ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ජය පැරදුමක් නෑ | දිනමිණ

ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ජය පැරදුමක් නෑ

 

ඉනිම් 2දීම ශතක ලැබූ මොමිනුල් හක් වාර්තාපොතට

පිතිකරුවන්ට පාරාදීසයක් බවට පත්වූ චිතගොං නුවර තණතීරුවේ දී බංග්ලාදේශය වෙනුවෙන් ඉනිම් 2දීම ශතක ලැබූ පළමු පිතිකරු ලෙස මොමිනුල් හක් ඉතිහාසයට එක් කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය ඊයේ ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය. තරගය නිමාවෙද්දී බංග්ලාදේශය කඩුලු 5ක් අතැතිව ලකුණු 81ක් ඉදිරියෙන් පසුවිය.

බංග්ලාදේශ පිල පළමු ඉනිමේදී රැස්කළ ලකුණු 513ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පෙරේදා කඩුලු 9ක් දැවී ලකුණු 713ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවූයේ ලකුණු 200ක වාසියක් ද සහිතවය. එහෙත් ඊයේ තරගය නිමාවනවිට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 5ක් දැවී ලකුණු 307ක් ලබා සිටියදී තරගය ජයපැරදුමෙන් තොරව නිමා කිරීමට විනිසුරුවරුන් තීරණය කළහ.

ඊයේ දිනයේ සම්පුර්ණ ගෞරවය දිනාගත් මොමිනුල් හක් පන්දු 174කට මුහුණ දෙමින් ලකුණු 105ක් රැස් කිරීමට සමත්වූ අතර ඊට හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. ඔහුට අනගි සහයක් ගෙන දුන් ලිටොන් දාස් ලකුණු 94ක් රැස් කළේය. දෙදෙනා අතර සිවුවැනි කඩුල්ලට ලකුණු 180ක සම්බන්ධතාවක් ගොඩනැගුණේය.

තරගයේ පස්වැනි දිනය වූ ඊයේ තේ පානයෙන් මොහොතකට පසුව තව දුරටත් තරගය ඇද ගෙන යාමේ ඵලයක් නොමැති බැවින් දෙපිලේහිම නායකයන්ගේ එකඟතාව මත තරගය නතර කිරීමට විනිසුරුවරුන් කටයුතු කළහ. ඒ වනවිට නායක මහ්මුදුල්ලා නොදැවී ලකුණු 28ක් ද, මොසාඩික් හොසේන් නොදැවී ලකුණු 8ක් ද ලබා සිටියහ.

පෙරේදා දිනය ආරම්භ වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 504ක් ලබා සිටි ශ්‍රී ලංකා පිල දිනය පුරා බංග්ලාදේශ පන්දු යවන්නන් වෙහෙසට පත් කරමින් සිය ඉනිම ඉදිරියට ගෙන ගියේය. ඒ අතරතුර කාලයේ සිය ටෙස්ට් තරග දිවියේ පළමු ශතකය වාර්තා කිරීමට රොෂේන් සිල්වා සමත්විය. බංග්ලාදේශ පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දුන් රොෂේන්ගේ ශතකයට අගනා සහයක් ගෙනදුන් නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 87ක් ලබාගත්තේය. දෙදෙනා අතර සිවුවැනි කඩුල්ලට ලකුණු 135ක සම්බන්ධතාවක් ගොඩනැගුණේය. රොෂේන්ගේ දැවීයාමෙන් පසුව චන්දිමාල් සමග එක්වූ නිරෝෂන් දික්වැල්ල වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 61කදී හතරේ පහර 9ක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 62කි.

පෙරේදා දිනය නිමාවනවිට ලකුණු 81කට කඩුලු 3ක් බිඳ වැටී තිබූ බංග්ලාදේශ ඉනිම ඊයේ පිළිසකර කළ මොමිනුල් හක් සිය ටෙස්ට් තරග දිවියේ වැදගත් සංධිස්ථානයක් සටහන් කරද්දී චිතගොං තණතීරුවෙන් කිසිදු සහයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නට නොහැකිවිය.

බංග්ලාදේශ පිලේ පළමු ඉනිමේදි ලකුණු 176ක් ද, දෙවැනි ඉනිමේදී ලකුණු 105ක් ද ලැබූ මොමිනුල් හක් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේය.

දෙපිල අතර දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය මේ මස 8 වැනිදා ඩකා නුවරදි ඇරැඹෙයි. 

 


නව අදහස දක්වන්න