ලාදුරු රෝගයට දැන් බියවිය යුතු නෑ | දිනමිණ

ලාදුරු රෝගයට දැන් බියවිය යුතු නෑ

චර්ම රෝග විශේෂඥ වෛද්‍ය සංජිව හුලංගමුව

ප්‍රතිකාර ගැනීමෙන් නිට්ටාවට සුවකළහැකියි

කුරුවිට සමුහ-රූපිකා කේ.බණ්ඩාර ලාදුරු රෝගයට දැන් කිසිසේත්ම බියවිය යුතු නෑ.ස්ථීර ප්‍රතිකාර තිබෙනවා.ප්‍රතිකාර ලබන අතරේ සියලු වැඩපළවල යෙදෙමින් සාමාන්‍ය ජිවිතයක් ගතකළහැකියි. රෝග ලක්ෂණ හඳුනාගත් වහාම ප්‍රතිකාර සඳහා යොමුවිම වැදගත් වෙනවා. රජයේ රෝහලක චර්ම රෝග සායනයට පැමිණීමෙන් පරීක්ෂා කර ප්‍රතිකාර ලබාගන්න පුළුවන්. නේවාසිකව ප්‍රතිකාර කරන්නේ නෑ.සියල්ලන්ගේ අනන්‍යතාව රකිනවායැයි රත්නපුර මහරෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය සංජිව හුලංගමුව මහතා සඳහන් කළේය. හෙතෙම මේ බව කියා සිටියේ ලෝක ලාදුරු දිනය නිමිත්තෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීම වෙනුවෙන් පරකඩුව,පුස්සැල්ල කළමනාකරණ සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානයේදී ( 01) පැවැති වැඩසටහනේදිය.‘ තමා විසින්ම රෝගය හඳුනාගෙන ප්‍රමාදය දුරලමු‘ යන තේමාව යටතේ පැවැත්වූ මේ දිස්ත්‍රික් වැඩසටහන රත්නපුර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් සංවිධාන කොට තිබුණි. එහිදි වැඩිදුරටත් වෛද්‍ය සංජිව හුලංගමුව මහතා මෙසේද සඳහන් කළේය.

‘ ලාදුරු බෝවන්නේ (Mycobacterium Leprae) බැක්ටීරියාවකින්. වයස් භේද,ස්ත්‍රී පුරුෂ භාවයකින් තොරව වැළඳීමේ හැකියාවක් ඇති මේ රෝගය සොයාගෙන ඇත්තේ එක්දහස් අටසිය හැත්තෑතුනේ දි හැන්සන් නම් විද්‍යාඥයෙකුයි. මෙය බෝවන්නේ ආශ්වාස ප්‍රාශ්වාසයෙන් පමණයි. එක්දහස් නවසිය අසුපහට කලින් මේ රෝගයට දැක්වූයේ විශාල බියක්. එවිට තිබුණේ එක බෙහෙතක් විතරයි. දැන් බහුවිධ බෙහෙත් තිබෙනවා.මින් ජීවිත හානි සිදුවන්නේ නෑ. රෝගය ගැන තිබූ පැරණි ආකල්ප බැහැර කළයුතුයි. සමහර අය ප්‍රතිකාර ගැනීම වෛද්‍ය උපදෙස්වලින් තොරව නවත්වනවා. එසේ නොකළයුතුයි. රෝග ලක්ෂණ දැනුණු වහාම ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් සුවකිරීම පහසුයි. හැඟීම් ,දැනීම් නැති ලප, පැල්ලම්, ස්නායු ඝනවීම. ඇස් රතුවීම, සිරුරේ ගැටිති ඇතිවීම, සුව නොවූ තුවාල මෙහි රෝග ලක්ෂණ වේ. අනෙක් රෝග මුළු ජිවිත කාලෙටම පැවතුණත් මේ රෝගයට එක් මාත්‍රාවකින් බැක්ටීරියාව 99%ක්ම අඩුවන නිසා බියවිය යුතු නැතැයිද හෙතෙම කීය. රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය කේ.එම්.එන්..එල් කෝනාර මහතා පැවසුවේ ලෝකයේම මේ රෝගීන් මිලියන 4ක් සිටින බවත් වසරකට දෙලක්ෂ පනස්දහසක් පමණ නව රෝගින් වාර්තා වන බවත්ය.ලංකාවේද වසරකට දෙදහසක් පමණ රෝගීන් වාර්තා වන අතර ඉකුත් වසරේ රත්නපුරයේ රෝගින් 93ක් වාර්තා වූ බවද වැඩි පිරිසක් ඉන්නේ ඇඹිලිපිටිය, කුරුවිට හා පැල්මඩුල්ල ප්‍රදේශවල බවද හෙතෙම පෙන්වා දුන්නේය. මේ සඳහා ප්‍රතිකාර ලබාගත හැක්කේ රජයේ රෝහල්වලින් පමණක් බවද ඒ සඳහා රත්නපුර,බලංගොඩ,කහවත්ත,ඇඹිලිපිටිය රෝහල්වල චර්ම රෝග සායනවලින් ප්‍රතිකාර ලබාගත හැකි වන අතර මේ වැඩසටහන් පැවැත්වීමේ අරමුණ ජනතාව දැනුවත් කර ප්‍රතිකාර සඳහා යොමු කිරීම බවද කෝනාර මහතා අවධාරණය කළේය.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා සෑම පාසල් දරුවකුම පරීක්ෂා කිරීම, ප්‍රජාව,සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීම හා රෝගියකුගේ අවට නිවාස අනන්‍යතාව සුරැකෙන පරිදි පරීක්ෂා කිරීම ආදී වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද හෙතෙම කීය. මෙහිදී ,වෛද්‍ය නයනි සූරියආරච්චි මහත්මිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂක සම්පත් පතිරණ මහතාත් අදහස් දැක්වුහ. 

නව අදහස දක්වන්න