊට පා - පහර නො දෙන්න! එවිට නිදහස තහවුරු වනු ඇත. 


නව අදහස දක්වන්න

Or log in with...