නැවියන් පරදවා හැව්ලොක්ස් ඉදිරියට | දිනමිණ

නැවියන් පරදවා හැව්ලොක්ස් ඉදිරියට

නාවික හමුදා පිලට එරෙහිව ලකුණු 16-11ක විශිෂ්ට ජයක් ලබා අන්තර් සමාජ පළමුපෙළ ලීග් රගර් තරගාවලියේ අවසන් වීමට තවත් තරගයක් ඉතිරිව තිබියදී නැවත වතාවක් ලකුණු සටහනේ දෙවැනි ස්ථානය අත්පත් කරගැනීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත්විය.

තරගාවලිය ආරම්භයේ සිටම දෙවැනි තැන රැකගෙන සිටි හැව්ලොක්ස් පිල 11 වැනි සතියේදී පොලිස් පිල සමග පැවැති තරගයේ ලකුණු සමවීමත්, පසුගිය සතියේදී සී.ආර්.පිල හමුවේ අනපේක්ෂිත පරාජයක් අත්විඳීමත් හේතුවෙන් තුන්වැනි තැනට පත්වූ අතර එතෙක් තුන්වැනි තැන සිටි නාවික හමුදා පිල දෙවැනි තැන අත්කර ගත්තේ මෙවර තරගාවලියේ අනුශූරතාව කරා සමීප වෙමිනි.

අපරාජිත මහනුවර ක්‍රීඩා සමාජය ‍මේ වනවිටත් ලීග් ශූරතාවට හිමිකම් කියමින් සිටින අතර අනුශූරතාව හඹා යාමේ සටනට එක්වූ හැව්ලොක්ස් සහ නාවික හමුදා කණ්ඩායම් අතර තරගය දෙපිලටම තීරණාත්මක එකක් වී තිබිණි.

හැව්ලොක්ස් පිටියේ පෙරේදා පැවැති මේ තීරණාත්මක තරගය ආරම්භයේ සිටම අතිශය උණුසුම් මුහුණුවරක් ගත් අතර කරට කර තරග වැදීම හේතුවෙන් දෙපිලම ලකුණු අහේනියකට මුහුණ පා සිටියහ.

එහෙත් ලකුණු 8-5කින් පළමු භාගයේ පෙරමුණ ගත් හැව්ලොක්ස් පිලට දෙවැනි භාගයේදී දැඩි පීඩනයක් එල්ල කළ නාවික හමුදා පිල අවසන් මිනිත්තු දහය එළැඹෙද්දී ලකුණු සංඛ්‍යාව 11-11කින් සමකර ගැනීමෙන් තරගය දෙපිලටම විවෘත එකක් බවට පත්විය.

හැව්ලොක්ස් පිලේ ජයග්‍රහණය තහවුරු වූයේ ප්‍රසාද් මධුසංඛ තැබූ තීරණාත්මක උත්සාහක දිනුමෙනි. හැව්ලොක්ස් පිල තරගය පුරා උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහර 2ක් එල්ල කළ අතර නාවික හමුදා පිල ලැබුවේ උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර දෙකක් පමණි.

මහනුවරට ජය

තර‍ගයේ පළමු භාගය නිමාවනවිට අනපේක්ෂිත අයුරින් ලකුණු 17-14කින් පෙරමුණ ගත් යුද හමුදා පිල දෙවැනි භාගයේදී පීඩනයකට හසු කළ මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 29-20ක ජයක් වාර්තා කරමින් තව දුරටත් සිය අපරාජිතභාවය රැක ගැනීමට සමත්විය.

රත්මලාන ගුවන් හමුදා පිටියේ පෙරේදා පැවැති මේ තරගය ආරම්භයේදී යුද හමුදා පිල වෙතින් දැඩි අභියෝගයක් එල්ලවූවත් දෙවැනි භාගයේදී යළි හිස එසැවූ මහනුවර පිල ‍ගෝල් 3ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් රැස් කරද්දී යුද හමුදා පිලට ලබාගත හැකිවූයේ ‍ගෝල් 2ක් සහ දඬුවම් පහර 2ක් පමණි.

සී.එච්.පිල ජය ගනී

මේ අතර පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 50-38 ජයක් වාර්තා කිරීමට සී.එච්.ඇන්ඩ් එෆ්.සී.ක්‍රීඩා සමාජය සමත්විය. කොළඹ තුරඟ තරග පිටියේ පෙරේදා පැවැති මේ තරගයේ දී සී.එච්.පිල ගෝල් 5ක්, උත්සාහක දිනුමක්, පැනල්ටි ට්‍රයි දිනුමක් සහ දඬුවම් පහරක් ලැබූ අතර ‍පොලිස් කණ්ඩායම ගෝල් 4ක් සහ උත්සාහක දිනුම් 2ක් වාර්තා කළේය. තරගයේ පළමු භාගය නිමාවනවිට දෙපිලම ලකුණු 24 බැගින් ලබා සිටි‍යේය.

සී.ආර්.පිලට 27-17ක ජයක්

ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 27-17ක ජයක් වාර්තා කිරීමට සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත්විය. සී.ආර්.පිටියේ පෙරේදා පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 19-10කින් පෙරමුණ ගත් සී.ආර්.පිල තරගය පුරා ගෝල් 2ක්, උත්සාහක දිනුම් 2ක් සහ ඩ්‍රොප් ගෝලයක් එල්ල කළ අතර ගුවන් හමුදා පිල ගෝල් 2ක් සහ ඩ්‍රොප් ගෝලයක් රැස් කළේය.

 

නව අදහස දක්වන්න