අපි කරන සංවර්ධනය ඊළඟ අවුරුදු පහේදී දැක ගත හැකියි | දිනමිණ

අපි කරන සංවර්ධනය ඊළඟ අවුරුදු පහේදී දැක ගත හැකියි

ගමේ බලයත් අපට දීලා බලන්න

* සින්නක්කර ඔප්පු ලබාදීමට මේ වසරේ නව නීතියක්
* අලුත් ඡන්ද ක්‍රමය අනුව කවුරුත් අද මරාගන්නේ නෑ
* හැමෝටම එක සමානව නීතිය ක්‍රියාත්මකයි

එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාව ආරක්ෂා කරමින් කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (01) අම්පාර නගරයේදී පැවැති එක්සත් ජාතික පක්ෂ රැලිය අමතමිනි. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අම්පාර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා මේ ජනරැලිය පැවැත්විණි. මේ අවස්ථාවට අති විශාල ජනතාවක් සහභාගි වී සිටියහ.

ආණ්ඩුවේ ගමන් මාර්ගය විනාශ කිරීමට එක්සත් ජාතික පක්ෂයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද ,ප්‍රධාන පක්ෂ දෙකේ මෙහෙයවීමෙන් ජනතාව බලාපොරොත්තු වන ස්ථාවරභාවය ඇති කිරීමට කටයුතු කරන බවද කීය.

ඡන්දවලදී වෙනම එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බවද පැවසූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ සිටිනුයේ රටේ ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට සමත් පිරිස්යැයිද ප්‍රකාශ කළේය.බදු අය කිරීමේදී තක්සේරු ක්‍රමය වෙනස් කිරීමට සහ සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා නව නීති ගෙන එන බවද කීය.

එහිදී වැඩිදුරටත් අග්‍ගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

මට තංගල්ලෙ රැස්වීමකට යන්න තිබෙනවා. එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නගරයයි. මම කියන දෙයක් එම ස්ථානයට ගිහින්ද කියන්න ඕනෑ. ඊයෙ මමයි දයා ගමගේ ඇමැතිතුමයි මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයට යන ගමන් අපි 2014 වර්ෂය පිළිබඳව කතා කළා. එදා අපි ඒ ප්‍රදේශයට ගියේ ගංවතුර තත්ත්වයක් තිබූ කාලයකයි . ඒ ප්‍රදේශයට එදා ගියේ පක්ෂ සියල්ල ඇතිකර ගත් ගිවිසුමක් සම්බන්ධයෙන්. එදා රාජපක්ෂ පාලනය යටතේ මේ රටේ සොරකම් උඩ සිට යටට ගියා. යට සිට උඩටට ගියා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සීමා කළා. මර්දනයක් පැවැතියා. මාධ්‍යවේදීන් ඝාතනය කළා. මේ රටේ ආර්ථිකය කඩාකප්පල් කළා. නිදහස් අධ්‍යාපනයේ , නිදහස් සෞඛ්‍යයේ වියදම් අඩු කර රාජපක්ෂ රෙජීමය ශක්තිමත් කරන්න කටයුතු කළා. මේ නිසා එදා විරුද්ධ පක්ෂයේ සිටි පක්ෂ එකට එකතු වුණා. සිවිල් සංවිධාන එකතු වුණා. අප කටයුතු කළේ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කර රාජපක්ෂ රෙජීමය පරාජය කරන්න. එයටත් වඩා ඉදිරියට යාමට මටත් එක්සත් ජාතික පක්ෂයටත් අවශ්‍ය වුණා.

පසුගිය පාලනයේදී මේ රටේ නිවැරදි දේශපාලන සංස්කෘතිය විනාශ වී යහපාලනය නැතිවී තිබුණා. එම තත්ත්වය වෙනස් කිරීමට අප සියලු දෙනා එකඟත්වයකට පත්විය යුතුව තිබුණා. ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ සිටියත් විරුද්ධ පක්ෂයේ සිටියත් පාර්ලිමේන්තුවේදී ක්‍රියාත්මක විය යුතුයි. පැවති තත්ත්වය අවබෝධ කරගෙන එය වෙනස් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ සංවිධානය ඇතුළු පක්ෂ ගණනාවක් එකට එකතු වෙලා තමයි සිවිල් සමාජයේ සහ ආණ්ඩුවේ එක්තරා කොටසක් සමඟ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාව අප තෝරා ගත්තේ. එතුමාගේ ජයග්‍රහණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් ඇතිකළා. ද්‍රවිඩ සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයට ගියා.

මේ වන විට අපට එකට එකතුවෙලා වැඩ කරන්න පුළුවන් කාලයක් උදාකර ගෙන තිබෙනවා.මේ රටේ දේශපාලන ස්ථාවරභාවයක් ඇති කරන්න නම් ජනවාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් තිබෙන්න ඕනෑ. රටේ ප්‍රශ්න විසඳීමට ප්‍රධාන පක්ෂ දෙක එක්වී කාලයක් වැඩ කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ආණ්ඩුවක් හදනවා කියා අප එදා ප්‍රකාශ කළා. ඡන්දය ජයග්‍රහණය කළ පසු අපි ජාතික ආණ්ඩුවක් ඇතිකළා. එම ජාතික ආණ්ඩුව අරගෙන ඉදිරියට ගියා. එකට වැඩ කරන විට මේ රටේ දේශපාලන ස්ථාවරභාවයක් ඇති කර ගත හැකියි. දේශපාලනයේ අන්තයකට යන්නෙ නැතිව කටයුතු කරන්න ඕනෑ යුරෝපයේ තිබෙන දේශපාලන ක්‍රමයට පැමිණීමට. අද තිබෙන ඡන්ද ක්‍රමය නිසා මේ වන විට කිසිවෙක් මරා ගන්නේ නැහැ. ගහ ගන්නෙ නැහැ. වැඩිපුර මුදල් වියදම් කරන්නෙත් නැහැ. සාමකාමීව කටයුතු කරන්න පුළුවන්.

අපට ජනතා වරමක් හම්බවුණේ රට දියුණු කරන්න. අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න. ජනතාවට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් ඇති කරන්න. සියලු දෙනාම සමඟ එකට වැඩ කරන්න. එම කාර්යයක් මේ වන විට අප ආරම්භ කර තිබෙනවා. ඒ කටයුත්ත ඉදිරියට ගෙන යා යුතුයි. අප අනුගමනය කරන ක්‍රියාමාර්ග නිසා පැවැති දේශපාලන සංස්කෘතිය වෙනස් වෙමින් නව දේශපාලන සංස්කෘතියක් ඇති වෙමින් තිබෙනවා. එම වෙනස මේ වන විට පෙනෙනවා. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය කැපවීමෙන් ක්‍රියා කරනවා. දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීමටද එක්සත් ජාතික පක්ෂය විශාල කැප කිරීමක් සිදුකරනවා.

අප උත්සාහ කරන්නෙ එකතු වී ජනවරම අනුව ආණ්ඩුව ගෙන යාමටයි. වෙනම ගමන් කිරීමටද ජන වරමක් ගැනීමට අපට හැකියාව තිබුණා. ඒත් පක්ෂ ගණනාවක් සමඟ ජනවරම ගත්තේ එකට ගමන් කිරීමට. එකට ගමන් කර රට සංවර්ධනය කිරීමට මේ අවුරුදු පහ තුළ අප ක්‍රියා කරනවා. එහිදි අසමඟියක් ඇති කර ගන්නෙ නැතිව ගමන් කළ යුතුයි. අපට මේ ආණ්ඩුවේ ගමන් මාර්ගය කඩා විනාශ කිරීමට අවශ්‍යතාවක් නැහැ. ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා ජනතාව බලාපොරොත්තු වන ස්ථාවරභාවය ඇති කරන්න එක්සත් ජාතික පක්ෂය කටයුතු කරනවා.

අපි එකට වැඩ කරන්නෙ ආණ්ඩු මට්ටමෙන් පමණයි. ඡන්දවලදී අපි වෙනම කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාව ආරක්ෂා කරනවා. අපට මතවාදයක් තිබෙනවා. එය අප ප්‍රකාශ කරනවා. ඒත් අප අන්තයකට යන්නෙ නැහැ. මම අපේ ඇමැතිවරුන්ට කියා තිබෙන්නෙ ඇතැම් විවේචන වලට පිළිතුරු දෙන්න යන්න එපා කියල. මොකද අප සියලු දෙනාම ආණ්ඩුව තුළ එකට වැඩකළ යුතුයි. එක්සත් ජාතික පක්ෂයට සහ එක්සත් ජාතික පෙරමුණට මේ රජය කඩන්න කිසිදු අවශ්‍යතාවක් නැහැ කියා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.

අප මේ ආණ්ඩුව ආරම්භ කරන අවස්ථාවේ පොරොන්දු වූ ලෙස ජාතික සමඟිය ඇතිකර තිබෙනවා. සංහිඳියාව ඇතිකර තිබෙනවා. සිංහල වෙන්න පුළුවන්, දමිළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, බෞද්ධ වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්. අප සියලු දෙනා එකට ජීවත් වෙනවා. පැවැති පාලන කාලයේ තමන්ගේ ආගම ඇදහීම පිළිබඳව මුස්ලිම් ජනතාව බයේ ජීවත් වුණා. ඔවුන්ට විවිධ ගැටලු තර්ජන එදා පැවැතියා. ද්‍රවිඩ ජනතාවට තර්ජන තිබුණා. අද එම තත්ත්වය නැහැ. අපේ සියම් නිකායේ මල්වත්ත මහා නායක ස්වාමීන් වහන්සේටද එදා තර්ජන පැවැතියා. නිකාය කඩන බවට එදා පාලකයන් ප්‍රකාශ කළා. දළදා මාලිගාවට රේස් පිටියක් සම්බන්ධයෙන් තර්ජන තිබුණා. අද මල්වත්තෙ මහා නායක හිමියන්ටත් තර්ජනයක් නැහැ. දළදා මාලිගාවටත් තර්ජන නැහැ. අප ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර තිබෙනවා. මේ රටේ නිදහස අද ඇතිවෙලා තිබෙනවා. අපට වර්තමානයේ මාධ්‍ය මගින් බනිනවා. චෝදනා එල්ල කරනවා. හැබැයි එක මාධ්‍යවේදියෙක්වත් සුදු වෑන් වලින් අරගෙන යන්නේ නැහැ. ඒත් ඇතැමෙක් කාඩ්බෝඩ් විරයො වගේ අපට බනිනවා. ඒ පිළිබඳව අපට ප්‍රශ්නයක් නැහැ.

අපි හොරු අල්ලනවා. හොරු අල්ලන්නයි අප පැමිණියේ. ඒ කටයුතු සිදු කරන්නෙ නීතියට යටත්ව. මේ වන විට රාජපක්ෂල කීප දෙනෙක් උසාවියට ගොස් තිබෙනවා. ඔවුන්ට එරෙහිව නඩු දාලා තිබෙනවා. මේ කටයුතු සිදුවන්නේ අප අනුගමනය කරන පියවර හේතුවෙන්. ඒ අතර අප පිළිබඳව එල්ලවන චෝදනා පිළිබඳවත් සොයා බලනවා. ඒ නිසයි බැදුම්කරේ පිළිබඳව සොයා බැලුවේ. ඒ පිළිබඳව නිත්‍යානුකූලව මේ වන විට ක්‍රියා කරනවා. නීතිපතිට ඒ සම්බන්ධව පියවර ගන්නා ලෙස අප ප්‍රකාශ කළා. අපි එක්සත් ජාතික පාක්ෂිකයන්ට සහ අනෙක් පාක්ෂිකයන්ට වෙන වෙනම සලකන්නේ නැහැ. හැමටම එක සමානව නීතිය ක්‍රියාත්මක කරනවා. අපි රාජපක්ෂලාට වගේම වැරදි කළ අනෙක් අයටත් නඩු දානවා. අපි රාජපක්ෂලාට එක නීතියකුත් අනෙක් අයට තව නීතියකුත් ක්‍රියාත්මක කරන්නේ නැහැ කියා ප්‍රකාශ කරනවා.

මේ රටේ දේශපාලන ස්ථාවරභාවය අප ඇතිකර තිබෙනවා. ප්‍රතිපත්තිවල ස්ථාවරභාවය ඇතිකර තිබෙනවා. ආර්ථිකයේද ස්ථාවරභාවයක් ඇති කරමින් තිබෙනවා. අපි භාර ගත්තේ විනාශ වූ ආර්ථිකයක්. ණය ගෙවන්නවත් ආදායමක් අප පාලනය භාර ගන්නා අවස්ථාවෙ තිබුණෙ නැහැ. මේ තත්ත්වය දැන ගෙන මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය වේලාසනින්ම පැවැත්වූවා. පසුගිය පාලනය සිතුවේ පැවැති ණය අර්බුදයට අපට මුහුණ දීමට නොහැකි වනු ඇති බවයි. ඒ නිසා යහපාලන ආණ්ඩුව කැඩෙයි, විනාශ වෙයි කියා ඔවුන් සිතුවා. එක්සත් ජාතික පක්ෂයේ සිටින්නේ ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට දක්ෂ පිරිස්. පසුගිය පාලනය ගත් ණය ගෙවීමට හැකියාව දැන් අපට ලැබී තිබෙනවා. රට ක්‍රමයෙන් දියුණු කරමින් සංවර්ධනය කරනවා. පළමු වතාවට අවුරුද හැට හයකින් පස්සෙ මේ රටේ ප්‍රාථමික ගිණුම් ශේෂයේ අතිරික්තයක් තිබෙනවා. ඒ අකාරයෙන් තමයි අප ආර්ථිකය කළමනාකරණය කර තිබෙන්නේ. විශාල අපනයන ආදායමක් පසුගිය වර්ෂයේ හිමිවුණා. විශාල විදෙස් අයෝජන පැමිණියා. මේ පිළිබඳව අප සෑහීමකට පත්විය යුතු නැහැ. මේ තත්ත්වයන් තවදුරටත් වර්ධනය කර ගත යුතුයි. එවිට අපගේ විරැකියාව විසඳීමට තවත් පහසු වෙනවා. මේ තත්ත්වය හොඳ ආරම්භයක්.

අම්පාර නගරය සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් කරන වැඩපිළිවෙළට සහයෝගය දෙනවාද කියා මම අසනවා. අම්පාරට නව ව්‍යපාර රැගෙන එනවා. ඉදිරියේදී මේ ප්‍රදේශයට පැමිණෙන වෙළෙඳ කළාපයට ඉඩම් මේ වන විට සොයාගෙන තිබෙනවා. අප කරන සංවර්ධනය ඊළඟ අවුරුදු පහේදී ජනතාවට දැක ගන්න පුළුවන්. බදු අය කිරීමේදී තක්සේරු ක්‍රමය වෙනස් කිරීම සඳහා නව නීතියක් ගෙන එනවා. සින්නක්කර ඔප්පු දීම සඳහා නව නීතියක් මේ වසරේ අනුමත කරනවා. ඒ සඳහා ගමේ ආණ්ඩුත් එක්සත් ජාතික පක්ෂයට දෙන්න. අපට විශාල ආර්ථික ශක්තියක් තිබෙනවා. රටේ දේශපාලන ස්ථාවර භාවයක් අප ඇති කළා. ගම සංවර්ධනය කිරීම සඳහා ගමේ ආණ්ඩුත් එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන්න කියා මා ඉල්ලා සිටිනවා.

ඇමැති දයා ගමගේ මහතා-

සින්නක්කර ඔප්පු ලබාදීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. අම්පාරට අපගේ පාලනය යටතේ විශාල දියුණුවක් ලබා දෙමින් තිබෙනවා. ජල ගැටලුව පිළිබඳව මම අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර තිබෙනවා. එය සම්පූර්ණයෙන් මේ අවුරුද්දෙ විසඳනවා. මේ ප්‍රදේශයේ නිවාස ගැටලු අප සම්පූර්ණයෙන් විසඳනවා.

රාජපක්ෂ පාලන කාලයේ සිදුවූ වංචා දූෂණ මේ වන විට හෙළිවෙමින් තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පත් කළේ අපි. මම අම්පාර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පොහොට්ටුකාරයන්ට රැවටෙන්න එපා කියලා. රට හදන ගම හදන එක්සත් ජාතික පක්ෂයට මෙවර පළාත් පාලන මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා. අග්‍රාමාත්‍යතුමාගේ දර්ශනය අනුව අප කටයුතු කරන්නෙ නිවැරදි දැක්මක් ඇතිව. තව ටික කාලයක් යන විට අම්පාර ප්‍රදේශයේ විශාල දියුණුවක් ඇති වෙනවා. මේ පළාතේ සිටින දූෂිතයන් පරාජය කරමු.

ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා-

අපි එක්සත් ජාතික පාක්ෂිකයන් අතරමං කරන්නේ නැහැ. මේ 10 වැනි දින පැවැත්වෙන ඡන්දයෙන් එක්සත් ජාතික පක්ෂයට රටේ තිබෙන බලය අප පෙන්වමු. පොහොට්ටුවේ අය බොරු ෂෝ මේ වන විට පෙන්වනවා. හැබැයි ඔවුන් ඡන්දය පරාදයි. පොහොට්ටුවට සහ අනෙකුත් පාර්ශ්වයන්ට මෙවර ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂය හොද පාඩමක් උගන්වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා-

ගෝඨාභය රාජපක්ෂ මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාත් සමඟ නැහැ. එකට සිටිනවා නම් මේ මස 10 වැනි දිනට පෙර පොහොට්ටු පක්ෂයේ වේදිකාවකට නංවන්න කියා මා අභියෝග කරනවා. රාජපක්ෂ පවුල ඇතුළේ අර්බුදයක් අද නිර්මාණය වෙලා. මෛත්‍රී බිය, අධිකරණ බිය සහ ගෝඨා බිය කියන තුන්බිය අද මහින්ද රාජපක්ෂ මහත්තයාට ඇති වෙලා. මම පොඩි කවියක් කියනවා. ගහ ගන්න එපා රාජපක්ෂ නෝට්ටුව- ගමේ හැමම හදුනනවා කැරැට්ටුව- ජී.එල් දුටුව විට සිහිවෙයි සුරුට්ටුව- දහවනදාට පරවෙනවා පොහොට්ටුව.

නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මිය, හිටපු ඇමැතිවරයෙකු වූ පී. දයාරත්න මහතා ඇතුළු දේශපානඥයන් රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

උපාලි කරුණාරත්න, දිගාමඩුල්ල සංචාරක, දිගාමඩුල්ල සමූහ සහ අම්පාර සමූහ
ඡායාරූප- හිරන්ත ගුණතිලක 

නව අදහස දක්වන්න